ලංකාව ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණදී එයින් ගැලවීම ලබමින් සිටිනේය. අන්තර්ජාතික ප්‍රජාව ශ්‍රී ලංකාවේ මේ යළි නැගීසිටීම සළකන්නේ ප්‍රාතිහාර්යයක් ලෙසය. ඒ අසාර්ථක මූල්‍ය හා ණය කළමනාකරණයේ නූතන ගෝලිය අවාසනාවේ ආදර්ශයක් ලෙස ඔවුන් ලංකාව තක්සේරු කර තිබූ නිසාය. ලංකාවේ යළි නැගිටීමක් වෙනුවෙන් දෙවියන් වෙත කෙරෙන යාඥාවක් මිස වෙනත් වැඩපිළිවෙළක් ගැන වූ විශ්වාසයක් ඔවුන්ට නොතිබූ නිසාය. නමුත් අදහාගත නොහැකි වූ ලංකාවේ යළි නැගීසිටීම ද ගෝලීය ආදර්ශයක් ලෙස ගන්නට තරම් ඔවුන් අවංක වී ඇත. ඒ වෙනුවෙන් වන සෑම සහායක්ම ලබාදීමට ඔවුන් සපථව සිටින්නේද ඒ නිසාය.
ලංකාවේ මේ යළි නැගීසිටීමේ ප්‍රාතිහාර්යෙහිලා ගැලවුම්කරු භූමිකාව අන් කිසිවෙකුගේ නොව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේය. විපක්ෂයේ හුදෙකලා වූ තනි මන්ත්‍රීවරයා ලෙස සිටිමින් ඒ ප්‍රාතිහාරය පෑවේ විශ්වීය බලයකින් නොව, නිවැරදි ප්‍රතිපත්තියක පිහිටා නිශ්චිත වැඩපිළිවෙළක් තුළ ක්‍රියාත්මක වූ නිසාය. ඒ හමුවේ වාමාංශික මූලෝපායන් අසාර්ථක බව යළි යළිත් තහවුරු කෙරුණු අතර, ඊනියා වමටත් ලිබරල් සළුපට නොමැතිව බැරි තැනට තත්වයන් ප්‍රතිනිර්මාණය විය. එසේ නම් මේ නව දේශපාලන රසායන වෙනස හමුවේ, මිලියන 22 ක ජනතාවගේ ඉරණම ඇත්තේ ජනාධිපති රනිල්ගේ වැඩපිළිවෙළ ඉදිරියටත් ක්‍රියාත්මක කිරීම තුළය. නමුත් අවාසනාව වී ඇත්තේ ප්‍රායෝගික දේශපාලන භාවිතය තුළ තහවුරු කළ ලිබරල් කඳවුරේ නිවැරදි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට එහිම වූ බාධාවක් හමුව තිබීමය. ඒ අන් කිසිවෙකු නොව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය.
“‍සජිත්ට දේශපාලනය බෑ කියලා ප්‍රේමදාස ජනාධිපති මට කිව්වා”‍ ඒ කතාව ආණ්ඩුකාර මුසම්මිල්ගේය. ඒ බව ඔහු ප්‍රසිද්ධියේ කිව්වේ හදමඑමඉැ නාලිකාවක් සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදීය. ඒ කියන්නේ පුතාණෝගේ නොහැකියාව පියාණෝ පළමු මොහොතේ සිට නිවැරදි ලෙස තක්සේරුකර ඇති බවය. සැබවින්ම දේශපාලනය තුළ නායකයකු ලෙස බෞතීස්මය ලබන්නේ ඔහු ආර්. ප්‍රේමදාසගේ පුතා වීම නිසා මිස වෙනත් කිසිම සුදුසුකමක් ඇතුව නොවේය.
