ඇයි ආණ්ඩුව මෙහෙම?

0

බලයේ සිටින පක්ෂයක්, ඒ කියන්නේ ආණ්ඩුවක් සාමාන්‍යයෙන් තමන්ගේ පාලන කාලය තුළ මොනවා කෙරුවා කිව්වා වුණත් අවසාන කාලය වෙන කොට හැසිරෙන්නේ වෙනස් විදිහකට. ඒ කියන්නේ මැතිවරණය ළං වෙනකොට ජනතාවාදී වෙනවා. ඒක සාමාන්‍යයෙන් මේ රටේ පැවැතුණ ස්වභාවය. මේ කාලේදි කරන්නේ පුළු‍වන් තරම් දේවල් මිනිස්සුන්ට බෙදන එක. මේක ආණ්ඩු පක්ෂයෙන් විතරක් නෙවෙයි, විපක්ෂයේ දේශපාලන පක්ෂ කණ්ඩායම්වලිනුත් වෙන දෙයක්. එයාලත් පුළුපුළුවන් විදිහට බෙදනවා. ආණ්ඩුවක් නම් මැතිවරණ අය-වැයක් එහෙමත් ගේනවා. රාජ්‍ය සහනාධාර, රාජ්‍ය රැකියා තොග පිටින් බෙදනවා. බදු අඩුකරනවා, බඩු මිල අඩුකරනවා වගේ ජනප්‍රිය තීන්දු ගන්නවා.

කප්පරක් පොරොන්දු එක්ක තමන්ට අතපතගාන්න පුළු‍වන් දේවල් ලැබෙනකොට, කන්න බොන්න දේවල් ලැබෙනකොට, ඒ දෙන කෙනාට ඡන්දය පාවිච්චි කිරීම වෙනවා. මේක දේශපාලකයන් හොඳටම දන්නවා අත්දැකීමෙන්ම.

දේශපාලනයේදි ප්‍රතිපත්ති වැඩපිළිවෙලවල්, තීන්දු තීරණ ගැන කොයිතරම් වාද විවාද තිබුණත් මැතිවරණයකදී මිනිස්සුට එව්වා එච්චරටම වැදගත් වෙන්නේ නැහැ. ප්‍රතිපත්ති ගැන වද වෙන මිනිස්සු නැතුව නෙවෙයි, එහෙම කොටසක් ඉන්නවා දේශපාලනිකව හිතන. නමුත් බහුතරය දේවල් තීරණය කරන්නේ එයාලට බොහොම ළඟ දේවල් එක්ක. බඩු බෙදිල්ල වගේම තමන්ට තියෙන නෑදැහිතවත්කම ජාතිය ආගම කුලය බලපානවා. ජනප්‍රිය ප්‍රතිරූපවලටත් මිනිස්සු කැමතියි. මිනිස්සු එහෙම වෙන්නේ දේශපාලනය කියලා එයාල දන්න දේවල් එක්ක. ගොඩක් දෙනෙකු දේශපාලනය කියන්නේ, දේශපාලන පක්ෂයක සක්‍රීය සාමාජිකයකු වීම, මැතිවරණයකට ඉදිරිපත් වීම, මන්ත්‍රී කෙනෙක් ඇමති කෙනෙක් කෙනෙකු වීම වගේ දේවල්. මේ දේවල් එක්ක තමන්ට කවුද මොනවද දෙන්නේ කියන එක අනුව දේශපාලන තීන්දුවක් ලෙස කතිරය ගැසීම කරනවා. දේශපාලකයෙන් පොරොන්දුවක් දීලා ඒක නොලැබුණාම අනෙක් පැත්තට වැඩ කිරීම මේ අය ගන්න බරපතලම දේශපාලන තීන්දුවක් වෙනවා.

ගොඩක්ම මිනිස්සුන්ට දේශපාලන තීන්දු ගන්න ඕන වෙන්නේ සරල ප්‍රශ්න. සංකීර්ණ ප්‍රශ්න අත් හරිනවා. මිනිස්සු අතර ජනප්‍රිය වෙන්න නම් සරළ ප්‍රශ්නවලට සරළ උත්තර තමයි දෙන්න ඕන. මේ දේශපාලනය වෙනස් වෙන්න ගන්නේ ඉතාම අඩු කාලයක්.

ඉතිං මෙහෙම බහුතරයක් එක්ක මේ රටේ දේශපාලනය කරන එක සරළ පහසු දෙයක්. ඕන හොරෙකුට ජාවාරම්කාරයකුට පිස්සෙකුට වුණත් සල්ලි ටිකක් විසිකරමින් මේක පහසුවෙන් කරන්න පුළුවන්. හොඳ කයිවාරුකාරයකුට වුණත් ලස්සන වචන ඇදබාමින් බොරු කියමින් මේ දේශපාලනය කරන්න පුළුවන්. මේ දවස්වල වුණත් මේ කියන දේශපාලනය රටේ වෙනවා දකින්න පුළුවන්. ජනප්‍රිය දේශපාලනය වෙන්නේ මේක.

නමුත් මේ ජනප්‍රිය දේශපාලනය වෙනුවට ජනප්‍රිය නොවන දේශපාලනයකුත් රටේ තියෙනවා. ඇත්ත දේශපාලනය වෙන්නේ මේක. රටක් ජනතාවක් වෙනස් කිරීම තමයි වැඩේ වෙන්නේ. මේක අමාරු වැඩක්. ප්‍රතිපත්ති එක්ක දේශපාලනය තෝරමින් තීන්දු ගන්න එක ජනප්‍රිය නැහැ. මොකද මේකෙදි බෙදන්න දේවල් නැහැ, මිනිස්සුන්ට ළඟ ළඟ මොකුත් ලැබෙන්නේ නැහැ. සමහර විට මිනිස්සු දුෂ්කරතාවයට පත් වෙන්නත් පුළුවන් මේ වැඩවලින්. ආණ්ඩුවක් දේශපාලනය කරද්දි ප්‍රතිපත්ති එක්ක වැඩ කරනවා කියන්නේ අතුරේ යනවා වගේ වැඩක්. පරණ ප්‍රතිපත්ති වෙනුවට අලුත් දෙයක් යෝජනා කරන එකත් බරපතල විරෝධයන්ට ලක්වෙන්නත් පුළුවන්. ඒකත් මැතිවරණය උණුසුමක් පැතිරෙමින් තියෙන වෙලාවක වෙනවා කියන්නේ ලණු කැඩිච්ච අතුරක යෑමක්.

කොහොම වුණත් ලබන අවුරුද්ද මැතිවරණ කාලයක් වීමේ ලකුණු පහළ වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් දේශපාලන පක්ෂ මැතිවරණ ආසනන්යේ තමයි සක්‍රීය වෙන්නේ. නමුත් පහුගිය වසරක දෙකක් කාලය බැලු‍වොත් විශේෂයෙන්ම විපක්ෂයේ ප්‍රධාන පක්ෂ අඛන්ඩවම වගේ දිනපතා මහජන රැළි, උද්ඝෝෂණ ආදිය පවත්වමින් විශාල දේශපාලන කතිකාවක් නිර්මාණය කරමින් යනවා. ඒවාට ජන සහභාගිත්වයකුත් තියෙනවා. ඒක හොඳයි. පහුගිය කාලේ වෙච්ච දේවල් එක්ක මිනිස්සු පක්ෂ දේශපාලනය පිළිකුල් කරලා ඒකෙන් අයින් ගහල හිටියේ, 225ම එපා කියන තැන. නමුත් ඒක දැන් වෙනස් වෙලා. ආණ්ඩුවේ සහ විපක්ෂයේ ක්‍රියාකාරිත්වය මිනිසුන්ගේ පසුගාමී බව වෙනස් කරලා. නමුත් මිනිස්සු මේකේ සක්‍රීය වෙන්න ඕන දේශපාලනිකව හිතන්න තීන්දුගන්න පුළුවන් වෙන තැන දක්වාම. ප්‍රතිපත්ති දේශපාලනය ගැන වාදයක් වෙන්න ඕන. අතට ලැබෙන දේ, කටට දාගන්න ලැබෙන දේ ගැන නෙවෙයි. පක්ෂය, පුද්ගල ප්‍රතිරූපය, ජාතිය, ආගම, කුලය ගැන නෙවෙයි.

මේ අස්සේ අද ජනාධිපති රනිල් කරමින් ඉන්නේ වෙනස් දේශපාලනයක්. ආණ්ඩුව තමන්ගේ ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති තීන්දු තීරණ සෘජුව ගනිමින් වැඩ කරනවා. ජනප්‍රිය වැඩ ආණ්ඩුවෙන් ප්‍රදර්ශනය වෙන්නේ නැහැ මැතිවරණ උණුසුමක් දැනෙමින් තිබුණත්. මේක වෙනස් තත්වයක්.

පක්ෂ දේශපාලන කෝණයෙන් බැලු‍වාම ආණ්ඩුව මේ වෙලාවේ ජනප්‍රිය නැහැ. ජනප්‍රිය වෙන්න හදන්නෙත් නැහැ. ඒත් එයාලගේ වැඩේ කරනවා. තව කෙටි කාලයක් තියෙන්නේ මැතිවරණ වලට. මේ කාලයේදී ජනමතය දිනාගන්න ආණ්ඩුවට බැරිවෙයි කියල විපක්ෂය වගේම බොහෝ මිනිස්සුත් දැන් හිතනවා වෙන්න පුළුවන්. ඒත් ආණ්ඩුවේ ප්‍රතිපත්ති තීන්දුවල ප්‍රතිලාභ තියෙන්නේ තව ඉස්සරහට. එතකොට දේශපාලනය වෙනස් වෙන්න ගන්නේ ඉතාම අඩු කාලයක්.

………ලොකු……….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *