අපොස (උ.පෙළ) විභාගය අද සිට ඇරඹේ

අපොස (උ.පෙළ) විභාගය අද (23) සිට ආරම්භ වන අතර පෙබරවාරි 17 දක්වා විභාගය පැවැත් වේ.

ඉරිදා සහ රජයේ නිවාඩු හැර සම්පූර්ණ දින 22ක් විභාගය පැවැත් වේ. මෙවර විභාගයට පෙනී සිටින සමස්ත අයදුම්කරුවන් ගණන 3,31,709කි. එයින් 2,78,196ක් පාසල් අයදුම්කරුවන්ය. දිවයිනම ආවරණය වන පරිදි විභාග මධ්‍යස්ථාන 2,200ක් පිහිටුවා තිබේ.

පාසැල් අපේක්ෂකයෙක් නම් තමගේ පාසැල් විදුහල්පතිතුමාගේ හෝ ඒ සඳහා බලය පවරා ඇති නි‍යෝජ්‍ය විදුහල්පතිවරයාගේ අත්සන සහතික කර ප්‍රවේශ පත්‍රය විභාග ශාලාවට රැගෙන යන ලෙසත් පෞද්ගලික අපේක්ෂකයෙක් නම් අත්සන සහතික කිරීමට බලය පවරා ඇති පුද්ගලයෙක්ගෙන් අත්සන සහතික කර විභාග ශාලාවට රැගෙන යන ලෙසත් වලංගු හැදුනුම් පත්‍රයත් ඒ සඳහා ජාතික හැදුනුම් පත එසේ නොමැති නම් වලංගු විදේශ ගමන් බල පත්‍රය හෝ වලංගු රියදුරු බලපත්‍රය භාවිතා කළ හැකි බවද විභාග කොමසාරිස්වරයා දැනුම් දී තිබේ.

මෙවර උසස් පෙළ විභාගය (2022) වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන හතරක් ස්ථාපිත කර තිබේ. බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් කොළඹ මැගසින් බන්ධනාගාරයේ ද, විශේෂ අවශ්‍යතා ඇති විභාග අපේක්‍ෂකයන් සඳහා රත්මලාන සහ තංගල්ලේ ද, මහරගම අපේක්‍ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් වෙනුවෙන් එම රෝහලේ ද, විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇත.

විභාගය පැවැත්වෙන කාලසීමාවේදී අවශ්‍ය ප්‍රවාහන පහසකම් සැපයීම සඳහා ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය , දුම්රිය දෙපාර්තමේන්තුව ,පෞද්ගලික මගී ප්‍රවාහන සංගම් , ශ්‍රි ලංකා ප්‍රවාහන කොමිෂන් සභාව විභාග දෙපාර්තමේන්තුව සමඟ එක්ව කටයුතු කරනු ලැබේ.