එදා ආණ්ඩුකාර මුසම්මිල් කියූ කතාවේ ඇත්ත-බොරු කොහොම වුවත් නායකයකු වීමට තරම් සජිත් පරිණත නොවන බව ඔහු විසින්ම ඕනෑවටත් වඩා ඔප්පුකර හමාරය. එහි පළමු සාක්ෂිය හමුවන්නේ, ‘රනිල්ට දිනන්න බෑ’ කියා සජිත් ව එජාප නායකයා කිරීමට දියත්වූ පක්ෂ අභ්‍යන්තර අරගලය තුළය. ඒ අරගලය අවසන් වුනේ ලිබරල් දේශපාලනඥයින් බොහෝ දෙනෙකුගේ පශ්චාත් භාගය (පස්ස) නැතිවීමෙන්ය.
ඉතිහාසයේ එකම වරද පළමු අවස්ථාවේ ඛේදවාචකයක් වන බව ඒ හරහා ඔප්පු කෙරිණ. නමුත් දෙවැනි වරටත් ඒ වරද කරයිද? එය හාස්‍යක් බවට පත්වන බව තහවුරු කෙරුණේ එජාපයේ පදාසයක් ගලවා සජිත් නායකයා කර තැනූ සජබ හරහාය.
සජිත් නායකයා කර සජබ තැනුවේ ද ‘රනිල්ට දිනන්න බෑ’‍ කියන සටන් පාඨය පෙරමුණේ තබමින්ය. පළමුව ඛේදවාචකය දෙවනුව හාස්‍යජනක වූයේ සජිත්ව නායකයා කිරීමට එක්වූ පිරිසම සජිත්ව ප්‍රතිකේෂ්ප කිරීම හමුවේය. අනෙක් අතට සජිත්‍ව නායකයා කිරීමට මුල්වූ පිරිසම සජිත් ද්‍රෝහීන් ලෙස සැළකීම තුළය. ඒ සිදුවූ තීරණාත්මක දේශපාලන මොහොත වූයේ 2019 ජනාධිපතිවරණය සහ 2020 මහ මැතිවරණයය.
2019 ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකත්වය ලද සජිත් කියූ ප්‍රසිද්ධ කියමනක් නම්, තමන් තම පියාණෝගේ හොඳ මිස නරක එක්කර නොගන්නා පුතාණෝ නොවන බවය. නමුත් සිදුවූයේ එහිම ප්‍රතිවිරෝධයය. එනම් සිය පියාණෝගේ නරක සජිත් එක්කර ගෙන ඇති බව 2019 ජනාධිපතිවරණ පරාජය අවස්ථාවේම සජිත් තහවුරු කිරීමය. ඊට අදාළ ඉතිහාස සාක්ෂිය මෙසේය.
1989 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා ප්‍රේමදාස ගේ නම යෝජනා ස්ථිර කළේ ලලිත් සහ ගාමිණීය. ජේ.ආර්. මෙන්ම ලලිත්, ගාමිණී කවුරුත් එම ජනාධිපතිවරණයේදී ප්‍රේමදාසව ජයග්‍රහණය කරවීමට හැකි උපරිමයෙන් වැඩ කළ බව රහසක් නොවේය. ප්‍රේමදාස සමඟ එතරම් ඇයි හොඳයියක් නොතිබූ තොන්ඩමන්ලා මෙන්ම උතුරේ ජන්ද ප්‍රේමදාසට වැටුණේ ඒ නිසාය. නමුත් ජනාධිපතිවරණය දිනූ ප්‍රේමදාස පසුව කීවේ වෙන කතාවක්ය. ඒ එජාපය තමන්ට අපේක්ෂකත්වය දුන්නේ තමාට ආදරයකට නොව තමාව පරාජය කොට ගෙදර යවන්න යැයි කියාය.

2019 ජනාධිපතිවරණ පරාජයට පසුව

සජිත් ඒ පියාණෝගේම නරක පමණක් උකහාගත් පුතාණෝ බව ඔප්පුකර සිටියේ මෙසේය. එහිදී සජිත් සිය පවුලේ උදවිය වගේම ඊට සමීපතම මිතුරන් වෙත පවසා තිබුණේ, ඵක්‍ක්‍ ගිවිසුම ඇතුළුව රනිල්ලා – මංගලලා වේදිකාවේ කියූ කතා තමාගේ පරාජයට හේතු වූ බවය.
සජිත් එහෙම කියන විට 2019 ජනාධිපතිවරණ පරාජයෙන් පසුව ලක්ෂ්මන් කිරිඇල්ල මහනුවරදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී කිව්වේ වෙන කතාවක්ය.
“සජිත් රනිල්ගෙන් ඉල්ලු‍වේ උතුරු නැගෙනහිර ඡන්ද අරන් දෙන්න කියලා විතරයි. එයා රටේ අනෙත් පැති බලා ගන්නම් කීවා. දැන් බලපුවාම ගම් මට්ටම, බිමි මට්ටම මොනවත් එයාට තිබිලා නැහැ. සිරිකොතේ ඉඳලා ජන්දෙ කරන්න කියල අපි කිව්වා. නමුත් ඇහුවේ නැහැ. එයාට ඕනෑ අය දාගෙන වොක්ෂොල් වීදියේ වැඩකරන්න ගිහින් තමයි මේ අවුල සිදු වුණේ. තව දෙයක්, අපේ වගේ නෙවෙයි එදා මහින්ද ඉල්ලන වෙලාවේ චන්ද්‍රිකා සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා. නමුත් මහින්ද ඡන්දෙන් දිනුවා. දැන් පැරදුණාට පස්සේ අනික් අයට ඇඟිල්ල දිගු කරලා වැඩක් නැහැ. අපිත් හිතුවේ එයා ගම් මට්ටමේ ජනප්‍රියයි කියලා. දැන් බලපුවාම එයාට ගම් මට්ටම නැහැ”‍ කියාය.
ඒ කියන්නේ සජිත්ගේ අවුල 2019 ජනාධිපතිවරණ පරාජය හමුවේම තහවුරුව තිබූ බවය. ඒ නොතකා 2020 මහ මැතිවරණය වෙනුවෙන් සජිත්ගේ නායකත්වයෙන් සජබ ගොඩනැගූ අතර, වත්මන් අර්බුදයේ මූලාරම්භය ද එතැනමය.
සජිත් කියන්නේ අලු‍ත් ගමනක් යන්න තියා මොන්ටිසෝරියේ නායකකමටවත් සුදුස්සෙකු නොවන බව තේරුම් ගන්න ඒ පිරිසට වැඩි කලක් ගියේ නැත. මංගල මහ මැතිවරණයට ඉදිරිපත්වීම පවා ප්‍රතික්ෂේප කර ආපසු හැරුණු අතර ආපසු නොහැරුණු පිරිස උත්සාහ කළේ අභ්‍යන්තර අරගල කරමින් හෝ සජිත්ව හදාගන්නටය. ඒ අයට තරු පැන්නේ, කටින් බතල කොපමණ හිටෙව්වත් සජිත් කියන්නේ අභියෝගයක් භාර ගන්න තරම් පෞරුෂයක් නැති අයෙකු පමණක් නොව, පක්ෂ දේශපාලනයේ ප්‍රමුඛ අභිලාශය ගැනවත් අවම සංවේදීත්වයක් නැත්තෙකු බව අරගලය හමුවේ ඔප්පුවූ නිසාය. ඒ ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන ලෙස එවකට ජනාධිපති ගෝඨාභය සිදුකළ දැනුම්දීම හැරෙන තැපෑලෙන් ප්‍රතික්ෂේපකර පැන ගිය නිසාය. ඊට විරෝධය දක්වමින් හරීන් – මනුෂ එළියට ආවේ ‘ආසයි-බයයි’‍ නායකයකු සමඟ තවදුරටත් දේශපාලනය කිරීමෙන් ඵලක් නොමැති බව කියමින්ය. ඒ බව තේරුම්ගත් තවත් පිරිසක් සජබ ඇතුළේ හිටියත් ඔවුන් සදාචාර ප්‍රශ්න මුල් කරගෙන දිගටම සජබ ඉන්න තීන්දුව ගත්තේය. ඔවුන්ට තිබු මූලික ගැටලු‍ව වූයේ රාජපක්ෂවරුන් සමඟ ආණ්ඩු කිරීම තමන්ගේ දේශපාලන පතිවතට අහිතකර වනු ඇති බවය.
පළමුව සජිත්ව පක්ෂ නායකයකු කරගෙන පොට වරද්දාගත් මේ පිරිස ඒ වරද දෙවැනි වතාවට සිදුකළේ ‍අර්බුදයත් අරගලයත් සමඟ උදාවූ නව දේශපාලන මොහොත පිළිබඳ නිවැරදි තක්සේරුවක් සිදුකිරීමට නොහැකි වූ නිසාය. එනම් තවදුරටත් සම්ප්‍රදායික දේශපාලනය වලංගු නොවන බවය. මිලියන 22ක ජනතාවගේ ඉරණම අමුසොහොනකට යන අතරේ රකින දේශපාලන පතිදම් තුට්ටුවක් නොවටින බවය.
කෙසේ වුවත් සජිත්ගේ ළදරු නායකත්වය සමඟ හෝ යන්න සූදානම් මේ පිරිස පක්ෂයක් ලෙස පරිණත වන්නට උත්සාහ කළ බවද මෙහිලා සඳහන් කළ යුතුය. රටේ පැවති ප්‍රමුඛ ප්‍රශ්නය වූ ආර්ථික අර්බුදය විසඳන සජබ වැඩපිළිවෙළ ලෙස ‘බ්ලු‍ ප්‍රින්ට්’ එළියට එන්නේ ඒ අනුවය. එදා මහා ඉහළින් එය වර්ණනා කළ සජිත් ප්‍රසිද්ධියේ පවසා සිටියේ, සජබ ආණ්ඩුවේ ආර්ථික වගකීම හර්ෂ, එරාන්, කබීර් ත්‍රිත්වය දරන බවය. එපමණක් නොව, එයින් තවත් පියවරක් ඉදිරියට ගිය සජිත් ආරක්ෂාව පිළිබඳ සියලු‍ වගකීම් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට දෙන බවද සඵත කළේය. ඔය ආකාරයේ මානසික අල්ලස් සමඟ පක්ෂයත් නායකකමත් රැකගන්නට ගේම් ගැසුවා මිස, රට ගොඩනගන වැඩපිළිවෙලක් තබා පක්ෂයේ කටයුතු සම්බන්ධව නිසි ප්‍රතිපත්තියක් හෝ සජිත්ට තිබුණේ නැත. සජිත් දිගින් දිගටම කටයුතු කළේ තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගන්නටය. පැය ගණන් පාර්ලිමේන්තුවේ කතා පැවැත්වුයේ එදා එජාපයේ සිටි පරිණත දේශපාලන නායකයන් රැසක්
තම පක්ෂය තුළ සිටින බව මායිම් නොකරමින්ය.
මේ සියල්ල මැද සජිත් යනු මිලියන 22ක ජනතාවගේ ඉරණම තීන්දු කරන තීරණාත්මක නිමේෂයේ බාධාව ලෙස අභිමුඛ වන්නේ, ජනාධිපති රනිල්ගේ ප්‍රාතිහාරය හමුවේය. එහිදී අනාවරණය වූයේ අන්තයටම වැටුණු රට යළි ගොඩගැනීම වෙනුවෙන් ජනාධිපති රනිල්ගේ වූ වැඩපිළිවෙළ සහ සජබ ආර්ථික ප්‍රතිපත්තිය අතර වෙනසක් නොමැති බවය. ඊට අදාළ සජිත්ගේ ප්‍රතිචාරය වූයේ ජනාධිපති රනිල්ගේ වැඩපිළිවෙළ සජබ ප්‍රතිපත්තියට සමාන නම් සජබ ප්‍රතිපත්තිය වෙනස් විය යුතු බවය. නිවැරදි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම වෙනුවට සජිත් කළේ තමන් සහ රනිල් අතර වෙනස පෙන්වීමේ හීනමානය එළියට දැමීමය. ඒ වෙනුවෙන් එතෙක් සජබ ආර්ථික ඔස්තාද් ලා කුණු කූඩයට දැමීමය. අනතුරුව රාජපක්ෂවරුන් ගේ සට්ටැඹිකම් කළ ගොඩහේවා සජබ ආර්ථික ඔස්තාද් කිරීමය. එයිනුත් නොනැවතුනු ඔහු නිදහස් ශ්‍රී ලංකාවේ අසාර්ථකම පාලනය වූ ගෝඨාභය පාලනයේ සිටි සියලු‍ උපදේශකයන් තමන්ගේ උපදේශකයන් කරගැනීමය. සට්ටැඹියන් උපදේශකයන් කරගත් විට සිදුවන දේ ගැන නිවැරදි තක්සේරුවක් සජිත්‍ට තිබුණේ නැත. අවසානයේ අර්බුදය විසඳීම වෙනුවෙන් වූ නිවැරදි ප්‍රතිපත්තිය රැකගෙන සිටි සජබයට ඒ ආසථානය අහිමි විය.
පසුගිය මාර්තු 10 වනදා පැවති එජාපයේ ‘සැබෑව’‍ රැලි මාලාවේ පළමු රැලිය අමතමින් ජනාධිපති රනිල් ඒ බව පසක් කර සිටියේ මෙහෙමය.
“‍සජබෙ අද ඨගඛග පීරිස් සට්ටම්බිරාලගෙ කණ්ඩායමට අහුවෙලා ඉන්නේ. එක්සත් ජාතික පක්ෂයේ මූලධර්ම නෑ. ඒ නිසා මං එක්සත් ජාතික පක්ෂයේ සියලු‍ දෙනාටම කියන්නේ මේ අවස්ථාවේදී, අපිට ඡන්දෙ දුන්නත්, නොදුන්නත් සජබෙට දුන්නත් දැන් අපි එක්ක එකතු වෙන්න. අනික් සියලු‍ දෙනා එක්කම එකතු වෙන්න අපි මේ රට ණය බරින් බේර ගමු. ඒකට අපි එකතු වෙලා වැඩ කරමු.”‍
දේශපාලනයේදී මිනිසුන් වැරදි කළ හැකිය. යළි යළිත් වැරදි කළ හැකිය. එහෙත් කාලය සහ අත්දැකීම් ගුරුන් කර ගතයුතුය. දේශපාලනය වේවා වෙනත් ඕනෑම සමාජීය මැදිහත්වීමක් තුළ වරදක් සිදුවූවත්, ඒ වරද වෙනුවෙන් සමාව දීම ශිෂ්ට සමාජයේ
පිළිගැනීමය. නමුත් එකම වරද සෑම සන්ධර්භයක් තුළම සිදුවීමට ඉඩදීම හමුවේ සිදුවන්නේ අපරාධයක්ය. ජනාධිපති රනිල්, සජබ නායකයන් ආමන්ත්‍රණය කරමින් කියන්නේ වරද අපරාධයක් බවට පත්වීමට ඉඩනොදෙන ලෙසය.
සජිත්ගේ පසුගිය භාවිතය ඊට අදාළ අත්දැකීම් ඕනවටත් වඩා සජබ දේශපාලන නායකයන් වෙත එක්කර ඇත. අරගලය අවස්ථාවේ, ‘කුමාර් – අනුර’‍ පන්නයේ,
පසුගාමී වාමාංශික ස්ථාවරයක් පෙන්වමින් ගෝල්ෆෙස් අරගල බිම වෙත යාම සහ එහිදී ප්‍රහාරයට ලක්ව පළායාම ඒ වෙනුවෙන් වන පළමු නිදර්ශනය ය.
තවද, පාලන බලය පිහිටුවීමට අවස්ථාව ලැබුණු මොහොතේ එය බාර නොගැනීම, ආර්ථික ප්‍රතිපත්තිය ගොඩහේවාකරණය කිරීමේ සිට නිවැරදි ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් තුළ ගමන් කිරීම වෙනුවට ජවිපෙ ප්‍රමුඛ මාලිමාවේ වැඩපිළිවෙළ ප්‍රති පිටපත් කිරීමට යාම, එහිදී පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් වාමාංශික ස්ථාවරය දක්වා පසුබැසීම, ඇතුළු කාරණා රැසක් පෙන්වාදිය හැකිය.
එපමණක් නොව, අමාත්‍යවරයකු ලෙස අදටත් පාරම්බාන නිවාස ව්‍යාපෘතිය තුළ පවා සජිත් කියන්නේ අසමතෙක් බව තහවුරුව හමාරය. වැඩ අවසන් නොකර අතහැර දැමූ උදාගම්මාන 2,150ක අඩක් ඉදිකර ඇති නිවාස 39,815ක වැඩ කඩිනමින් අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගට, ජාතික නිවාස සංවර්ධන අධිකාරියට 2023 දෙසැම්බර් උපදෙස් දෙන්න සිදුවූයේ ඒ අනුවය.
මේ ආකාරයෙන් වූ සජිත්ගේ සුවකළ නොහැකි රෝගය Chatham Street අනාවරණය කර ඇත්තේ එක් වරක් නොවේය. ඒ සත්‍යය මේ වන විට සජිත් විසින්ම ඔප්පුකර ඇත. ඔහු අධ්‍යාපනයේ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ බස් රථයකට සහ ස්මාර්ට් දුරකථනයකට සීමාකර ඇත. නිවැරදි දැක්මක් වැඩපිළිවෙළක් සහිත නායකයකුගේ අවශ්‍යතාව, ගායකයෙක්, වාදකයෙක්, ක්‍රීඩකයෙක්, රියදුරෙක් දක්වා පහත හෙළාගෙන ඇත.
සජිත්ගේ මේ බැරිබැරියාව ‘සජිත්‍ට බෑ’‍ යනුවෙන් 2023 මාර්තු 21 චැතම් ස්ටී්‍රට් ජර්නලය සටහන් කළ අතර එය අවසන් කළේ ‘යම් හෝ දෙයක් සජිත් කියා පැවතුනා නම් ඒ රනිල්ගේ දේශපාලන කඳවුරේ අභ්‍යන්තරයේ සිටි කැරළිකරුවන්ට නායකත්වය දීමෙන් හදාගත් දෙයක් පමණය. නමුත් දැන් සජිත් ඉන්නේ රනිල්ගේ කඳවුරේ නොවන නිසා තවදුරටත් නායකයෙක් ලෙස පවතින්නට හැකියාවක් ඔහුට ඉතිරිව නැත. දැන් සජිත්ගේ උපදේශකයන් කළ යුතුව ඇත්තේ, කුණාටුවට හැමූ පසුව කුණාටුවට පෙර තිබූ තත්ත්වය කොහෙත්ම අපේක්ෂා කළ නොහැකි බවේ සත්‍ය ඔහුට පැහැදිලිකර දීමය. එසේ නොවන්න සිදුවන්නේ ඒ දේශපාලන ළදරුවාගේ ඉහේ රැලි වැඩිවීම පමණය.’ කියාය. නමුත් වසරක ඇවෑමෙන් ඔහු සිදුකර ගෙන ඇත්තේ උපදේශකයන් මාරු කිරීම පමණය. ඒකත් රාජපක්ෂ සට්ටැඹියන් උපදේශකයන් කරගනිමින්ය.
පසුබිම එසේ බැවින් දැන් සජබ සිරකරුවන්ව සිටින ලිබරල් දේශපාලනඥයින් කළ යුතුව ඇත්තේ, තවදුරටත් දේශපාලන පතිදම් රැකීමද? නැත්නම් මේ ලිබරල් කතිකාව ප්‍රායෝගික
යථාර්ථයක් කිරීමට ඇති බාධාකය අතික්‍රමණය කිරීමද? ඒ වෙනුවෙන් වන ධෛර්යය තුළ මිලියන 22 ක ඉරණමත් තීන්දු වනු ඇත.

……..කුසල් ජයම්පති……..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *