උසස් පෙළ නියමිත දිනම පවත්වන්න

0

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දැනට නියම කර ඇති දිනවල නියමිත පරිදි පවත්වන්නැයි අධ්‍යාපන විශේෂඥයෝ රජයෙන් ඉල්ලා සිටිති.

කොවිඩ් – 19 වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් විභාග කල් දැමීමට සිදු වීම නිසා විවිධ විභාගවලට මුහුණ දුන් සිසු සිසුවියන් දැඩි දුෂ්කරතාවන්ට පත් වූ බව පවසන ඔවුහු මේ වන විට සමාජය ආර්ථික අතින්ද යහපත් තත්ත්වයකට ගොඩනැඟෙන බව කියති. මෙවැනි යහපත් කාල වකවානුවක් තුළ අ.පො.ස. උසස් පෙළ විභාගය කල් දැමීමේ කිසිදු ප්‍රයෝජනයක් නැති බව පවසන එම විශේෂඥවරු පෙන්වා දෙන්නේ මේ වන විට මෙම විභාගයට සිසු දරුවන්ද සූදානමින් සිටින බවයි.

යම් හෙයකින් උසස් පෙළ විභාගය කල් දැමුවහොත් විභාග ප්‍රශ්න පත්‍ර බැලීම, අ.පො.ස. සාමාන්‍ය පෙළ පැවැත්වීම ඇතුළු අනෙකුත් විභාග සියල්ලක්ම නැවත අවුල්සහගත තත්ත්වයකට පත් වන බව ද ඔවුහු කියති.

උසස් පෙළ විභාගය තරග විභාගයක් වන බැවින් කිසිදු සිසුවකුට ඉන් අසාධාරණයක් නොවන බව පෙන්වා දෙන ඔවුහු කොරෝනාවලින් පසුව විභාග පටිපාටිය යථා තත්ත්වයට පත්ව ඇති මේ මොහොතේ උසස් පෙළ කල් දැමීම කිසිසේත් සිදු නොකළ යුත්තක් බව ද අවධාරණය කරති.

විභාගය කල් දැමීමෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට පමණක් නොව ඉන් මතු සා.පෙළ, උ.පෙළ විභාගවලට පෙනී සිටින අනෙකුත් සිසුන්ට දැඩි අසීරුතාවන්ට මුහුණ දෙන්නට සිදු වනු ඇති බව පවසන අධ්‍යාපන විශේෂඥයෝ, මේ නිසා මෙවර උසස් පෙළ විභාගය කිසි ලෙසකින් කල් දැමිය යුතු නැති බව ද රජයට අවධාරණය කර සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *