ආබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව පනත් කෙටුම්පතක්

0

ආබාධිත සහිත ප්‍රජාව සවිබල ගැන්වීම තුළින් රටේ නිෂ්පාදන ආර්ථිකය නඟාසිටුවීමට ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමේ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසීය.

මෙයට සමගාමීව රටේ සමස්ත ආබාධිත සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් වූ නව පනත් කෙටුම්පතක් මෙම වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුප පස්කුවල් මහතා මෙසේද පැවසීය.

මේ රටේ ජනගහණයෙන් 4%ක් පමණ වන ආබාධිත ප්‍රජාව වෙනුවෙන් මූල්‍ය ආධාර වගේම අනෙකුත් පහසුකම් ලබාදීමට ද රජය පියවර ගෙන තිබෙනවා. එමෙන්ම ඔවුන්ව නව තාක්ෂණයෙන් සවිබල ගැන්වීමට ද පියවර ගත යුතුයි. එමඟින් රටේ නිෂ්පාදන ආර්ථිකයට ඔවුන්ව දායක කර ගැනීමට හැකියාව තිබෙනවා.

ඒ වගේම ආබාධිත සහිත ප්‍රජාව ශක්තිමත් කිරීමට රජට විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව ආබාධිත සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ නව කෙටුම්පත මෙම වසර අවසන් වීමට පෙර පාර්ලිමේන්තුවෙදී සම්මත කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. ඔවුන් සැමදා රජයෙන් යැපෙන පිරිසක් බවට පත් නොවිය යුතුයි. එම නිසා ඔවුන් සමාජමය වශයෙන් සවිබල ගැන්වීමට අවශ්‍ය පියවර රජය විසින් ගනු ලබනවා.

ආබාධිත සහිත සියලු ප්‍රජාවට අධ්‍යාපනය මෙන්ම තාක්ෂණික දැනුම ලබාදීම අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය සහ නව පාසල් පහසුකම් ලබාදීමටත් කටයුතු කළ යුතුයි. ආබාධිත කියා සමාජයෙන් වෙන් නොකර අනිකුත් ළමුන් සමඟ සම්බන්ධ කරගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

සංඥා භාෂා පනත ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා භාෂාවක් බව කිවයුතුයි. එම නිසා සංඥා භාෂාව ඕනෑම කෙනෙකුට හඳුනාගත හැකි ආකාරයට මෙන්ම, අදහස් හුවමාරු කර ගැනීමේ සම්බන්ධතා ඇති කිරීමට ආබාධිත මහලේකම් කාර්යාලය හරහා සංඥා භාෂා පනත් කෙටුම්පත ද මෙම වසර අවසන් වීමට පෙර සංශෝධනය කිරීමට කටයුතු කරනවා.

ඒ වගේම මෙම වසර අවසානයේදී දෙස් විදෙස් ආබාධිත ප්‍රජාව ඒකරාශී කරගෙන ජාත්‍යන්තර මට්ටමේ සංචාරක වැඩසටහනක් පැවැත්වීමටත් සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

මෙම වැඩසටහන යටතේ විශේෂ දුම්රියකින් කොළඹ සිට නුවර සංචාරක ස්ථාන නැරඹීමට ඔවුන් සහභාගි කරවීමට නියමිතයි. විශේෂ සංස්කෘතික වැඩසටහනක් සහා එක්දින වැඩමුළුවක් අලුත්ගම වෙරළ කලාපයේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂයෙන්ම ආබාධිත ප්‍රජාව සවිබල ගැන්වීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභවලට අමතරව ඔවුන්ට ලබාදෙන අනිකුත් දීමනා වැඩි කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

ආබාධිත සහිත පුද්ගලයන්ට අධ්‍යාපන ආධාර යටතේ මෙතෙක් ලබාදුන් රුපියල් දසදහසේ දීමනාව මෙම වසරේ සිට විසිදහසක් දක්වා වැඩි කර තිබෙනවා. රැකියා ආධාර වශයෙන් ලබාදුන් රුපියල් විසිපන්දහසේ දීමනාව රුපියල් හතළිස් පන්දහස දක්වා වැඩි කිරීමට පියවර ගනු ලැබුවා.

නිවාස දීමනාව වශයෙන් ලබාදුන් රුපියල් එක්ලක්ෂ පනස්දහසේ දීමනාව රුපියල් දෙලක්ෂ පනස්දහස දක්වා වැඩි කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ලබාදෙන සුබසාධන මෙන්ම ප්‍රතිලාභ වැඩි කිරීමට අමාත්‍යාංශය මෙලෙස කටයුතු කර තිබෙනවා.

ආබාධිත ප්‍රජාව නිවෙස්වලට සීමා විය යුතු නැහැ. ඔවුන්ට ද සමාන්‍ය සමාජය තුළ ගැවසීමට අවශ්‍ය වටපිටාව සකස් කර දිය යුතුයි. ඔවුන්ට රැකියා අවස්ථා ලබාදිය යුතුයි. රාජ්‍ය සේවයට හා පෞද්ගලික සේවයට ඔවුන්ගේ දායකත්වය ලබාගත යුතුයි.

රටේ ආර්ථිකය නඟාසිටුවීමේ වැඩපිළිවෙළට ද ආබාධිත ප්‍රජාවගේ දායකත්වය අවශ්‍යයි. රටේ නිෂ්පාදන ආර්ථිකයට ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමේ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද අප අපේක්ෂා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *