මෙම වසරේ තුන්වැනි කාර්තුවේ සිට වාහන ආනයනය ආරම්භ කරනවා – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

ඊයේ (10දා) පාර්ලිමේන්තුවේදී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ගැටලුවක් ඇති නොවන ලෙස සුවිශේෂි වැඩපිළිවෙළක් යටතේ මෙම වසරේ තුන් වෙනි කාර්තුවේ වාහන ආනයනය අරම්භ කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.

මෙම වාහන ආනයනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් දැනුම්දී ඇති බවද ඇමැතිවරයා පවසන ලදි.

මේ පිළිඳව අදහස් දැක්වූ ඒ මහතා “අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් කතා කරලා දැනුම්දී තිබෙනවා අගෝස්තු මාසයෙන් පස්සේ යම් අනු පිළිවෙළකට පොදු ප්‍රවාහන සේවා සහ අනෙකුත් ප්‍රවාහන සේවාවන්ට භාවිත කරන විකල්ප. ඉන්පස්සේ සාමාන්‍ය වාහන, ඊට පස්සේ සුඛෝපභෝගී වාහන ගෙන්වීමේ වැඩපිළිවෙළක් හදනවා කියලා. මේ කමිටුව ජුලි 4 රැස්වුණා. එම කමිටුව මාසයක් ඇතුළත එනම් අගෝස්තු දෙවන සතිය වෙනකොට ඔවුන්ගේ වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා සුවිශේෂී අනුපිළිවෙළක් යටතේ රටට ප්‍රශ්නයක් නොවී වාහන ආනයනය ආරම්භ කරන්න.” යැයි පැවසීය‍.