අනුරගේ බැරිකම සහ සජිත්ගේ නිවටකම

0

අනුර-සජිත් නො‌කෙරුණ විවාදය පසුගිය සතියේ උණුසුම් මාතෘකාව වී තිබිණි. එම ජුනි 06 වන දිනම දශක දෙකක් තිස්සේ කරගැනීමට නොහැකි වූ විදුලිබල මණ්ඩලය ප‍්‍රතිව්‍යුගත කිරීම වෙනුවෙන් වූ අතිශය වැදගත් පනතක් සම්මත කරගැනීමට ආණ්ඩුව සමත් වීමට වඩා බොහෝ දෙනෙකුගේ අවධානය මේ නොකෙරුණ විවාදයට යොමුව තිබිණි.

අනුර-සජිත් විවාදය සති ගණනාවක් තිස්සේ විකාර විගඩමක් බවට පත්වෙමින් ජුනි 06 වෙනිදා විවාදයට සූදානම් බව දෙපාර්ශ්වය එකඟ වී සිටියත් ආර්ථික කමි‍ටු විවාදයට ජාජබය එකඟ නොවීමත් සජබය පක්ෂ නායක විවාදය පැවැත්විය යුත්තේ ආර්ථික කමි‍ටු විවාදයෙන් පසුව බවටත් පැවැති විවාදය සමථයකට පත්ව තිබුණේ නැත. කෙසේ නමුත් ජුනි 06 වෙනි දින එකඟතාවය අනුව ස්වාධීන රූපවාහිනිය එම විවාදය සජීව විකාශය කිරීම වෙනුවෙන් තමන්ගේ ගුවන් කාලය වෙන්කරමින් මෙම දෙපාර්ශ්වයට සිය මැදිරියට ආරාධනා කිරීම තුළ පක්ෂ දෙකටම එය මඟ හැරීමට නොහැකි තත්වයක් උදා විය.

ජාජබයේ වුවමණාව පක්ෂ නායක විවාදය වූ බැවින්, ඉබ්බා දියට දැම්මාම ඇන්නෑවේ කියමින් ගියා සේ අනුර එම අවස්ථාව පළමු පැයේදීම භාරගත්තේය. නමුත් සජිත් එය මඟ හැරියේ ආර්ථික කමිටු විවාදය නොමැතිව බෑ කියමිනි.
කෙසේ නමුත් අනුර-සජිත් යෝජිත ආර්ථික ප‍්‍රතිපත්ති විවාදය අවසානයේ ස්වාධීන රූපවාහිනිය නිෂ්පාදනය කරන සාමාන්‍ය දේශපාලන විවාද වැඩසටහනක් බවට පත්ව තිබු අතර ඒ තුළ මෙම වැඩසටහනට සජිත් සහභාගී නොවීම ඔහුගේ දේශපාලනික අසමත්භාවය පෙන්වීමක් විය.

මන්දයත් මෙවැනි දේශපාලන වැඩසටහනකට සහභාගී වී තම මතය ප‍්‍රකාශ කිරීමේ හැකියාවක්, විරුද්ධ මතධාරියාව ප‍්‍රශ්න කිරීමේ අවම හැකියාවක් පක්ෂ නායකයකුට තිබිය යුතු බැවිනි. එපමණක් නොව ඔහුගේ පෞද්ගලික පෞර්ෂයේ දුර්වලතාවය පෙන්නුම් කිරීමක් ද විය. විරුද්ධ පාර්ශ්වයට බියවී ඊට අභිමුඛ නොවී එම අවස්ථා මඟ හැරීම නායකත්වයේ ලක්ෂණයක් නොවේ. නිවට බියගුළුකම ප‍්‍රදර්ශනය කිරීමය. අඩු කරමින් කොන්දක් තිබුණා නම් එම අවස්ථාවට සහභාගී වී, තමන්ගේ එකඟතාවයෙන් තොරව, තහවුරු කිරීමකින් තොරව තමා සහභාගී වන බව ප‍්‍රචාරය කරමින් ස්වාධීන රූපවාහිනිය කළ මේ අකටයුත්ත ගැන සජීවී විකාශය තුළම විවේචනයට ලක්කර විවාදයට සහභාගී නොවීමේ හේතුව සඳහන් කර සජිත්ට එම ස්ථානයෙන් ඉවත් වීමේ හැකියාව තිබිය යුතු විය. එහෙත් එහෙම කොන්දක්වක් ඔහු සතුව තිබුනේ නැත.

කොහොමත් සජිත් යනු කිසිදා අභියෝග භාරගත් අයකු නොවේ. දේශපාලන මතයක් දැරුවෙකුත් නොවේ. නායකත්වයේ ගුණයන් ප‍්‍රදර්ශනය කළ අයකු නොවේ. එජාපය තුළ කටයුතු කළ කාලයේ සිටම තම පියාගේ නාමය අවභාවිත කරමින් දේශපාලනය තුළ රැඳී සිටියා මිස, සජිත් ප්‍රේමදාස නම් අනන්‍ය දේශපාලන චරිතයක් ගොඩනංවා ගැනීමට ඔහුට කිසිදා හැකි වූයේ නැත. එහෙත් විහිළුකාර ගොබ්බ දේශපාලන චරිතය නම් ඔහුටත් නොදැනීම සජිත් බවට පත්ව තිබිණි.

ඇමැතිවරයකු ලෙස කටයුතු කළ කාලය තුළ ඔහු රටට හඳුන්වා දුන් වැඩසටහනක්, නීතියක්, ආයතනයක්, රටේ සංවර්ධනය වෙනුවෙන් ගත් නව පියවරයන් කිසිවක් නැත. ඔහු එජාපයේ නායකත්වය වෙනුවෙන් පක්ෂය තුළ නිර්ලජ්ජිත ගැ‍ටුම් ඇති කරගත්තේ ඔහුට ඒ සඳහා සුදුසුකම තිබු නිසාද නොවේ. බාහිර පාර්ශ්වයක් විසින් ඔහුව රූකඩයක් මෙන් යොදාගැනීම නිසාය. විශේෂයෙන්ම කිලී මහරාජා සහ ඔහුගේ මාධ්‍ය ජාලය ඒ සියල්ල මෙහෙය වූ බව රහසක් නොවේ. සජිත්ගේ ජනප‍්‍රියත්වය මේ බාහිර පාර්ශ්වය විසින් කළ කෘත‍්‍රිම ගොඩනැංවීමක් විය. ඔවුන්ගෙන් සජිත්ට ලැබුණු එකම උපදෙස සහන බෙදනවා, සහන දෙනවා යැයි ඕනෑම දෙයක් ගැන දෙඩවීම පමණක් ද විය හැකිය. මන්ද ඊට වඩා දේශපාලන ආර්ථික කරුණු කාරණා ගැන ඔහු නොදන්නා බැවිනි.

එජාපයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් සජිත් ඉදිරිපත් කරවන්නේ මෙලෙස කෘත‍්‍රිමව ගොඩනංවන ලද ජනප‍්‍රියත්වයක් සහ බාහිර පාර්ශ්වයන් විසින් ඇති කළ පීඩනයත් මත එජපය දෙකඩවීම වැලැක්වීම වෙනුවෙන් නායක රනිල් ගත් උපක‍්‍රමික පියවරක් ලෙසය. එසේ නොමැතිව ඔහු රටේ නායකත්වයට තබා ප‍්‍රාදේශීය සභාවකවත් නායකත්වයට සුදුස්සෙක් වූයේ නැත.

කොහොම නමුත් තමන්ගේ දේශපාලන ජීවිතයේ එක අඩියක් ජනාධිපතිවරණ අත්දැකීමෙන් පසුව සජිත්ට ඉදිරියට තැබීමට හැකි වූවත් එජාපයේ නායකත්වට එය සුදුසුකමක් වූයේ නැත. එසේම එජාපය වැනි පක්ෂයක නායකත්වය ගැනීමට සැපිරිය යුත්තේ හුදු ජනප‍්‍රියතාවය නොවේ. ඒ අනුව සජිත් සහ ඔහුගේ පාර්ශ්වය සිදු කළේ එජාපය බිඳ දමා සමගි ජන බලවේගය ගොඩනැගීමය. එජාපයේ හිටපු මැති ඇමැතිවරුන් බොහෝ දෙනෙකු එදා සජබයට එක් වන්නේ පැවැති දේශපාලන වාතාවරණය තුළ තමන්ගේ මන්ත‍්‍රීධුරය රැකගැනීම වෙනුවෙන් උපක‍්‍රමයක් ලෙස මිසක් සජිත්ගේ ඊනියා දේශපාලන නායකත්වය නිසා නොවේ. කොහොම නමුත් සජිත් විපක්ෂ නායකත්වයට පත්වීම මේ රටේ තවත් අභාග්‍යයක් බවට පත් විය. විපක්ෂ නායකයා කියන්නෙ මීළඟ ආණ්ඩුවේ නායකත්වය භාරගැනීමට තරම් සුදුසුකම් සහිත තැනත්තාය. නමුත් සජිත්ගේ විපක්ෂ නායක භුමිකාව කෝලම් මඩුවක කෝලමාට වඩා වෙනස් වූයේ නැත. තනිකර විහිළු‍වක් විය. එම ධුරයේ වගකීම කුමක්ද යන්න ඔහු තවමත් දන්නේ නැත.

රට අර්බුදයට ගිය මොහොතේ හිටපු ජනාධිපතිවරයා රටේ අගමැතිකම භාරගන්නා ලෙසත් ඊට තමන්ගේත් තම පක්ෂයෙත් පුර්ණ සහයෝගය ලබා දෙන බවට පොරොන්දු වුවත් සජිත් එය භාරගත්තේ නැත. ඒ වෙන කිසිවක් නිසා නොවේ. රට මුහුණ දුන් අර්බුදයේ සංකීර්ණතාවය සහ ඒ ගැන විසඳුමක් හෝ අවබෝධයක් නොමැතිකමටත් වඩා අභියෝග භාර ගැනීමේ අසමත් භාවය නිසාය.

පුරප්පාඩු වූ ජනාධිපතිධුරය වෙනුවෙන් විපක්ෂ නායකයා ලෙස එයට ඉදිරිපත් නොවීමද ඒ අනුව සිදු විය. අඩුම තරමින් තරගයකට ඉදිරිපත්වීමේ ධෛර්යවන්තකමවත් නොතිබිණි. සටනක් කර පරාජය වුවත්, සටනට සහභාගී වීම වැදගත්ය. විශේෂයෙන්ම දේශපාලනයේ දී එය අතිශය වැදගත්ය. තමන් වෙනුවෙන් සටන් කරන්න නායකයකු සිටිනවා කියන එක ගැන පාක්ෂිකයාට ඒත්තු ගැන්වීම හෝ විය යුත්තකි. එම නායකයා ගැන පිළිගැනීමක් ගෞරවයක්, භක්තියක්, ආදරයක් ඇති වන්නේ එවිටය. තමන්වත් අසරණකර පාවා දී පළා යන සැඟවෙන නායකයකුගෙන් පාක්ෂිකයාට වැඩක් නැත.

අනුර කුමාර සමඟ විවාදයට මුහුණ නොදී බොරු වටවංගු ගසමින් සැඟවුණ සජිත්ව තවදුරටත් සිය නායකයා ලෙස සජබ පාක්ෂිකයකු තවමත් පිළිගන්නවා නම් ඒ පාක්ෂිකයා ගැනත් කියන්න වෙන්නේ සජිත් පන්නයේම නිවට නියාලු දුර්වලයන් බවය. ලැජ්ජාවක් නැති වුන් බවය. කිසි තේරුමක් නැතිව සිය කැමැත්තෙන්ම වහල්භාවයට පත් වූවන් ලෙසටය.
කොහොම වුණත් සජිත්ගේත් සජබයේත් දේශපාලනය දැන් ඇත්තටම රටට වැඩක් නැති තනිකර විහිළු‍වක් බවට පත්ව අවසන්ය. ඒ ගැන ඉදිරියට කතා කළ යුතු තැනක නැත. ඒ කාලයත් ශ‍්‍රමයත් අපරාධයක්ය.

අප මුල සිටම පවසා සිටියේ ජනාධිපතිවරණ සටන ඇත්තේ රනිල් සහ අනුර අතර බවය. ඒ ප‍්‍රතිපත්තිමය තලයක සිටය. ඒ දකුණ හා වම අතර සටනක් ලෙසය. මේ වන විට මෙම කඳවුරු දෙක පැහැදිලිය.

ඒ කොහොම නමුත් අනුර සජිත් නොකෙරුණ විවාදය මත දැන් වීරයා අනුර බවට පත්ව ඇත. නමුත් එය පාලු ගෙයක වළං බිඳිමින් ලත් වීරත්වයක් විනා වෙනකක් නොවේ. අනුර තවමත් නියම ප‍්‍රතිවාදියාට අභිමුඛ වී නැත. එය සිදු නොවනුද ඇත. මන්ද අනුරට යන්න සිදුව ඇත්තේ රනිල්ට නොපෙනෙන්න ඔහු පසු පසින්ම වන නිසාය. අනුරට පසුගියදා වැල් පාලම දිගේම යන්න සිදුව ඇති බව කියවුණේ මේ නිසාය.

එමෙන්ම ස්වාධීන රුපවාහිනි වැඩසටහනට සහභාගී වීම තුළ අනුර දැන හෝ නොදැන සිදුකර ඇත්තේ තමන් සත්‍ය ලෙසම අභිමුඛ වියයුතු ප‍්‍රතිවාදියා එළියේ සිටින බව පිළිගැනීමය. මන්ද යත් අනුරට තිබෙන ප‍්‍රශ්නයත් සජිත්ගේ ප‍්‍රශ්නයේම තවත් පැත්තකි. අනුරටත් ඇත්ත ප‍්‍රතිවාදියකු ඇත්ත අභියෝග හමුවේ වීරයකු වීමේ හැකියාවක් නැත. ඔහු සොයන්නේ තමන්ට ලෙහෙසි තැනය. තමන්ගේ පිට්ටනියකි. තමන්ට බන්දේසිවල තබා ලැබෙන අවස්ථාවන්ය.

වරක් ඇමැතිකම් භාරගත්තේද ඒ වගකීම් ඉටුකර ගත නොහැකිව පළා ගියේද එබැවිනි. තමන්ට බලය ලැබෙනවා නම් රට හදන බවට කොතරම් කටමැත දෙඩවීම් කළත් රටේ අර්බුදය හමුවේ අගමැතිකම භාර ගන්න ඉදිරිපත් වුයේ නැත. අරගල සමයේ එහි නායකත්වය අත්පත් කරගැනීමට හෝ මේ විප්ලවවාදී ජවිපෙ නායකයා උත්සහ කළේ නැත. මන්ද අර්බුදයට විසඳුමක් ඉදිරිපත් කිරීමට තමන් අසමත් වීමත් අරගලය තමන්ට දරන්න බැරි බරක් බවත් අවබෝධකර ගැනීම නිසාය. ඒ වෙනුවට සුපුරුදු විවේචනය, කටමැත දෙඩවීම ඔහුගේ දේශපාලනය විය.

තවමත් රට ස්ථාවරත්වයට පත්වෙමින් තිබෙන්නේ දැඩි අවදානමක් සහිතවය. ඒ තුළ රටේ නායකත්වය භාරගැනීමට අනුර කැමැත්තෙන් සිටිනවාද යන්නද සැක සහිත තත්වයකි. මන්ද මේ අය සතුව නිශ්චිත ප‍්‍රතිපත්ති වැඩපිළිවෙල කිසිවක් නොමැති තත්වයක් තුළ වියහැකි එකම දෙය යළි රට කඩාගෙන වැටීම මිසක් වෙනකක් නොවන නිසා සහ අභියෝග භාරගැනීමේ දේශපාලනයක නොයෙදෙන නිසාය.

සජිත්ට විවාදයකට අනුර අභියෝග කරන්නේත් මේ නිසාය. නමුත් අනුරට, සජිත්ට අභියෝග කරන්න සිදුවන්නේ ඇයිද යන්න කිසිවකුත් සාකච්ඡාවට ගෙන තිබුණා දකින්න තිබුණේ නැත. එය හුදු දේශපාලන පක්ෂ නායකයන් නැතිනම් ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතර වන විවාදයක්ය, එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හොඳ ලකුණක්ය ආදි වශයෙන් විග‍්‍රහයන් ඇති පදම් තිබිණි. එහෙත් මෙම පක්ෂ දෙකම විපක්ෂයේ පක්ෂ දෙකකි. ඔළු ගෙඩි ගණනින් වෙනස් වුවත් සංදර්ශනාත්මක දේශපාලනයේ දි ජාජබය සහ සජබය සමාන තලයක තිබේ.

මේ දෙපිරිසේම පොදු සතුරා විය යුතු වන්නේ ආණ්ඩු පක්ෂයයි. ජනධිපතිවරණයට අදාලව ගතහොත් රනිල් වික‍්‍රමසිංහ අංක එකේ ප‍්‍රතිවාදිය වෙයි. විපක්ෂයේ දේශපාලන පක්ෂ දෙක තමන්ගේ නියම ප‍්‍රතිවාදියා අත්හැර ඔවුනොවුන් අතර සටනක් තෝරා ගැනීම ඔවුන්ට මේ ප‍්‍රතිවාදියට මුහුණ දීමේ නොහැකියාව දුර්වලකම නැවත පෙන්වීමකි. අනුර තමන්ගේ සටනට සජිත් කැඳවන්නේ ඔහුගේ සටන දෙවැනියා වීම නිසාය. එහෙත් සටනට තමාට වඩා දුර්වලයකු තෝරා ගැනීමේ උපාය මාර්ගය පාවිච්චි කිරීම තමන්ගේ දුර්වලත්වයේ ප‍්‍රකාශනයක් බව අනුරට නොතේරී ඇත. එම පාක්ෂිකයාටත් එම වැටහීම නැත. මීළඟ කාරණය ස්වාධීන රූපවාහිනියේ ආරාධනාවට අනුර එකඟවීමේ දේශපාලනික ගැටළුවය.

අප දන්නා තරමින් ජාජබය යන නාමකරණයෙන් පැවැතියත් එය ජවිපෙමය. ජවිපෙ යනු මාක්ස් ලෙනින්වාදී විප්ලවීය දේශපාලන හැදැරීමක්, භාවිතාවක් සහිත ව්‍යාපාරයකි. එහි නායකත්වය තුළින්ද එය විදහා පෙන්විය යුතුව තිබෙන්නෙකි. එසේම ජවිපෙ තීන්දු තීරණ ගන්නේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය වැනි මධ්‍යගත ක‍්‍රමවේදයක් අනුවය. හුදු නායකත්වයේ තීන්දු ජවිපෙ තිබුණේ නැත. එලෙස විප්ලවාදී ව්‍යාපාරක් ලෙස හැඩ ගැසුණු ජවිපෙ සජිත් වැන්නකුට අභියෝග කිරීම මඟින් පෙන්වා දෙන්නේ ජවිපෙ දේශපාලන පිරිහීම ගැනය.

සජබය විවාදයකට මුලින් අභියෝග කළ විට ජවිපෙ කළ යුතුව තිබුණේ, තමන්ට ඔවුන් නොවැදගත් බවත්, ඔවුන් සමඟ විවාදයක් නැති බවත් පවසා තමන්ට විවාදයක් හෝ සංවාදයක් තිබෙන්නේ ජනතාව සමඟ යැයි පවසමින් ඒ විවාද යෝජනාව ප‍්‍රතික්ෂේප කර තම අභිමානය රැකගැනීමය. නමුත් සිදු වූයේ ජවිපෙ විප්ලවීය දේශපාලන භාවිතාවට තරම් නොවන ප‍්‍රාථමික තීදුවක් ගැනීමය. පිරිහුණ, අදේශපාලනික, බොළඳ තීන්දුවක් ගැනීමය. එතැනින් නොනැවති අනුර, සජිත්ට අභියෝග කිරීම ඊට වඩා දේශපාලනික භාවිතාවේ දුර්වලකම පෙන්වීමකි.

ඒ අතර තමන් අභියෝග කළ දුර්වලයා පළා යෑමෙන් පසුව ස්වාධීන රූපවාහිනියේ වුවමණාවට එතැනට තනිවම ගොස් වළං බිඳීම තවත් ආකාරයක නිවට නියාළුකමකි. අනුරට එම රාජ්‍ය රූපවාහිනී වැඩසටහනට සහභාගී වීම ප‍්‍රතික්ෂේප කිරීමට දේශපාලන පෞර්ෂයක් තිබුණේ නැත. එසේ වූවනම් ජවිපෙ දේශපාලනයට ඉන් ලැබෙන්නේ වටිනාකමකි. නමුත් පාළු ගෙයි වළං බිඳීමේ ආසාව නිසා එම අවස්ථාව ඔහු පාචිච්චි කළේය. අනුර එතැනට ගියේ සජිත්ව ඉවර කරන්නේමැයි අදහසින් බව ජවිපෙ පාක්ෂිකයා ද බලාපොරොත්තු විය. නමුත් එය අනුරගෙන් සිදුවූයෙත් නැත. අනුර සජිත්ට අභියෝග කළ වුවමණාව ඉ‍ටුවූයෙත් නැත. අනුර කළේ පැත්තක සිටි, රනිල්ව විවේචනය කිරීමය.

තමන් තෝරාගත් දුර්වල ප‍්‍රතිවාදියාවත් නොමැති තැනකට ගොස් මොන තරම් රනිල්ට, ආණ්ඩුවට තඩි බෑවත් එහි වාසියක් ජවිපෙට සිදුවූයෙත් නැත. මන්ද එම විචේනයන්ගෙන් සිදුවූයේ තමන්ට අභිමුඛ විය නොහැකි ඇත්ත ප‍්‍රතිවාදියකු එළියේ සිටින බව පෙන්වා දීමකි. ඒ අනුව ප්‍රේක්ෂකයා තේරුම් ගන්නේ ඇත්ත වීරයා රනිල් බවය. ඒ අනුව මෙම වැඩසටහන එක ගලෙන් කුරුල්ලන් කිහිප දෙනෙකුම දඩයම් කරගැනීමක් සිදුව තිබේ. සජිත්ගේ නිවට නියාළු බවත්, අනුරගේ බැරිකමත්, රනිල් තමයි එකම වීරයා බවත් අවධාරණය වීම සිදුව ඇත.

මේ අතර ජනාධිපති රනිල් ජුනි 06 වෙනිදාම තව වැදගත් දේශපාලනික පියවරක් ගෙන තිබිණි. ඒ ජනාධිපතිවරණ සටනට තමන්ගේ ඉදිරිපත් වීම ගැන පළමු නිල ඉඟිය ලබා දෙමින් සිය දේශපාලන කාර්යාලය කොළඹදී විවෘත කිරීමය.

රනිල්ට අමුතුවෙන් දේශපාලන කාර්යාලයක් අවශ්‍ය වූයේ ඔහු ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන නිසාය. තමන් නායකත්වය දෙන එජාපයේ සිරිකොත වෙනදා දේශපාලන කාර්යාලය කරගත්තද මෙවර ඔහු පක්ෂ දේශපාලයෙන් තොරව ජාති, ආගමික, පංති තරාතිරම් බේදයකින් තොරව සියළු පුරවැසියන්ගේ ජාතික අපේක්ෂකයා ලෙස ස්වාධීන නිර්පාක්ෂික අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වෙයි. ඒ අනුව සිය රට ගොඩනංවන වැඩපිළිවෙලට, ප‍්‍රතිපත්තියට එකඟවන ඕනෑම අයකුට කිසිදු ගැටළුවකින් තොරව රනිල්ට සහයෝගය ලබාදීමේ ඉඩකඩ විවරකර ඇත.

මේ අනුව ජනාධිපතිවරණයේදී එතෙක් මෙතෙක් ඉතිහාසයේ ජනාධිපතිවරණ අපේක්ෂකයකු වෙනුවෙන් වැඩිම පාර්ශව ගණනක සහයෝගය ලබන අපේක්ෂකයා වනු ඇත්තේ රනිල්ය. 06 වෙනිදා දවස ඇතුළතම නොකෙරුණ විවාදයේ ප‍්‍රතිපලයක් ලෙස සජබයේ අති විශාල පිරිසගේ සහයෝගයත් රනිල් වෙත ලබාදීමට තීරණය වුණු බවත් සැක නැත. ජයග‍්‍රහණය එක පැත්තකට බර වන විට ජාජබය වැනි ප‍්‍රතිපත්තියක් දැක්මක් නැති දුර්වල දේශපාලන රංචු ගැසීම්වලින් පිරිස් ඉවත්වීමත් සිදුවීම වැලැක්විය නොහැක.

මේ අනුව ජනාධිපතිවරණයේ සුළුතර අපේක්ෂකයන් අතරට සජිත් අනුර දෙපාර්ශ්වයම ඇද වැටීමත් ජනපති රනිල් ඉහළම ජනතා කැමැත්ත බවට පත්වීමත් විය හැකිව තිබෙන නියතයකි.

ඝෝෂක

උපුටා ගැනීම – 2024.06.09 දින Chatham Street Journal පුවත්පතේ කතුවැකිය

පුවත්පත බලන්න – https://bit.ly/4aZuM3E

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *