සියළු සමීක්ෂණ වාර්තා පරයමින් ජනපති සමඟ රට පෙරට

0

ආණ්ඩුවේ වැඩ සියයට 85ක ජනතාවක් අනුමත කරන්නේ නැතැයි තවත් ප්‍රබන්ධයක් ඊයේ පෙරේදා මාධ්‍ය තුළ දැකගත හැකි විය. එය එසේ මෙසේ තැනකින් ආපු තොරතුරක් නොවේ. තමන්ට වඩා ආර්ථිකය ගැන දන්නා ඔස්තාර්ලා නැතැයි කියන වෙරි මරගාතේ කටයුතු කරනවාද කියා හිතා ගන්න බැරි රිසර්ච් ආයතනයක් නිකුත් කළ නවතම වාර්තාවක් අනුව මේ පුවත් ප්‍රබන්ධය වාර්තා කර තිබිණි. මේ රිසර්ච් ආයතනය පසුගිය කාලය පුරාම මෙවැනි වාර්තා බොහොමයක් නිකූත්කර තිබේ.
මේ ආයතනය එලෙස ඉදිරිපත් කර තිබූ සමීක්ෂණ වාර්තා සෑබෑවක් වූවා නම් මේ වන විට රටක් ඉතුරු වී තිබිය නොහැක. ජනතාවක් ජීවත් විය නොහැක. ආර්ථිකයක් කියා කතාකරන්නවත් දෙයක් ඉතිරි නොවිය යුතුය. ඒ තරමට මේ රටට කෙලවී, කෙලවෙමින් තිබුණේ එකදු අඩියක්වත් මේ රට පෙරට ගැනීමට නොහැකිවය.
තනිකරම දේශපාලනික පක්ෂපාතිත්වයන්, ද්වේශය පදනම් කරගත් තක්කඩි ක්‍රියාදාමයක මේ අයතනය යෙදී සිටී. මේ පමණක් නොව, මෙවැනි ආයතන ක්‍රියාත්මක වෙන්නේ තමන් ආණ්ඩුවෙන් ආණ්ඩු නායකත්වයෙන් බලාපොරොත්‍තු වූ තනතුරු තානාන්තර වරප්‍රසාදයන් නැතිනම් කප්පම් හෝ නොලැබීම පදනම් කරගෙන බව අප විසින්ම මීට පෙර හෙළිදරව් කර තිබිණි. මස් කටු සූප්පු කර පුරුදු බල්ලන්ට මස් කටුවක් ලැබෙන තෙක් කරන්නේ බුරන එකය. මෙතැන වෙන්නෙත් ඒකමය. එසේම යම් විදේශ බලවේගද, විපක්ෂයේ කුණු කොන්ත්‍රාත්ද මේවා තුළ ක්‍රියාත්මන වන බව සැක කළ හැකි හේතු තිබේ.
මේ ඊනියා සමීක්ෂණ වාර්තා පට්ටපල් බොරුය. පදනම් විරහිතය. අඩුම තරමින් සමීක්ෂණ ප්‍රතිපලයන් සාධාරණ බව ප්‍රකාශ කරන්න තරම් පුළුල් පිළිගත හැකි නියැදියක්වත් මොවුන් සතුව නැත. ඒ නියැදිය පිරෙන්නේ දහසක තරම් පිරිසකින්ය. එතරම් පිරිසකගේ සමීකෂණයක් ග්‍රාම සංවර්ධන සමිතියක සමීක්ෂණයකට නම් ප්‍රමාණවත් විය හැකිය. නමුත් මේක රටකි. ලක්ෂ 222ක පමණ ජනගහනයක් වෙසෙන, විවිධ ජාතීන් ආගමිකයන් සිටින, කුල බෙදීම් මෙන්ම සමාජ විවිධ තරාතිරම් නඩත්තුකරන මිනිසුන් වෙසෙන, ඇති නැති හැකියා පරතර ඇති, විවිධ දේශපාලන සාමාජ මතයන් දරණ ආදී මිනිසුන් වෙසෙන සංකීර්ණ සමාජයකි. අඩුම තරමින් මේ පුරවැසි ප්‍රජාව අතර මේ තියෙන වෙනස්කම් අනුව කාණ්ඩ වෙන්කර ගත්තත් එයත් දහසකට වැඩි වෙනවා මිසක් අඩු නොවේ. තමන්ට කැමති පිරිසක් ඕන ඕන හැටියට තෝරගෙන සාධාරණ සමීක්ෂණ කළ නොහැක. ඒවාට පිළිගත් භාවිතයෙන්, තාක්ෂණයන්, සීමාවන් ආදිය මෙන්ම නිගමනයන් වෙත එළැඹීමේ තහවුරු කරගත් විද්‍යාත්මක ක්‍රමවේදයන් තිබේ. තමන් අනුගමනය කරන ක්‍රමවේදය මේ යැයි කියමින් ලෝකෙ කොහෙවත් හොයාගන්න නැති බහුබූත දොඩවමින් සමීක්ෂණ සිදුකිරීම පිළිගත නොහැක.
ඕනෑම රටක, ඕනෑම ආණ්ඩුවක් අදාල රටේ සියළු පුරවැසියන් සියයට සියයක් පිළිගන්නේ නැත. එය ඇත්තය. ආණ්ඩු විරෝධයන් ඒ ඒ කාලයේ සිදුවන දේශපාලන ආර්ථික සමාජීය හැල හැප්පිලි සමග වෙනස්වෙයි. වර්තමාන ශ්‍රී ලංකාව මුහුණ දෙමින් තිබෙන අර්බුද හමුවේ ආණ්ඩු විරෝධය වැඩි වශයෙන් මතුවීමත් සාමාන්‍ය තත්වයකි. එමෙන්ම විපක්ෂ කොටස් මාධ්‍ය විසින් පතුරුවන් කතන්දර නිසාත් ඒවා වැඩි විය හැකිය. බොහෝ විට අවබොධයන්ගේ සීමා සහිතකම් නිසා පුරවැසි බහුතරය කල්පනා කරන්නේ තමන් මුහුණ දෙන අර්බුදයට බලයේ සිටින ආණ්ඩුව වගකිව යුතු බවය.
මේවා අමුතුවෙන් සමීක්ෂණ කර සොයාගත යුතු දේ වන්නේද නැත. විශේෂයෙන්ම ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම වෙනුවෙන් ආණ්ඩුවට ක්‍රියාත්මක කරන්න සිදු වුයේ ජනප්‍රිය තීන්දු නොවෙයි. යම් කාලයක් යන තෙක් දුෂ්කරතා අත්විදුමිනි යන්න වෙන බව ආණ්ඩුව පැහැදිලිව පෙන්වා දී ඇත. පුරවැසි ජනතාවට කොලේ වහලා ගැසුවේ නැත. ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දී ඇත. එමෙන්ම ආණ්ඩුව ගත් පියවරයන්ගේ සාර්ථකත්වයන්ද පෙන්වා දී ඇත. ආණ්ඩුව වගකීම් සහගතව කටයුතු කරන බව, පුරවැසි ජනතාව තුළ පිළිගැනීමත් තිබෙන බවත් දැකිය හැකිය. කවර මට්ටම්වලින් හෝ ආණ්ඩු විරෝධයක් තිබුණත් බහුතර ජනතාව ඒ නොසලකා හැර ඇත. එසේ නොවේ නම් විපක්ෂයේ උසිගැන්වීම්වලට හසුවෙලා හෝ ජනතාව සිටිය යුත්තේ මහපාරේය කෑ ගසමින්ය, කැරලි ගසමින්ය. එහෙත් රැල්ල තියෙන්නේ තමන්ට යැයි කියන විපක්ෂ කණ්ඩායම් කිසිවකට හෝ අරගල සමයෙන් පසුව ජනතාව බලෙන්වත් පාරට ගැනීමේ හැකියාවක් ලැබී නැත. අරගල සමයේ මුහුණ දුන් පීඩාවන් දැන් තිබුණානම් ජනාතාව ස්වෙච්ඡාවෙන් පාරට බැසීමත් විය යුතුව තිබිණි. එහෙත් එලෙස කිසිවක් සිදුව නැත. ඒ නිසා ඊනියා සමීක්ෂණ වාර්තාවලින් තහවුරු කරන්න හදන ආණ්ඩු විරෝධය සහ ඇත්ත ආණ්ඩු විරෝධයේ තරම සහ ස්වභාවය විශාල පරතරයකින් වෙනස් බව පැහැදිලිය.
කොහෝම නමුත් මේ රිසර්ච්කාරයා, මුල්‍ය අරමුදලේ නිර්දේශ ක්‍රියාත්මක වීම ගැනද නිරන්තරයෙන්ම පෙන්වා දෙන්න උත්සහ කළේ එහිදී රජය අසාර්‍ථක බවත්, රජයට ප්‍රතිසංස්කරණ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම හැකියාවක් කාර්යක්ෂම බවක් නැති බවය. ගණන් හදමින්, ප්‍රස්ථාර ගසමින්, රවුම් හතරැස් චිත්‍ර පාට පාටින් අඳිමින් බොහෝ කතන්දර කිව්වෙ රජයේ ආසාර්‍ථක බව පෙන්වන්නය. මුල්‍ය අරමුදලේ සමාලෝචනයන්වලින් ආණ්ඩුව අසමත් වී ණය වාරික නොලැබෙන බව මුල්ම වාරිකය ලැබීමටත් පෙර සිටිම මේ අය සහතික කර කිව්වේය. මේ ඊයේ පෙරේදාත් කිව්වේ ඒකමය.
එහෙත් මේ රිසර්ච්කාරයෙන්ගේ ප්‍රබන්ධ කතා සියල්ල බොරු කරමින් පසුගියදා මෙරටදීම මුල්‍ය අරමුදලේ නියෝජිතයන් රජයේ සාර්ථකත්වය, ඔවුන් බලාපොරොත්තු වූවාටත් වඩා ඉහළින් තහවුරු කර ඇති බව කියමින් මේ ක්‍රියදාමය අතිශය ඉහළ ඇගයීමකට ලක් කර තිබිණි. ඒ ලැබුණු සහතිකය මේ දෙකයි පනහේ රිස්ර්ච්කාරයාගේ කෂඩ වැඩ කසල ගොඩට ඇද දැමීමට ප්‍රමාණවත්ය, වුන්ගේ නරිවාදන් රෙද්ද පල්ලේ බෙරෙන තැනට පත් විය.
“…උද්ධමනය ශීඝ්‍රයෙන් පහතට ගෙන ඒම, විදේශ සංචිත සමුච්චය ශක්තිමත් වීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව රැක ගනිමින්, ආර්ථික වර්ධනයේ ආරම්භක සලකුණු ඇතුළු ප්‍රශංසනීය ප්‍රතිඵල සහිතව, විස්තීරණ අරමුදල් පහසුකම (Extended Fund Facility) යටතේ අධිෂ්ඨානශීලී ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම තුළ ශ්‍රී ලංකාවේ බලධාරීන් සාර්ථක ප්‍රගතියක් අත්කර ගනිමින් සිටී.
සැලකිය යුතු ලෙස සිදු කරන ලද රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණවලින් පසු ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ශක්තිමත් වී ඇත. සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කය හැර 2023 දෙසැම්බර් මාසය අවසානය වන විට සියලු‍ ප්‍රමාණාත්මක කාර්ය සාධන නිර්ණායක සහ දර්ශක ඉලක්ක සපුරා ගැනීමත් සමඟ වැඩසටහනෙහි කාර්ය සාධනය ශක්තිමත් වී තිබේ. 2024 පෙබරවාරි මාසය අවසානයට පෙර බොහෝ ව්‍යුහාත්මක මිණුම් සලකුණු ප්‍රමාද වී හෝ සපුරාලීම/ක්‍රියාත්මක කිරීම සිදු කර තිබේ. ඇතැම් ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ තවමත් සිදු වෙමින් පවතී.
ආර්ථික තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වේ. කාර්තු හයක අඛණ්ඩ පසුබෑමෙන් පසු වර්ධනය ධනාත්මක වූ අතර, 2023 තෙවන හා සිව්වන කාර්තුවලදී පිළිවෙලින් සියයට 1.6ක් සහ සියයට 4.5ක වාර්ෂික වර්ධනයක් වාර්තා විය. අධි සංඛ්‍යාත ආර්ථික දර්ශක මගින් පෙන්නුම් කරන්නේ නිෂ්පාදන, ඉදිකිරීම් සහ සේවා අංශවල අඛණ්ඩ වර්ධනයක් පවතින බවයි. උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 70 ක උපරිමයේ සිට 2024 පෙබරවාරි මාසයේ වන විට සියයට 5.9 ක් දක්වා පහත වැටී ඇත. මහ බැංකුව විසින් සිදු කර ඇති සැලකිය යුතු විදේශ විනිමය මිලදී ගැනීම් සමඟ 2024 පෙබරවාරි මස අවසානය වන විට නිල සංචිත ප්‍රමාණය දළ වශයෙන් ඩොලර් බිලියන 4.5 දක්වා ඉහළ ගියේය.
ආර්ථිකයේ තිරසර ප්‍රකෘතියක් සහ ස්ථාවර වූත් සියල්ල අන්තර්ගත වූත් ආර්ථික වර්ධනයක් කරා යන මාවතකට ගෙන ඒම සඳහා ප්‍රතිසංස්කරණවල වේගය පවත්වා ගැනීම ඉතා වැදගත් වේ. ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකා රජය දක්වන කැපවීම අප පිළිගන්නෙමු. 2025 වසර සහ ඉන් ඔබ්බට ආදායම් උපයා ගැනීමේ ඉලක්ක සපුරාලීම සඳහා සිදු කළ යුතු ආදායම් ඉහළ නැංවීමේ පියවර සමඟ දේපල බද්ද හඳුන්වාදීම අඛණ්ඩ ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා ඉතා වැදගත් වේ.
ආදායම් පරිපාලනය සහ දූෂණ විරෝධී ප්‍රයත්නයන් සිදු කිරීම බදු එකතු කිරීම් ඉහළ නැංවීම සඳහා ද ප්‍රධාන වේ.
ඉන්ධන සහ විදුලි මිලෙහි පිරිවැය ප්‍රතිසාධනය පවත්වා ගැනීම රජය සතු ව්‍යවසායයන්ගෙන් පැන නගින මූල්‍ය අවදානම් අවම කර ගැනීමට උපකාරී වේ…”
මේ මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩලය නියෝජනය කරමින් එහි ප්‍රධානී පීටර් බෲවර් සහ නියෝජ්‍ය ප්‍රධානී කත්සියරිනා ස්විරිඩ්සෙන්කා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් උපුටාගත් කොටසකි. මේ අනුව රජයේ වැඩපිළිවෙල ගැන තවත් කිව යුත් දෙයක් නැත. රජය වගකීම නිවැරදිව ඉටුකරමින් සිටින බව පැහැදිලිය.
මේ අතර මුල්‍ය අරමුදල තමන්ගේ තෙවන වාරිකය ලබා දීමාගැන කාර්ය මණ්ඩල එකඟත්වය ලබාදීම නිවේදනය කිරීමන් පසු දින ජාත්‍යන්තර මාධ්‍ය වර්තා කළේ විදේශ ණය ප්‍රතිව්‍යුගත කිරීම ක්‍රියාදාමය ද සාර්‍ථක බවය. ඒ වාර්තා අනුව වසර 6ක ණය සහන කාලයක් මෙරටට හිමී වීමට නියමිතය. ආර්ථික අර්බුදය හමුවේ තිබුණ විශාලම අභියෝගය වූයේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක කරගැනීමය. මේ සාර්ථකත්වය අනුව මෙරට ආර්ථික සංවර්ධන ගමන ජවසම්පන්නව ඉදිරියට ඇදීමට අවශ්‍ය විශාලම උත්තේජනය ලබා ගැනීමක් වෙයි. මෙය වැදගත්ම සංධිස්ථානයය. දැන් රට එතැන සිටී.
රට මෙතැනට රැගෙන ඒම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, කැබිනට් මණ්ඩලය සහ ආණ්ඩු පක්ෂය, මහබැංකු අධිපති සහ එම කාර්ය මණ්ඩලය මුදල් අමාත්‍යංශයේ සහ අනෙතුක් අමාත්‍යංශ නිලධාරීන් ආදී කණ්ඩායමක් විශාල කැප කිරීමක් සිදු කර ඇත. එසේම විපක්ෂයේ මඩ අවලාද ගැරහීම් බාධාකිරීම් මධ්‍යයේ මේ ඓතිහාසික කර්තව්‍යය සාර්ථක කරගැනීමට තරම් දක්ෂ වීද ඇත. මේ වෙනුවෙන් ජාතියේ ප්‍රණාමය කිසිදු බේදයකින් තොරව කුහක කමකින් තොරව ඔවුන්ට පුදකළ යුතුය. තව අවුරුදු දහයකට පහළොවකට ගොඩ දැමිය නොහැකි වෙනු ඇතැයි කියපු රටක් වසර දෙකක් තුළ මේ ජයග්‍රාහි තැනට ගෙන ඒම එක අතකින් ලෝක ඉතිහාසයේ සුවිශෙෂී අවස්ථාවක්ද වෙනු ඇත. ඒ මන්ද යත් මේ සිදු කළ විප්ලවය දැනටමත් ලෝක පුදුමයක්ව තිබෙන බැවිනි. අද කඩා වැටුණු රටක් යළි ගොඩගන්නේ කෙසේද යන්න ගැන ලෝකයේ වැදගත්ම ආදර්ශය ශ්‍රී ලංකාව බවට පත්ව ඇත. ඒ අතිශයෝක්තියක් නොවේ. ජාත්‍යන්තරය තුළ යථාර්ථය එයය.

……..ඝෝෂක……..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *