අනාගත අභියෝගවලට මුහුණුදිය හැකි දැනුමින් සන්නද්ධ තරුණ පරපුරක් ගොඩ නගනවා – ජනපති

අනාගත අභියෝගවලට මුහුණදිය හැකි දැනුමින් හා පුහුණුවෙන් සන්නද්ධ තරුණ පරපුරක් බිහි කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. රටේ තරුණ තරුණියන්ට‌ ඉහළ ආදායම් මාර්ගයක් ඇති කිරීමට අවශ්‍ය ආර්ථික වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, යොවුන් සේනාංකයේ තරුණ තරුණියන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (12) හමුවූ අවස්ථාවේදී ය. යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණියක් පිරිනැමීමද මෙහිදී සිදු කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

යොවුන් සේනාංකය ආරම්භ වී මේ වන විට වසර 22ක් ගතව තිබෙනවා. මෙම යොවුන් සේනාංකය ආරම්භ කළේ එදා තිබුණු ආර්ථික සමාජ ක්‍රමයට ගැලපෙන ආකාරයටයි. කාලය සමඟ යොවුන් සේනාංකයත් වෙනස් විය යුතුයි. තරුණයින්‌ට හොඳ අනාගතයක් නිර්මාණය කර දීමට මෙන්ම හොඳ ආදායම් තත්ත්යක් නිර්මාණය කරදීම කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය පරිදි යොවුන් සේනාංකය වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගත යුතුයි.

ඉහළ ආදායම් තත්ත්වයක් ලැබෙන රැකියාවලට තරුණයින් කැමැතියි. ඒ නිසා එම තත්ත්වය ඇති කිරීමට අප සැලසුම් සකස් කළ යුතුයි. ඒ වෙනුවෙන් ආර්ථික පරිවර්තන නීතිය පාර්ලිමේන්තුවට ගෙනැවිත් තිබෙනවා. එමඟින් 2027 වසර වන විට විරැකියාව අඩු කර ගැනීමට හැකි වෙනවා වගේම 2035 වසර වනවිට ඉහළ ආදායම් ලබන රැකියා ක්ෂේත්‍ර ගණනාවක් බිහි කළ හැකියි. 2048 වසර වන විට දියුණු රාජ්‍යයක් මෙමඟින් බිහි වෙනවා. අද මෙතන සිටින යොවුන් සේනාංක සිසුන්ට ඒ වනවිට වයස අවුරුදු 50ක්වත් නැහැ. නව ආර්ථිකයක් ඇති කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කළ යුතුයි. වියට්නාමය, තායිලන්තය, මැලේසියාව වැනි රටවල් අපනයන ආර්ථිකයක් පදනම් කරගෙන සංවර්ධනය පිළිබඳ අප අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා අපනයන මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැඟීමට අප කටයුතු කළ යුතුයි.

ඒ වගේම සීඝ්‍රයෙන් දියුණු කළ හැකි ක්ෂේත්‍ර පිළිබඳ අප අවධානය යොමු කළ යුතුයි. සංචාරක ක්ෂේත්‍රය, සුහුරු කෘෂිකාර්මික ක්ෂේත්‍රය, තොරතුරු තාක්ෂණය වැනි ක්ෂේත්‍ර දියුණු කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. යොවුන් සේනාංකයේ සිසුන් මේ සඳහා යොමු කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. හරිත සමාජයක් හරිත ආර්ථිකයක් ඇති කිරීම තුළින් අනාගත අභියෝගවලට මුහුණදිය හැකි දැනුමින් හා පුහුණුවෙන් හෙබි තරුණ පරපුරක් බිහි කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කළ යුතුයි. වෘත්තීය පුහුණුව සහිත තාරුණ්‍යයක් ඇති කර රටේ ආර්ථිකය නව මානයකට ගෙන යාමට කටයුතු කළ යුතුයි.

යොවුන් සේනාංකයේ සභාපති චතුරංග උඩවත්ත, යොවුන් සේනාංකයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් චන්න ගුණතිලක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.