අයහපත් කාලගුණයෙන් ජන ජීවිතයට බාධා 

0

මේ දිනවල ඇදහලෙන ධාරාණිපාත වර්ෂාව සහ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් තිදෙනකු මිය ගොස් එක් අයෙකු තුවාල ලබා ඇත.

පවතින වැසි තත්ත්වය හේතුවෙන් ගාල්ල, කළුතර, කෑගල්ල, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස විස්සක් සඳහා නායයාම් පිළිබඳව පළමු සහ දෙවන අදියරේ අනතුරු ඇඟවීම් කර තිබේ.

බුලත්සිංහල, ඉංගිරිය, වරකාපොළ, රත්නපුර, ඇහැලියගොඩ, කුරුවිට ප්‍රාදේ‍්ශීය ලේකම් කොට්ඨාස සඳහා නායයාම් පිළිබඳව විමසිලිමත් වීමේ දෙවන අදියරේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇත. මෙම පළමු සහ දෙවන අදියරේ අනතුරු ඇඟවීම් අද (04) පෙරවරු 10.30 දක්වා වලංගු වේ.

අයහපත් කාලගුණය හේතුවෙන් නාවලපිටිය, වෙරළුගස්හින්න ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්තිවාරම් කපමින් සිටියදී පස් කන්දක් කඩා වැටීමෙන් ඊයේ (03) මිය ගොස් ඇතැයි නාවලපිටිය පොලිසිය පවසයි.

ගිං ගගේ නෑමට ගිය පුද්ගලයෙකු දියට වැටී මිය ගොස් ඇත. එමෙන්ම රක්වාන දූලි ඇල්ලෙන් වැටී තිදරු පියෙකුද ඊයේ (03) මියගොස් ඇත.

ජා-ඇළ ප්‍රදේශයේ වික්ෂෝප දේවස්ථානයටද කොහොඹ ගසක් කඩා වැටීමෙන් එහි තිබූ වාහන 5කට අලාභහානි සිදුව තිබේ. බණ්ඩාරගම, කඹුරුගොඩ ප්‍රදේශයේ නිවසක වහලය කඩා වැටීමෙන් වයෝවෘද්ධ කාන්තාවක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.

ඊයේ උදෑසන ඇති වූ වැසි තත්ත්වයත් සමඟ වැසි ජලය වේගයෙන් බැස නොයාම හේතුවෙන් කොළොන්නාවේ ග්‍රාමසේවා වසම් ගණනාවක්, මරදාන ඩීන්ස් පාර, ග්‍රෑන්ඩ්පාස් දකුණ, මාදම්පිටිය ග්‍රාමසේවා වසම සහ වනාතමුල්ල ග්‍රාමසේවා නිලධාරී වසමේ ඇතැම් ස්ථාන ගණනාවක ජනතාව පීඩාවට පත් වූ බව කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි. කොළඹ ඕල්කට් මාවතේ ගසක් කඩා වැටීමෙන් ගමනාගමනයටද බාධා ඇති විය. දිවයිනේ ප්‍රදේශ රැසක ගස් කඩා වැටීම් නිසා වාහන ගමනාගමනයට බාධා ඇති විය.

පැවති අයහපත් කාලගුණයෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතක පවුල් 25ක සාමාජිකයන් 92 දෙනකු පීඩාවට පත්වී ඇතැයි කළුතර මහ දිසාපති ගිනිගේ ජනක ප්‍රසන්න කුමාර මහතා පැවසීය.

වර්ධනය වී ඇති අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ දින කීපයක සිට ඇදහැලෙන අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ නිවාස 08කට අර්ධ හානි සිදුව ඇතැයි මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

නිරිතදිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව අද (04) පෙරවරුව දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම නිවේදනය ඊයේ (03) පස්වරුවේ නිකුත් කළ අතර, බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පෙරේදා (02) මධ්‍යම රාත්‍රියේ සිට අධික වර්ෂාව ඇදහැලෙමින් පවතී. මාවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන මස්කෙළිය ඔය ආරම්භ වන මීරියාකෝට්ටේ හා ශ්‍රීපාද රක්ෂිතයට අධික වැසි ඇද හැලීමෙන් මස්කෙළිය ඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

මාවුස්සාකැලේ ජලාශයට ජලය සැපයෙන මරේ හා ගාඩ්මෝර් දියඇලිවල ජල මට්ටමද ඉහළ ගොස් තිබේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයන්ට පවතින සුළං තත්ත්වයන් හේතුවෙන් හැටන් – කොළඹ මාර්ගයේ දියගල කඩවල ප්‍රදේශයේ ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට විනාඩි තිහක පමණ කාලයක් බාධා එල්ල විය.

කාසල්රී ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය වන බගවන්තලාව, මහඑළිය රක්ෂිතයට 03 දින උදෑසන සිට අධික වර්ෂාව පතිත වීම හේතුවෙන් කෙසෙල්ගමුඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇත.

කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමුඔය පිටාර ගැලීම නිසා බගවන්තලාව, කොටියාගල වතු නිවාසවලට පිවිසෙන මාර්ග රැසක් ජලයෙන් යට වී ඇත.

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ මාර්ගයට ඉහළින් පිහිටා තිබූ විශාල මාර ගසක් (02) දින උදෑසන 8.30ට පමණ ප්‍රධාන මාර්ගයට කඩාවැටුණු බවත්, පසුව ප්‍රදේශවාසීන් සහ ගිනිගත්හේන පොලිසියේ නිලධාරින් එක්ව ප්‍රධාන මාර්ගයට කඩා වැටී තිබූ ගස කපා ඉවත් කිරීමෙන් පසු එම මාර්ගයේ ගමනාගමන කටයුතු පැයකට පමණ පසු යථා තත්ත්වයට පත් කළ බව පොලිසිය පැවසීය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල කඩින් කඩ ඇදහැලෙන අධික වර්ෂාව සහ දැඩි සුළං නිසා හැටන් කොළඹ සහ හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයට ගස්, පස් කඳු කඩා වැටීමේ අවදානමක් පවතින බවත්, මාර්ග ලිස්සන සුලු බැවින් රථ වාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.

පවතින ධාරානිපාත වර්ෂාව නිසා ගිංගඟේ ඉහළ පෝෂිත ප්‍රදේශයන් තවදුරටත් සක්‍රිය වීමත් සමඟ ගිංගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. ඊයේ (03) උදෑසන 09.00 පමණ වන විට බද්දේගම ජල මාපකයේ ජල මට්ටම මීටර් 3.73 දක්වා වැඩි වී තිබූ බවත් එය බද්දේගම ප්‍රදේශයට සුළු ගංවතුර තත්ත්වයක් නිර්මාණය වීමේ අවදානමක් බවත් ගිංගඟ වාරිමාර්ග ඉංජිනේරු පියුමිද සිල්වා මහත්මිය පැවසුවාය. මේ හේතුවෙන් ගිංගඟ දෙපස අගලිය, මුල්කඩ, පාතවැලිවිටිය, බඹරහිකඩ, නාවක්කඩ යනාදී ප්‍රදේශවල පහත් වගා බිම් මෙන්ම අතුරු මාර්ග ගණනාවක් ජලයෙන් යටවී තිබුණි. මේ අතර තවලම ජල මාපකයේ ජල මට්ටම මිටර් 2.92 දක්වා වැඩි වී ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියාය.

පැවති අධික සුළං තත්ත්වය හේතුවෙන් පුත්තලම – කොළඹ දුම්රිය මාර්ගයේ මහවැව මුට්ටිබැඳිවිල මාර්ගයේ කුඩාවැව දුම්රිය හරස් මාර්ගයේ විශාල ප්‍රමාණයේ කොහොඹ ගසක් කඩාවැටීමෙන් 02 දින පැය හයකට අධික කාලයක් දුම්රිය ගමනාගමනය මෙන්ම මහවැව මුට්ටිබැඳිවිල මාර්ගයේ ගමනාගමනය මුළුමනින්ම ඇන හිටිණි.

ගස කඩා වැටීමෙන් දුම්රිය මාර්ගය අසල විදුලි රැහැන් කණුවක් හා දුරකතන රැහැන් කණුවක් කඩා වැටී තිබේ. විදුලි රැහැන් හා දුරකතන රැහැන් පද්ධතියට විශාල ලෙස හානි සිදුවී ඇත. මේ හේතුවෙන් කුඩාවැව හා අවට ප්‍රදේශ කිහිපයකට විදුලිය ඇනහිට තිබේ.

එදින 3.30ට පමණ මෙම ගසා ගස කඩා වැටී ඇති අතර, දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් හා ප්‍රදේශවාසීන් එක්ව මහත් පරිශ්‍රමයක් යොදා උදෑසන 9.00 පමණ වන විට‍ ගස කපා ඉවත් කිරීමට කටයුතු කර ඇත.

විදුලිබල මණ්ඩලය හා ටෙලිකොම් ආයතනය විදුලි හා දුරකතන රැහැන් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *