මීටර් 800ක සීමාව ඉක්මවන්න ඇයට අභියෝග කළ සියලූ ආසියාතිකයින් ඇය පරාජයට පත් කළාය. එහි තේරුම ඇයට වඩා වේගයෙන් දිවිය හැකි තවත් කිසිවකුත් නැති බව නොවේ. තවත් අය සිටිය හැකිය. නමුත් වැදගත්ම දේ ඒ වෙනුවෙන් ඉදිරිපත් වීමට බිය සැක දුරු කළ ධෛර්ය සම්පන්න අය සිටියා කියන එකය. මෙය අසීරු ව්‍යායාමයකි. ජයග‍්‍රහණය හඹායන වුන් පසුකර, ජයග‍්‍රහණය තෙක් දිව යෑම පහසු නැත. ඒ වෙනුවෙන් දරාගැනීම, කැපවීම, අධිෂ්ඨානය තිබිය යුතුය. එසේම නිවැරදි සැලසුමක් තිබිය යුතුය. පුහුණුවක් තිබිය යුතුය. අධ්‍යාපනයක් තිබිය යුතුය. ඒ සුදුසුකම් සැපිරූවන් රැසක් ඇය හා තරගයට පිවිස තිබිණි. නමුත් ඒ සියල්ලට වඩා තරුෂි කරුණාරත්න ඉස්සර විය.

තරුෂි තවමත් 18 වියැති පාසල් ශිෂ්‍යාවකි. එහෙත් ඇයගේ ඉදිරිපත් වීම වයසට වඩා පරිණත විය. අතිශය දුෂ්කර කොන්දේසි යටතේ ඇය මේ අත්පත් කරගත් ජයග‍්‍රහණයට දසතින් සුබපැතුම් ගලා අවේය. වචන මාත්‍රයකින් හෝ ඇයව පෙර දිරිමත් කළ හෝ නොකළ මිනිසුන් පවා සුබ පැතුවේය.

ඒ අතර ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ දුරකතනයෙන් ඇය අමතා රට වෙනුවෙන් සුබ පැතුම් එක්කර තිබිණි. ඒ සඳහා ඔහුට හිමිකමක් තිබිණි. එකක් ඔහු ශ‍්‍රී ලාංකික පුරවැසියන්ගේ රාජ්‍ය නායකයා වීමය. අනෙක් කරුණ තරුෂිලාට මේ තැනට එන්න පිටිය සකස් කළේ ඔහු නිසාය.

මෙරට පාසල් පද්ධතියට ක‍්‍රීඩා පාසල් හඳුන්වා දෙමින්, සමස්ත ලංකා පාසල් ක‍්‍රීඩා උළෙල හඳුන්වා දෙමින් පාසල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාතික තලය දක්වා උස් මහත් කිරීමට අවශ්‍ය අඩිතාලම ඔහු දමා තිබිණි.

එහෙත් අද තරුෂිලාගේ කතාව මල් ඇතිරූ මාවතක දිගැදුනක් වුයේ නැත. දුක් කම්කටොලූවලින් පිරුණකි. තරුෂිලාගේ ගමන්ට අවශ්‍ය පහසුකම් සැපිරී තිබුණේ නැත. වලල එස්. රත්නායක නම් ක‍්‍රීඩා පාසලෙන්, සුසන්ත ප‍්‍රනාන්දු ක‍්‍රීඩා පුහුණුකරුවාගෙන් ලැබුණු අත්වැල අත්නොහැර ඇය දිව්වා. නමුත් අද ලෝකය පහසුවෙන් ජය ගන්න තරම් ඒ අත්වැල් ඇති තරමට සවිමත් නැති බව ඇත්ත කතාවය. රටද සවිමත් නැත. ඊට තව උදව් අවශ්‍යය.

ක‍්‍රීඩා පාසල් සංවර්ධනය විය යුතුය. තව තවත් ගොඩනැංවිය යුතුය. පුහුණුකරුවන් නව දැනුමෙන් සන්නද්ධ කළ යුතුය. ක‍්‍රීඩාවේ අනුග‍්‍රාහකත්වයන් වර්ධනය විය යුතුය. අද අධිවේගයෙන් දුවන ලෝකයට සමගාමීව දුවන්න පුළුවන් මිනිස්සු හදන හොඳ යාන්ත්‍රණයක් පාසල් පද්ධතියට එකතුවිය යුතුය. රජය හමුවේ අත් නොහැරිය යුතු වගකීමක් ලෙස එය තිබේ.

එහෙත් අද රට හමුවේ තිබෙන්නේද ධාවන තරගයකි. සෙසු තරගකරුවන් රට අභිබවා ගොසිනි. රට හතරගාතෙන් ඇද වැටී තිබේ. යළි සෙස්සන් හා තරග කරන්න නම් රට සැපිරිය යුතු කොන්දේසි බොහොමයකි. ‌මේ නිසා අද දුෂ්කර තත්වයන් රැසක් යටතේ ඒ කොන්දේසි සපුරාගැනීම වෙනුවෙන් රටටම වෙහෙසෙන්නට සිදුව තිබේ. කැපකිරීම් කරන්නට සිදුව තිබේ. ඉගෙනගන්න සිදුව තිබේ. සැලසුම් සහගතව පියවර තබන්නට සිදු තිබේ. සියල්ලට වඩා ඒ සදහා අවංක අධිෂ්ඨානය තිබිය යුතුය. තව තවත් තරුෂිලා රටට බිහි කරගත හැක්කේ ඒ අනුවය. රට ඒ වෙනුවෙන් ගොඩනැගීම විය යුතුය. ඇත්තටම රටේ අනාගත භාරකරුවන් විය යුත්තේ තරුෂිලා වගේ අභියෝග භාරගෙන දුවන්න පුළුවන් මිනිස්සුන්ටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *