සජබ 40ක් ජනපති සමග එක්වෙයි ..!

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිස් දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වීමට නියමිත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න ඊයේ (මාර්තු 29) පැවසීය.

මෙම මන්ත්‍රී කණ්ඩායම විවිධ මාර්ගවලින් ජනාධිපතිවරයාට එකඟතාව ලබා දී තිබෙන බව ද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා සමග එක්වන බවට තමාට ද පෞද්ගලිකව දැනුම්දුන් බව ද විජේමාන්න මහතා ප්‍රකාශ කළේ ය. ඒ අනුව, ඉතා කෙටි කලක් ඇතුළතදී මෙම මන්ත්‍රී පිරිස ආණ්ඩුවට එක්වනු ඇති බව ද හෙතෙම කීවේය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ ගාල්ලේ සංචාරක හෝටල්වලට ගොස් උද්ඝෝෂණ කරමින් හා විදේශිකයන් බියවද්දමින් සංචාරක ව්‍යාපාරය බිඳ දැමීමේ උත්සහයක යෙදෙන බව ද ලක්ෂ්මන් විජේමාන්න චෝදනා කළේ ය.

ජවිපෙ නායකයන් මීට පෙර මිරිස්ස හා යාල ප්‍රදේශවල ද උද්ඝෝෂණය කරමින් සංචාරක ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට උත්සහ දැරූ බව ද හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ය.