පරණ කර්මාන්ත දියුණු කිරීමෙන් අලුත් වැඩක් වෙයිද?

0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහෙම කතාවක් කිව්වේ පසුගියදා ‘තරුණ අපේ අනාගතය’ නමින් ‘යුනයිටඩ් යූත් තරුණ එකමුතුව’ සංවිධානය කළ සුහද හමුවේදි තරුණයකු විසින් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ජනාධිපතිවරයා අදහස් කළේ 1991 වන වන විට වියට්නාමය තිබු තත්වය අනුව ඊට සාපේක්ෂව ශ්‍රී ලංකාව කාර්මිකකරණය අතින් ඉහළ මට්ටමක් තිබීමත්, මේ වන විට ශ්‍රි ලංකාව අභිබවා වියට්නාමය කාර්මිකකරණයේ ඉහළම ජයග්‍රහණ අත්පත් කරමින් සිටීමත් ගැනය. මේ කතාව කියද්දී සිහිපත් වන්නේ 1950 දී පමණ ලංකාව වගේ සිංගප්පූරුව දියුණු කරන්න ඕනෑ යැයි සිංගප්පූරුවේ අගමැතිවරයා කිව් කතාවය. මේ අනුව මේ කාලය තුළ ලංකාවට සිදුව ඇත්තේ කුමක්ද? කලාපයේ අනෙක් රටවලට සිදුව ඇත්තේ කුමක්ද? යන්න වටහා ගත හැකිය.

අද වියට්නාමයේ ආර්ථිකය පදනම් වී ඇත්තේ රෙදිපිළි, ආහාර, ගෘහ භාණ්ඩ, ප්ලාස්ටික් සහ කඩදාසි සම්බන්ධ විශාල රාජ්‍ය කර්මාන්ත මෙන්ම පෞද්ගලික අංශයේ කර්මාන්ත සහ සංචාරක හා විදුලි සංදේශ සේවා මත පදනම්වය.

වියට්නාමය 2022 දී කර්මාන්ත අංශය දළ දේශීය නිෂ්පාදිතයෙන් 37.5%ක් දායක වූ අතර මුළු ශ්‍රම බලකායෙන් 27%ක් සේවයෙහි යෙදේ. මෑත වසරවලදී ගල් අඟුරු, හයිඩ්රොකාබන්, විදුලිය, සිමෙන්ති, වානේ කර්මාන්තයන් විශාල ලෙස වර්ධනය වී ඇත. එමෙන්ම තෙල් කර්මාන්තයේ නවකයකු වුවද, වියට්නාමය අග්නිදිග ආසියාවේ තුන්වන විශාලතම නිෂ්පාදකයා බවට පත්ව ඇත. මෝටර් රථ, ඉලෙක්ට්‍රෝනික හා පරිගණක තාක්ෂණ (මෘදුකාංග) වැනි ඉහළ අගයක් එකතු කළ කර්මාන්ත සඳහා ද රට ආයෝජනය කර ඇත.

සේවා අංශය, සංචාරක හා විදුලි සංදේශ මත වැඩි දායකත්වයක් සපයමින් දළ දේශීය නිෂ්පාදිතයෙන් 41.2%ක් නියෝජනය කරන අතර මුළු ශ්‍රම බලකායෙන් 35%ක් සේවය කරයි. කෘෂිකර්මය, දළ දේශීය නිෂ්පාදිතයෙන් 12.6%ක් නියෝජනය කරයි. මුළු ශ්‍රම බලකායෙන් 37%ක් සේවයෙහි යෙදෙයි.  ප්‍රධාන භෝග අතරට සහල්, කෝපි, කජු, ඉරිඟු, ගම්මිරිස්, බතල, රටකජු, කපු, රබර් සහ තේ මෙන්ම ජලජීවී වගාවද ඇතුළත් වේ.

වියට්නාමය දශක ගණනාවක් සමාජවාදී රාජ්යයක් ලෙස පැවැතෙමින් බොහෝ දුෂ්කරතා පීඩනයන්ට ලක්ව තිබු රාජ්‍යයකි. නමුත් 90 දශකයෙදී සිදු කළ ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණවලින් පසුව ආසියාවේ ජාත්‍යන්තර වෙළඳාම සඳහා වඩාත්ම විවෘත ආර්ථිකයන්ගෙන් එකක් බවට පත් විය. මෑත වසරවලදී වියට්නාමය වෙළඳ ලිබරල්කරණය සඳහා තවදුරටත් දැඩි කැපවීමක් පෙන්නුම් කර ඇත.

වියට්නාමය 2007 දී ලෝක වෙළඳ සංවිධානය (WTO) හා සම්බන්ධ වූ අතර ASEAN රටවල් සහ එක්සත් ජනපදය සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් (FTA) අත්සන් කළේය. වියට්නාමය යුරෝපා සංගමය සමඟ සහයෝගීතා ගිවිසුමක් ද භුක්ති විඳියි. ලොව විශාලතම වෙළඳ ගිවිසුම වන ‘කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය’  (RCEP)ට 2020 දී වියට්නාමය විසින් අත්සන් කරන ලද අතර, එයට මුළු රටවල් 16ක් ඇතුළත් වේ. මෙම ගිවිසුම්වල ප්‍රතිපළ ලෙස භාණ්ඩ අපනයන වටිනාකම 2021 දී ඩොලර් බිලියන 300 ඉක්මවා තිබිණි.

ශ්‍රී ලංකාව යනු වියට්නාමය මෙන් දීර්ඝ කාලීනව පීඩාවන්ට ආර්ථික දේශපාලනික සීමාවන්ට සිරව සිටි රාජ්‍යයක් නොවේ. නමුත් සංවර්ධනය අත්පත් කරගැනීමේදී කලාපයේ දුර්වලම රාජ්‍යයක් බවට පත්වීම සිදුව තිබිණි. මේ ආසියානු කලාපය තුළ අනෙක් සියළුම රටවල්වලට පෙර විවිධ ජයග්‍රහණයන්වලට මුලපිරීමට ශ්‍රී ලංකාවට හැකිව තිබුණත් එය ඉදිරියට ගෙන යාමේ අසමත්කම සියල්ලට වඩා ඉහළින් පැවැතිනි. 1948 දී නිදහස ලබන විට කලාපයේ සමෘද්ධිමත්ම රාජ්‍යය ශ්‍රී ලංකාව විය යුතුය. එවකට දැවැන්ත විදේශ සංචිත ප්‍රමාණයක්ද රට තුළ සහ බාහිරව පැවැතිනි. ඉහළ මට්ටමේ ආනයන අපනයන වෙළඳාමක් තිබිණි. ආර්ථික අර්බුද තිබුණේ නැත. සංවර්ධනය සඳහා ඕනෑම මාවතක් විවෘත කරගැනීමේ ඉහළම හැකියාව තිබුණ, ඒ සඳහා අවස්ථාවන්, සම්පත් ඕනෑ තරමට තිබුණු රාජ්‍යයකි. නමුත් වරද්දා ගත්තේය. පාලකයනුත් පුරවැසියනුත් ඊට සම සමව වගකිව යුතුය.

විශේෂයෙන්ම එවක සිටම රට සංවර්ධන කිරීමේ ප්‍රධාන උපාය මාර්ගයක් ලෙස තිබු කාර්මිකකරණය සඳහා තිබු අවස්ථාවන් නියමාකරයෙන් ප්‍රයෝජනයට ගැනීම සිදු නොකිරීම රටේ කඩා වැටීමට බරපතල හේතුවක්ව තිබේ.

රට කාර්මිකකරණය සිදුකිරීම සඳහා 1948 සිට පැවැති සෑම රජයක්ම විවිධ පියවරයන් ගත් නමුදු නියමාකාර කාර්මික ප්‍රතිපත්තියක් සැලසුමක් වැඩපිළිවෙල ක්‍රියාත්මක වුයේ නැත. ආණ්ඩුවෙන් ආණ්ඩුවට ඇමැතිගෙන් ඇමැතිට මේවා වෙනස් වීම, ගෝලීය අර්බුද හා භූ-දේශපාලනික බලපෑම් නිසා වූ වෙනස්වීම් ආදියද මේවාට බාධාකර තිබුණු නමුත් එය නිසියාකාරව කළමණාකරණය කරගැනීමට මෙරට පාලන තන්ත්‍රයන් සමත් වුවේ නැත. දේශපාලනික වුවමණාවන් මත රට වෙනුවට තමන්ගේ පැවැත්ම මුල් කරගත් පටු තීරණ ද මේවාට බලපෑම් සිදු කරන ලදී.

ඒ කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඉතිහාසය පිරික්සීමේදි කාර්මිකකරණය සඳහා ඒ ඒ යුගයයන්වල පැවැති පාලනයන් විසින් සාධනීය පියවර ගත් අවස්ථා තිබුණද ඒ සඳහා මෙරට පුරවැසියන්ගේ, ව්‍යාපාරිකයන්ගේ උනන්දුව පෙළඹීම අවශ්‍ය තරමට නොවීමේ ගැටලුවද බරපතල විය.

නිදහසෙන් පසුව එවක එක්සත් ජාතික පක්ෂ රජය පෞද්ගලික අංශය සඳහා අවස්ථාවන් විවෘත කිරීම සිදුකරන ලදී. රටට අත්‍යාවශ්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයන්, රටට විදේශ විනිමය ආදායම් අත්පත් කරගත හැකි ක්ෂේත්‍රයන් හා අවස්ථාවන් අවධාරණය කළ ද ඒ සඳහා ව්‍යාපාරිකයන්ගේ එළඹුම දුර්වල විය. මේ වෙනුවෙන් ප්‍රාග්ධන අවශ්‍යතා සැපිරීමට රජය ණය යෝජනා ක්‍රමද හඳුන්වා දී තිබිණි. නමුත් එය සාර්ථක වුයේ නැත. මේ නිසා රජයටම මේ කාර්මිකකරණය ක්‍රියාවට නැංවීමට සිදුවිය. රජය මහා පරිමාණ කර්මාන්ත ඇරැඹීමට වැඩි අවධානයක් දැක්වීය. එය දීර්ග කාලීනව රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක වෙමින් පෞද්ගලික අංශයට ඒ සඳහා ඉඩ විවර කිරීමත් වලක්වමින් පැවැති පෞද්ගලික ව්‍යාපාර ජනසතු කිරීමේ ක්‍රියාවලියද සිදුවිය. ඒ අනුව සියල්ල රජය විසින් සිදු කළ යුතු බවට මතයන් පැල පදියම් විය.

කොහොම නමුත් මෙවැනි ප්‍රතිපත්ති නිසා රට යම් අර්බුදයකට ගොදුරු විය. 1977න් පසුව මේ ප්‍රතිපත්ති වෙනස් කරමින් කටයුතු කළත් අදත් රාජ්‍යය ගොඩනැංවීමේදි පෞද්ගලික ව්‍යවසායකත්වයේ දායකත්වය අත්‍යාවශ්‍ය  බව රජය විසින් කෙතරම් අවධාරණය කළත් ඒ වෙනුවෙන් පුරවැසියාගේ ව්‍යවසායකයන්ගේ එළැඹුම හොඳ මට්ටමක නැත. එයට පැරණි නෛතික හේතු මෙන්ම තවත් හේතු ගණනාවක් බලපා තිබේ. ඒ අතර මෙරට සාම්ප්‍රදායික සමාජ ආකල්පවල ගැටළුවක් ද තිබේ. රජයේ රස්සාවක් කිරීම ගැන පවතින ඝනීභූත වු ආකල්පයන් නිසා පෞද්ගලික ව්‍යවසායකත්වය අදටත් දුරස්ථ සංකල්පයක්ව තිබේ. පෙර යුගවල ඇතැම් කර්මාන්ත අසාර්ථක වීමට කර්මාන්ත ශාලාවල ප්‍රාදේශීය පිහිටීම මත කුල සාධකය නිසා අවශ්‍ය ශ්‍රමිකයන් බඳවා ගැනීමට නොහැකිව කර්මාන්ත ආයතන වසා දැමීම් පවා සිදුව තිබු බව අධ්‍යයනයන්ගෙන් හෙළිව තිබිණි. යටිතල පහසුකම් අවම වීම, අමුද්‍රව්‍ය හිඟය, පුහුණු ශ්‍රම හිඟය, නව තාක්ෂණය නොලැබීම, නවෝත්පදනය නොමැතිවීම්, අධික පිරිවැය, ආදී විවිධ ගැටළුව අසාර්ථකත්වයන්ට හේතු විය.

එමෙන්ම රාජ්‍ය ඒකාධිකාරයන් සහ නියාමනයන් දැඩි වීම ද කර්මාන්ත දියුණුවට විශාල හානියක් කර තිබිණි. සංවර්ධනය වීම ගැන සමාජ ආකල්පවල වර්ධනයන් සිදුකිරීම වෙනුවට මෙරට දේශපාලනය තුළ ක්‍රියාත්මක වූ වාම ජාතිකවාදී පටු පිළිවෙත් නිසා ද පෞද්ගලික අංශයට අවස්ථා සීමා විය. මේ ආකල්ප මධ්‍යයේ දක්ෂිණාංශික ලිබරල්වාදී වුවමණාවන් සමඟ කටයුතු කළ රජයයන්ට පවා මේ සීමාවන් අතික්‍රමණය කිරීම පහසු වූයේ නැත. අද තත්වයන් මීට වඩා යම් සංකිර්ණතාවයක් උසුලයි. කර්මාන්ත සම්බන්ධයෙන් ස්ථිරසාර ජාතික ප්‍රතිපත්තියක් ඉලක්කයක් නොතිබීම නිසා පවත්නා තත්වයන් හඳුනාගනිමින් ඊට ගැලපෙන ලෙස වෙනස් වීමේ හැකියාවද මොට කරගැනීම සිදුව තිබේ. පැරණි ගරා වැටුණු මහා පරිමාණ කර්මාන්ත යළි නඟා සිටුවීම ගැන තවමත් නන්දෙඩවීම් සිදුවන්නේ ඒ නිසාය. මලකඩ කෑ යකඩ ගොඩවල් බවට පත්ව තිබෙන දෑ ජාතික සම්පත්‍ය කියාගෙන රැකගෙන ඉන්නේ ඒ නිසාය.

මේවායේ ප්‍රතිපල ලෙස වසර දෙක තුනක් ඇතුළත කාර්මිකකරණයේ විශාල දියුණුවක් පෙන්නුම් කළේය. එමෙන්ම ඊට සමඟාමීව කෘෂි කර්මාන්ත හා සේවා අංශයන්ද ඒ අනුව වේගවත් සංවර්ධනයකට ලක් විය. නමුත් රටේ වැඩි වන ජනගහනයේ අවශ්‍යතා, රජයේ සංවර්ධන ඉලක්ක හා සැසදීමේදි මේවා ප්‍රමාණවත් වූයේ නැත. එමෙන්ම තවදුරටත් පැවැති බාධක නිසා මේ සංවර්ධන ගමන එකතැන නතර විය.

2003 වසරේ දී යළි ආර්ථික ප්‍රතිසංස්කරණ යෝජනා ගෙන එමින් තවත් ඉදිරි පිම්මකට යෑමේ කටයුත්තට එවකට අගමැති රනිල් වික්‍රමසිංහ දැවැන්ත උත්සාහයක් ගනු ලැබීය. ‘රිගේනින් ශ්‍රී ලංකා’ වැඩසටහන ගෙන ආවේ ඒ වෙනුවෙනි. රනිල් බලයට පත්වන්නට පෙර රටේ ආර්ථික වර්ධනය සෘණ වී විශාල අර්බුදයකට රට පත්ව තිබිණි. ඒ අර්බුදයෙන් රට ගොඩගෙන ඉදිරි සංවර්ධනය වෙනුවෙන් මෙම ‘රිගේනින් ශ්‍රී ලංකා’වැඩසටහන සැලසුම් කළේ සෑම සියළු ක්ෂේත්‍රයන් ආවරණය කරමිනි. විශේෂයෙන්ම ජපන් රජයේ අති දැවැන්ත ආයෝජනයන් සහිත වැඩපිළිවෙලක් මේ තුළ තිබිණි. එහෙත් එම වැඩ සටහනට එරෙහිව වාම-ජාතිකවාදී බලවේග විසින් ගෙන ආ විරෝධතා, එවක පාලන බාලාධිකාරයේ ද්විත්ව ස්වභාවය සහ රටේ පැවැති යුදමය වාතාවරණය සමථයකට පත් කරගැනීමේ සාම මෙහෙයුමට එල්ල වු බාධා නිසා මෙය යථාර්ථයක් කරගැනීමට නොහැකි වුවත් එම කෙටි කාලය තුළ මෙරට ආර්ථිකය ස්ථාවර කරමින් ආදායම් දෙගුණයකට වඩා වර්ධනය කරගැනීම සිදු විය.

මෙහිදී අදාල ක්ෂේත්‍රය ගැන සියළු ගැටළු සාකච්ඡා සිදු කළ යුතු ප්‍රතිසංස්කරණයන් රැසක් හඳුනාගෙන තිබිණි. නමුත් රනිල් පාලනයට ඒ විසඳීමේ අවස්ථාව ලැබුණේ නැත. යළි කිසිවකුටත් ඒ අවස්ථාව ලැබුණේ නැතැයි කියනවාට වඩා අවශ්‍යතාවයක් තිබුණේ නැති බව කීම නිවැරදිය. ජාතිකවාදී ප්‍රවණතාවයන් බලයට පැමිණ රටේ ආර්ථිකය සාම්ප්‍රදායික රාජ්‍ය නියාමන යටත් තත්වයෙන් පවත්වාගෙන යෑම සිදු කරන ලදී.

2015න් පසුවද රනිල් වික්‍රමසිංහ මේ අඩුපාඩු නිවැරදි කරමින් ආර්ථික ප්‍රතිසංස්කරණයන් සඳහා උත්සහ කළේ වැදගත් පියවරයන් රැසක් ක්‍රියාත්මක කරමිනි. පෞද්ගලික අංශයට අවස්ථාවන් වැඩි කරමින් විදේශ ආයෝජකයන් කැඳවමින් රටේ නිෂ්පාදන ක්ෂේත්‍රය වර්ධනය වෙනුවෙන් රටේ පවත්නා තත්වයන්ට, කලාපීය ප්‍රවණතා හා නවීන ලෝකයට ගැලපෙන අයුරින් නව ප්‍රතිසංස්කරණ හඳුන්වාදන ලදී. නමුත් අභියෝග රැසකට මුහුණ දීමට සිදු විය. මෙරට සංවර්ධනයේ විප්ලවීය පරිවර්ථනයකට මුල පිරීම විය හැකිව තිබු ‘සංවර්ධන පනත’ සම්මත කරගැනීමට හෝ ඉඩක් ලැබුණේ නැත.

කොහොම නමුත් මේ අතීතයත්, දේශපාලන බලපෑම් ආදී කාරණාත් පසෙක තැබුවත් අද වඩා වැදගත්ම කරුණ වන්නේ රටේ අනාගත අභිවෘද්ධිය ඉලක්ක කරගනිමින් රට කාර්මිකකරණය කිරීමේ ප්‍රතිපත්තිය කුමක් විය යුතුද යන්න තීරණය කර ඒ අනුව නව ප්‍රතිසංස්කරණයක් වෙත යෑමේ අභියෝගය ජය ගැනීමය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාලනය දැන් යොමුව සිටින්නේ ඒ යුග කර්තව්‍යය වෙනුවෙනි.

කාර්මිකකරණය සම්බන්ධයෙන් මීට දශක තුන හතරකට පෙර තිබූ වුවමණාවන් සහ එය වර්තමානයේ රටට ගලපා ගැනීම අතර ගැටළුකාරීත්වය අද තිබේ. ඇතැමුන් තවමත් පෙන්වා දෙන පරිදි මෙරට සාම්ප්‍රදායික කාර්මික ක්ෂේත්‍රයන් සංවර්ධනය කරමින් මෙරටට අවශ්‍ය කාර්මික හෝ කෘෂිකාර්මික නිෂ්පාදන ආර්ථිකයක් වෙත ගෙන යා යුතුය. ආනයන ආදේශන කර්මාන්ත වැඩි දියුණු කළ යුතුය. ඒවා ආශ්‍රිත අපනයන ආර්ථිකයක් වෙත යායුතුය කියන පරණ සංකල්පයම මතු කරයි. නමුත් ලෝක යථාර්ථය තුළ මේ, කල් ඉකුත් වු ක්‍රියාවලියකි.

අද මෙය සිදු කළ හැකි සීමාව ඉතා කුඩාය. 21 සියවස ලබද්දීම ඒවායේ වලංගුභාවයන් හීන විය. තාක්ෂණික වචනයකින් කියන්නේ නම් කාර්මික විප්ලවයේ 4.0 වන අදියර (සයිබර් අවකාශ සහ ස්වයංක්‍රීයකරණ සමය) දැන් ලෝකය පසුකරමින් තිබේ. මෙරට තවමත් දෙවන කාර්මික විප්ලව සමයේ (ඛණිජ තෙල් සහ විදුලිය පදනම් කරගත් සමය) සිටිමින් 4ට ඇතුලත් වීම ගැන කතා කරමින් සිටී. (පළමු විප්ලවය – ජලය සහ වාෂ්ප බලය උපයෝගී කරගත් සමය, තෙවන විප්ලවය- ඩිජිටල් සහ තොරතුරු තාක්ෂණ සමය) ඉදිරියට එන්නේ 5.0 වන අදියරය. ඒ කෘත්‍රිම බුද්ධියෙන් වන කාර්මිකකරණය යුගයකි. නියම වශයෙන් දැන් සූදානම් විය යුත්තේ ඒ අදියර ජයගැනීම වෙනුවෙන් රටේ කාර්මිකකරණයේ දිශානතිය සකස් කිරීමය.

මේ නිසා වර්තමානයේ රටේ ජනගහනය, ජනතාවගේ අවශ්‍යතා, මෙරට වෙළඳපොළ, ජාත්‍යන්තර වෙළඳපොළ සබඳතා, කාර්මිකකරණය සඳහා මෙරට ඇති අවස්ථා හා සම්පත්, බලශක්තිය, නිෂ්පාදන පිරිවැය, ගෝලීය නිෂ්පදනයන් හා එහි තරගකාරීත්වය, ඒවායේ රටට ඇති බලපෑම් හා ප්‍රතිලාභ ආදි සාධක විශාල ප්‍රමාණයක් නිසා අද කාර්මිකකරණය ගැන සිතන්න වන්නේ වෙනත් මානයන්ගෙනි. වඩාත් දියුණු මානයන්ගෙනි. සමහර විට එය සිදු කිරීමට වන්නෙත් කෘත්‍රිම බුද්ධිය උපයෝගී කරගෙනය.

මේ තත්වයන් තුළ පැරණි භාවිතාවන් ගෙන් ඉවත්ව නව භාවිතාවන්ට වෙත යෑම අනිවාර්ය වෙනු ඇත. වසංගත තත්වය, ආර්ථික අර්බුද ආදිය නිසා මෙරට කර්මාන්ත ආයතන ලක්ෂ ගණනක් දැනටම වැසී ගොස් ඇති බවත් ඒවා රැකගැනීමට රජය කටයුතු නොකරන බවටත් මේ වන විට චෝදනාවක් එල්ල වෙමින් තිබේ. කර්මාන්ත අලුත් තත්වයන්ට හැඩ ගැසීමට නොහැකි නම් නවීකරණය විය නොහැකි නම් ඒවා වසා දැමීමට සිදුවීම හැර වෙන සාධනීය විසඳුම් නැත.

වර්තමාන ලංකාව කර්මාන්තකරණයේදී නිෂ්පාදන පිරිවැය ඉහළ යාම පිළිබඳ ගැටළුව තිබියදී යළි ඉන්ධන හා විදුලි බිල් ඉහළ යාම ආනයනික අමුද්‍රව්‍ය මිල ඉහළ යාම සිදුවීම බරපතල අර්බුදයක් වීම ඇත්තය. එහෙත් සහනාධාර ලබාදීම මඟින් සිදුවන්නේ පෙර කාලවල මෙන් රජය පාඩු දාරාගෙන පවත්වාගෙන යාමය. මේවා අවසන් වන්නේ රට බංකොලොත් වීමෙන් බව අමුතුවෙන් පැවැසිය යුතු නොවේ. ඒ අත්දැකීම මෙරට සියළු පුරවැසියන්ට තිබේ.

සහනාධාර යනු කර්මාන්තකරුවන් රටට වන ණයකි. මේ ණය පියවීමට ඔවුන්ට හැකි නම්, එනම් එම ණය අභිබවා රටට වැඩි ආදායම් ගෙන ආ හැකි නම් එය ගැටළුවක් නොවේ. එවැනි නිෂ්පාදනයන් තිබිය හැකි නමුත් ඒ සඳහා ඇති අවස්ථා දුලබය. මේ අනුව විය යුතු නිවැරදිම පිළිවෙත වන්නේ, කාලයට තාලයට ගැලපෙන නිෂ්පාදනය කළ යුතු දේ තීරණය කිරීම, නිෂ්පාදන පිරිවැය අවම කරගෙන නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩි කරගැනීම වෙනුවෙන් නව ක්‍රමවේදයන් වෙත යෑමය. මේ ආදී විකල්පයන් තෝරා ගැනීමට කාර්මාන්තකරුවන් සමත් විය යුතුය. ඒ සඳහා රජයකින් විය යුත්තේ පහසුකම් සැලසීමය.

කොහොම නමුත් මේ අධි වේගයෙන් වෙනස් වෙමින් දුවන යුගයේදී ‘මගේ ව්‍යපාරය ඉදිරියේදී විනාශ වෙයිද?’ යන්න තවදුරටත් වලංගු ප්‍රශ්නයක් නොවෙයි. දැන් කල්පනා කළ යුත්තේ ‘මගේ ව්‍යාපාරයේ විනාශ විම පැමිණෙන්නේ කවදාද? එය එන්නේ කුමන ආකාරයෙන්ද?’ යන්නය. ඒ අනුව විසඳුම් වෙත යොමු වීමය. එනම් අනිවාර්යෙන්ම පවතින දේ විනාශ වෙන බවත් අලුත් තත්වයන්ට හැඩ ගැසීමට සුදානම් ශරීරයෙන් සිටිය යුතු බවය.

හතරවැනි කාර්මික විප්ලවය ලෝකය වෙනස් කරමින් තිබේ. එය මඟහැර යෑමට මෙරටට නොහැකිය. මීට මුහුණ දීමට නොහැකිවුවහොත් බරපතල අර්බුද රැසකටද රටට මුහුණ දීමට සිදුවනු ඇත. රැකියා අහිමි වීමේ ප්‍රශ්නවල සිට විදේශ විනිමය ගැටළු, රාජ්‍ය ආදායම් ගැටළු ඇති විය හැකිය. නමුත් මේ වන විටත් සිදුවන ආසියාවේ ආර්ථික නැඟිටීමේ වාසිය උපරිමයෙන් ලබා ගැනීමට ඊට සරිලන නව ප්‍රතිපත්ති සහ ඉලක්ක සහිත ගමනකට සූදානම් නම් එය රටට වාසිදායක කොන්දේසියක් වනු ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙරට නව කාර්මික විල්වයක් වෙනුවෙන් රට සුදානම් කරන්නේ මේ සියළු සාධක සලකා බලමිනි. නව කර්මාන්ත ප්‍රතිපත්තියක් හඳුන්වා දීම, නව ද්විපාර්ශවීය සහ බහු පාර්ශ්වීය ජාත්‍යන්තර වෙළද ගිවිසුම්වලට ඇතුළත් වීම වන්නේ ඒ අනුවය. මීට පෙර ඉන්දියාව සහ පකිස්ථානය සමඟ තිබු නිදහස් වෙළද ගිවිසුම් සහ සාර්ක් කලාපීය ගිවිසුම නිසා මෙරටට ප්‍රතිලාභ රැසක් අත්පත්ව තිබෙන අතර මේ වන විට තායිලන්තය, සිංගප්පුරුව සමග වෙළඳ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති අතර ඉන්දුනිසියාව වියට්නාමය මලයාසියාව වැනි කලාපයේ නැගී එන ආර්ථිකයන් සමඟ මෙන්ම කලාපීය බහුපාර්ශ්වික වෙළද හා ආර්ථික ගිවිසුම් ගණනාවකට එලැඹීමට ද පියවරයන් ගෙන ඇත. මේ අනුව මෙලෙස විවර වන නව වෙළඳපොලට ගැලපෙන නවීන කර්මාන්තකරණයකට මේ රටට විශාල අවස්ථා උදාවනු ඇත. මේ සියල්ලේ ප්‍රතිලාභය වන්නේ මෙරට ආර්ථික ක්ෂේත්‍රය ලෝකයට සමගාමීව හා තරගකාරීව වර්ධනය කර ගැනීමය. මේ අනුව කාර්මික කෘෂි සහ සේවා යන ක්ෂේත්‍ර සියල්ලේ වර්ධනයන් නිතැතින්ම සිදුවනු ඇත.

කෙසේ නමුත් මෙහිදී අවධානය යොමු කළ යුත්තේ මෙරටට ඉහළම ප්‍රතිලාභ ලබා ගැනීමේ ක්ෂේත්‍රය හඳුනාගැනීම සහ ඒ වෙනුවෙන් යොමු වීම ගැනය. මේ අනුව මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය නවීකරණය වීම විය යුතුය. ජාත්‍යන්තර වෙළඳපොළ ආකර්ෂණය ඇති කරන නව නිෂ්පාදන ආර්ථිකයක් වෙත යොමු විය යුතුය. ඒ සඳහා වඩා වැදගත් වන්නේ කඩා වැටුණු දේ ගැන නහයෙන් හැඬීම නොව මේ අලුත් පාරේ ගමන් කිරීම සඳහා ආකල්පමය වශයෙන් සුදානම් කරවීමය. නව අභියෝග භාර ගැනීමට සුදානම් කරවීමය.

අද රටේ නායකත්වය, අභියෝග භාරගැනීම ගැන ආදර්ශයක් දී තිබේ. අධිෂ්ඨානශීලිව අරමුණු ජය ගැනීම වෙනුවෙන් කැපවෙන්නේ කෙසේද යන්න පෙන්වා ඇත. ප්‍රතිපත්තියක් සැලසුමක් වැඩපිළිවෙක් සහිතව රටේ අභිවෘද්ධියට අවශ්‍ය පියවරයන් ගෙන තිබේ. ඒ අනුව රටකට අවශ්‍ය නායකත්වය කුමක්ද යන්න පෙන්වා ඇත.

දැන් ඇත්තේ නායකත්වයේ ආදර්ශය අනුව පුරවැසි කාර්යභාරය ඉටුකිරීමය. ඒ ඉටු නොවේ නම් සක්කරයාගේ පුතා වයිමා ආවත් රටක් නම් දියුණු කළ නොහැක. කටකයිවාරුකම් ගසන ඇතැමුන් තමන් බලයට ආ සැනින් මේ සියළු අර්බුද විසඳා රට සුඛිත මුදිත කරන බවට පොරොන්දු වුවද එය කොහොමටවත් කළ නොහැක. ඒ අභියෝග හමුවේ පැන ගිය වුන්ය, ප්‍රශ්න මගහැරීම ප්‍රගුණ කළ වුන්ය, ප්‍රතිපත්තියක් සැලසුමක් හරියකට කියා ගන්න බැරි වුන්ය’ නිසාය, කියන ඇත්ත කාරණා පසෙකින් තැබුවත් පුරවැසි ජනතාව සංවර්ධනය අත්පත් කරගැනීමට කැප නොවේ නම්, මහන්සි නෙවේ නම්, සටන් නොකරන්නේ නම් රටවල් ගොඩ නොඑන නිසාය.

  • ජයතුංග බණ්ඩාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *