මීළඟ ජනාධිපති කවුද පැහැදිලියි- අගමැති තවම සූදානම් නෑ.

0

මේ වසර මැද මැතිවරණයක් පැවැත්වීම නිශ්චිත බව පෙනීයත්ම දේශපාලන කරලියද ක්‍රමක් ක්‍රමයෙන් උණුසුම් වෙන්න පටන් අරන්, ජනාධිපතිවරණයකදි කාටවත් තනිව බහුතරය ලබාගන්න බැරි බව පැහැදිලි නිසා හැමෝම සන්ධාන සංවාද කරන්න පටන් අරන්.

අපේ රටේ සන්ධාන ගොඩනැගෙන්නේ ප්‍රතිපත්ති වලට වඩා ඩීල් මත නිසා, දැන් මේ සන්ධාන සාකච්ඡා මේස වල අගමැතිකම්, ඇමතිකම් වෙන්දේසි වෙන්න පටන් අරන්.
සන්ධාන සම්බන්ධ සාකච්ඡාවේ දී ජවිපෙ නම් ඉන්නෙ ටිකක් නිහඬ පිළිවෙතක. මොකද ජවිපෙට ඕනෙ ජනාධිපතිවරණය ජයග්‍රහණයට වඩා විපක්ෂයේ බලය අල්ලගන්න, විපක්ෂයේ වැඩිම බහුතරය අරන් අනුරව විපක්ෂනායක කරල 2030දි බලය ලබාගන්න.

ඒත් සජිත්ට මේක ගල උඩ සටනක්, මේ පාර ජනාධිපති වෙන්න බැරි වුණොත් සජිතුත්, සජබයත් නැති වෙනව කියල ඔහු හොඳින්ම දන්නව, ඒ නිසා සජිත් ඉන්න විශාල හදිස්සියක, මේ විශාල හදිස්සිය නිසා සජිත් වරද්දා ගැනීම් මාලවක් එක දිගට කරනව.

ඩලස්ගේ කණ්ඩායම වෙන්වුණේ පොහොට්ටුවෙන්, ඒ නිසා ඔවුන්ට පොහොට්ටුවට ආයේ එකතු වෙන්න තිබෙන ඉඩ අඩුයි. ඒ වගේම ඩලස්ල එක්ක ඉන්න ජී එල් ලට ගොඩහේවලට ජවිපෙ එක්ක එකතු වෙන්නත් අමාරුයි. ඒ නිසා සජිත්ට කරන්න තිබුණු හොඳම දේ ඩලස්ලගේ මුළු කණ්ඩායමම එක්ක සන්ධානයකට යන එක, ඒත් සජිත් හදිස්සිය හින්ද ඩලස්ගෙන්, ගොඩහේවයි ජීඑල් පීරිස්වයි දෙන්න කඩනව, ඒ අගමැති පොරොන්දුවක් දීල, දැන් සජිත්ට ඩලස් එක්ක ඉන්න ටීම් එක ගන්න බෑ, ඩලස්ට වෙනව ජවිපෙ හරි රනිල් හරි එක්ක යන්න, මොකද ඩලසුත් දැන් කුඩාවෙලා නිසා එයා කේන්ද්‍ර කරගෙන කවුරුත් සන්ධාන හදන්න යන්නෙ නැහැ.

කොහොම වුණත් මීට මාස කීපෙකට කලින් ලාල්කාන්ත කියල තිබුණ ඩලස් වගේ අය නම් හා කියල. ජවිපෙ තාම ඒ මතේ ඉන්නවද කියල හරියටම පැහැදිලි නෑ, ජවිපෙට අගමැති අපේක්ෂකකම ඩලස්ට දෙන්න පුළුවන් වුණත් ජනාධිපතිවරණය පැරදිලා මහමැතිවරණයකට යන කොට අනුර විපක්ෂනායක භූමිකාව වෙනුවෙන් අගමැති අපේක්ෂකකම ගන්නව. ඒත් ඉතින් තනියම ඉල්ලලා පාර්ලිමේන්තු එන්නත් බැරි එකේ පරණ පත්තර යාලුකම් අලුත් කරන් ජවිපෙට වෙලා ඉන්න ඩලස් හිතහදා ගන්නත් ඉඩතියනව.

ඩලස්ගේ මේ තනිකමෙන් ප්‍රයෝජනයක් ගන්න හිතාගෙන ඩලස් එක්ක චම්පිකත් කතා කරල තියනව, ඒත් එතන ප්‍රශ්නේ තියෙන්නේ දැනට මන්ත්‍රී ධූර හතර පහක් හරි තියන ඩලස් මොකටද එක මන්ත්‍රීකමක් තියන චම්පිකගේ නායකත්වය යටතට යන්නෙ කියන එක.

චම්පිකත් ඩලස් එක්ක වගේම ශ්‍රිලනිප එක්කත් කතා කරල තියනව, ඒ යෝජනාව ගැන නම් නිමල් සිරිපාලල, අමරවීරල කතා කරන්නත් කැමති වෙලා නෑ. ශ්‍රිලනිපය ඇතුලෙත් බෙදීමක් තියෙන එක පාවිච්චි කරල සජිත් දයාසිරිටත් අගමැති පොරොන්දුවක් දීල තියනව, ඒත් ශ්‍රිලනිප බහුතරයක් ඉන්නෙ රනිල් එක්ක.

මේ අතර චන්ද්‍රිකා කුමාරතුංගත් මේ දවස් වල දේශපාලනය තුළ ආයෙ සක්‍රීය වෙලා, ශ්‍රිලනිප, ඩලස් සහ පොහොට්ටුවෙන් ඉවත් වෙලා ඉන්න කණ්ඩායම් එක්ක සාකච්ඡාවක් පටන් අරන් තියනව, චන්ද්‍රිකාගේ මේ මැදිහත්වීම දැනගත්ත ගමන් චම්පික එතෙන්ටත් ඇප්ලිකේෂන් එකක් දාල බලල තියනව, ඒත් චම්පිකගේ මේ ඇප්ලිකේෂන් එකත් අනිත් හැම තැනකින්ම වගේ ප්‍රතික්ෂේප වෙලා තියෙන්නෙ, ඉල්ලල තියන තනතුරේ ප්‍රශ්නය නිසා. කලබලේ, එක ඉල්ලන්නෙ නැතුව දෙක හරි තුන හරි ඉල්ලන්න හිත හදාගත්ත නම් චම්පිකගේ ඇප්ලිකේෂන් එක චන්ද්‍රිකා විතරක් නෙමේ තව බොහෝ දෙනෙක් භාර ගන්න ඉඩ තිබුණ. චම්පිකට මේ පිළිබද කරුණු පැහැදිලි කරල චම්පිකව අනුරගේ දෙවෙනිය කරන්න පුළුවන්ද කියල ජයම්පති වික්‍රමරත්නල වගේ පැරණි සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෝ පිරිසක් උත්සාහ කළත් ඒකට ශිරාල් ලක්තිලකලා වගේ මෑතක සිට චම්පිකගේ සමීපතමයන් වී සිටින පිරිස විරෝධය නිසා ඒ අවස්ථාවත් චම්පිකට මඟ හැරිල.

හැමෝගෙම පක්ෂවලින් කෑලි ගලවන්න අගමැති පොරොන්දු දික්කර කර යන සජිත් මේ වෙන විට ජී එල්, ගොඩහේවා, රොෂාන් රණසිංහ, දයාසිරි වගේ එයා එක්ක එකතුවෙන්න ඉඩ තියන තනි තනි මිනිස්සු සේරටම අගමැතිකම් පොරොන්දු වෙද්දි සජබ ඇතුලෙ ඉන්න අගමැති සිහිනය දකින ප්‍රබලයෝ දෙන්නෙක්ට හොඳටම හිත රිදිල ඉන්නෙ, ඒ රංජිත් මද්දුම බණ්ඩාර සහ කිරිඇල්ල. කිරිඇල්ල මේ නවනින්ගිරාව හිතෙන් දරාගෙන මූනිච්චාවට හරි සජිත් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කතා කළාට රංජිත් මද්දුම බණ්ඩාර නම් මේ පාර පාර්ලිමේන්තු විවාදෙ දී හිටියෙ නිහඬ පිළිවෙතක ,

අයවැය විවාදෙ දී රනිල්ගේ අයවැය වෙනුවෙන් කාංචනල, ශෙහාන්ල, ප්‍රසන්නල, දිනේශ්ල, නිමල් සිරිපාලල ටීම් එකක් විදිහට පෙනීසිටිද්දි සජිත්ට සිද්ධ වුණේ තනියම කතා කරන්න. මුළු අයවැය විවාදෙදි, වැය ශීර්ෂ විවාද වලදි විනාඩි 351ක් කතා කළේ සජිත්, වැය ශීර්ෂ වලින් පිට බැන අඩගහගන්න විනාශ කරපු විනාඩි 1250න් 359ක් අරන් තියෙන්නෙත් සජිත්.
සජිත්ට එහෙම වුණේ සජිත්ගේ මංපොර සංකල්පය නිසා විතරක් නෙමේ. ඇත්තටම සජිත් වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැති නිසා කියල තේරුණේ සජිත් ඇරුණාම වැඩිපුරම කතා කළේ චමින්ද විජේසිරි වගේ මන්ත්‍රීවරු කීපදෙනෙක් පමණක් වීම නිසා,

තමන්ට අදාල වැය ශීර්ෂ වලට විතරක්ම කතා කරපු එරාන්, හර්ෂ, තලතා, රාජිත, කබීර් වගේ අය “අපි කුහක නෑ, ජනාධිපතිවරයා රට යම් මට්ටමකට ස්ථාවර කළා..” වැනි ප්‍රකාශ කරමින් රනිල්ට සයිඩ් සපෝර්ට් එකක් දුන්න විතරක් නෙමේ, සජිත්ට කුහකය කියලත් හින්ට් එකක් ගැහුව.

ඒ අයවැය විවාදෙ බලපු ඕනෙ කෙනෙක්ට සජබෙ බහුතරයක් ඉන්නෙ රනිල් එක්ක කියල තේරෙණව, ඒත් රනිල් දිගටම කියනව කියන්නෙ, “ඔයාල පක්ෂෙ කඩාගෙන එන්න එපා, පක්ෂෙම එක මතයකට එන්න” කියලලු, රනිල් එහෙම කියන්නෙ, සජිත් එජාපය කඩල සජබ භදපු එකෙන් රටට වුණ විනාශය නිසාද, ඔහු වින්ද පුද්ගලික වේදනාව නිසාද දන්නෙ රනිල් විතරක් වුණත්, සජබයෙන් එන්න ඉන්න සමහරු දැන් කියන්නේ නායකතුමා කිව්වට අපිට නම් තව අල්ලන් ඉන්න බෑ, ඉක්මනට අපිව ගන්න කියලලු.

රනිල් සජබෙ ගෙඩිය පිටින් ගනීද, සජිත් කියන ලෙල්ල ගහල ගෙඩිය ගනීද, ගෙඩිය බිඳල ලොකු කෑල්ල ගනීද කියල බලාගන්න වෙන්නෙ තව මාස කීපයකින් වුණත් පොහොට්ටුව නම් ගෙඩිය පිටින්ම රනිල් එක්ක කියල මේ පාර සමුළුවෙ මහින්දගේ කතාවෙන් හැමෝටම තහවුරු වුණා.
මේ විදිහට සිදුවෙන සහ සිදුවීමට නියමිත බෙදීම් සහ එකතුවීම් දෙස බලනකොට ඊළඟ ජනාධිපතිවරයා කවුද කියල නම් පැහැදිලියි. ඒත් අගමැතිවරයා කවුද කියන එක නම් දැන ගන්න වෙන්නෙ මහමැතිවරණයෙන් පස්සේ. මොකද රනිල්, සජිත් වගේ වත්ත වටේ අගමැති පොරොන්දු නොදෙන නිසා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *