ඉන්දියන් සාගරයේ සහ දකුණු පැසිෆික් සාගරයේ දූපත් රාජ්‍යයන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි

0

ඉන්දු-පැසිෆික් කලාපයේ මහා බල එදිරිවාදිකම් මධ්‍යයේ වූවද ඉන්දියන් සාගරයේ සහ දකුණු පැසිෆික් සාගරයේ දූපත් රාජ්‍යයන්ගේ ස්වාධීනත්වය, ඒවායේ අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත් නොවීම සහ ඔවුන්ගේ අනන්‍ය ප්‍රමුඛතා ආරක්ෂා කිරීම වෙනුවෙන් කලාපයේ සියලුම රටවල් කැපවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව ඊයේ (18) නිව්යෝර්ක් නුවර පැවති සමුද්‍රීය ජාතීන් සඳහා වන 3 වන ඉන්දු – පැසිෆික් දූපත් රාජ්‍යයන් අතර සංවාදයට එක්වෙමිනි.
කාර්නෙගී එන්ඩොව්මන්ට් (Carnegie Endowment) සහ සසකවා පදනම විසින් සංවිධානය කර තිබු මෙම සංවාදයේ ප්‍රධාන දේශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කළ අතර, ජාත්‍යන්තර සාමය සඳහා වන කාර්නෙගී එන්ඩොව්මන්ට් හි ප්‍රතිපත්ති පර්යේෂණ පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩෑන් බෙයර් (Dan Baer) විසින් මෙහෙයවන ලදී.

ප්‍රධාන ලෝක බලවතුන් අතර එදිරිවාදිකම්වලට මැදිහත්වීමට ඉන්දියන් සාගරයේ සහ දකුණු පැසිෆික් කලාපයේ දූපත් රාජ්‍යයන් කැමැත්තක් නොදක්වන අතර මෙම රටවල් සිය සමාජ, ආර්ථික සහ පාරිසරික සංවර්ධනය ඇතුළු ඔවුන්ගේ ප්‍රමුඛතා කෙරෙහි අවධානය යොමු කරමින් තම රටවල ස්වෛරීත්වය සහ ස්වාධීනත්වය පවත්වා ගැනීමට උත්සාහ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

තවද ශ්‍රී ලංකා රජය ඉන්දියාව හෝ චීනය සමඟ සන්ධානගත නොවන බවත් අන් සියල්ලටම වඩා ශ්‍රී ලංකාවේ අවශ්‍යතා වෙනුවෙන් දැඩිව පෙනී සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

එසේම කලාපයේ අනෙක් රටවල් ද සිය රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය සඳහා කැපවී සිටින බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාවෙන් සමන්විත ක්වොඩ් (Quad) රටවල් හා චීනයේ අරමුණුවලට සම්බන්ධ නොවන ඉන්දියන් සාගරයේ සහ දකුණු පැසිෆික් කලාපයේ දූපත් ජාතීන්ට තමන්ටම ආවේණික වූ ප්‍රමුඛතා පවතින බවත් ඊට ගරු කිරීමට කැමති ඕනෑම හවුල්කරුවෙකු සමඟ සහයෝගීතාවය ගොඩනඟා ගැනීමට ශ්‍රී ලංකාව ද කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
චීනයේ නැඟී සිටීම APEC සහ ASEAN වැනි පවත්නා කලාපීය රාමු තුළ සිදු වූ බවත්, බොහෝ රාජ්‍යයන් එය පිළිගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

මෑත කාලීනව මෙම රාමුවලින් ඔබ්බට මහා බල එදිරිවාදිකම් ව්‍යාප්ත වීම නිසා සාමාජික රටවල් අතර කනස්සල්ලක් මතුව තිබෙන බව ද පෙන්වා දුන්නේය.

දකුණු පැසිෆික් සාගරයට සහ ඉන්දියන් සාගරයට විශාල උපායමාර්ගික වටිනාකමක් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දකුණු පැසිෆික් කලාපය එක්සත් ජනපද නාවික හමුදාවට අත්‍යවශ්‍ය කේන්ද්‍රස්ථානයක් වූ අතර දෙවන ලෝක යුද්ධ සමයේදී ඉන්දියානු සාගරය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ බව ද පැවසීය.

“කොරල් මුහුදේ සහ මිඩ්වේ සටනේදී මෙන්ම දෙවන ලෝක යුද්ධයේදී ද එක්සත් ජනපදය සිය ආධිපත්‍යය ස්ථාපිත කළේ සහ අද්මිරාල් යමමොටෝගේ ගුවන් යානයට වෙඩි තබා බිම හෙළුවේ හවායි ඇතුළු මෙම දකුණු පැසිෆික් කලාපය තුළ බව ජනාධිපතිවරයා සිහිපත් කළේය.

ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ වැදගත්කම පැහැදිලි කිරීම සඳහා මෙහිදී ‘වින්ස්ටන් චර්චිල්ගේ‘ ප්‍රකාශයක් උපුටා දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ ‘ශ්‍රී ලංකාව අත්පත් කර ගැනීම යනු ඉන්දියන් සාගරයේ බලය අහිමිවීමක් වන බවයි‘ .

ඉන්දු පැසිෆික් කලාපයේ වැදගත්කම ඉස්මතු වන්නේ විශේෂයෙන්ම චීනයෙන් එල්ලවන අභියෝග හමුවේ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මෙය කලාපීය ගතිකත්වයන් සහ සහයෝගීතාව නැවත ඇගයීමකට ලක් කිරීමට පොළඹවා ඇති බවද සඳහන් කළේය.

යුරෝපීය බලවතුන් සහ නේටෝව සම්බන්ධ කර ගැනීමට G7 කණ්ඩායම විසින් දරන උත්සාහයට විරෝධතාවයක් මතු වූ අතර ඊට සහාය දක්වා සිටියේ ප්‍රංශය පමණක් බවත්, එකී සිදුවීම ඉන්දියානු සාගර රිම් සංගමය (IORA) හි නීති උල්ලංඝණය කිරීමක් ලෙස සලකන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඉන්දියන් සාගරයේ මතුපිට යුද තර්ජන අවම වන අයුරින් සබ්මැරීන් යුද තර්ජන පිළිබඳ ගැටලු ඉන්දියානු සාගර රිම් සංගමය (IORA) තුළ විසඳිය යුතු බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

දූපත් රාජ්‍යයන්ට ආරක්‍ෂක සංවාද පිළිගත හැකි නමුත් ඒ හරහා එම රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම සුදුසු නොවන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ දූපත් රාජ්‍යයන් ඉන්දු පැසිෆික් කලාපය සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ සාකච්ඡාවල නිරත වී නොමැති බව සඳහන් කළ ජනාධිපතිවරයා එක්සත් ජනපදය මාලදිවයිනේ තානාපති කාර්යාලයක් විවෘත කිරීම වැනි මෑතකාලීන වර්ධනයන් පවතින බව ද සඳහන් කළේ ය.

ආසියාන් සංවිධානයේ බලපෑම, රුසියානු-යුක්‍රේන යුද්ධය සහ BRICS+ බිහිවීම වැනි බලපෑම් මත ඉන්දියන් සාගරයේ බල තුලනයක් ඇති වෙමින් පවතින බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙම වෙනස් වන භූ දර්ශනය දූපත් රාජ්‍යයන්ගේ ස්වාධීනත්වය පවත්වාගැනීමට සහය වන අතර ඉන්දියානු සාගර රිම් සංගමය (IORA), ආසියාන් (ASEAN) සහ BRICS+ යන සංවිධාන අතර ශක්තිමත් සහයෝගීතාවක් පවත්වාගත යුතු බව ද අවධාරණය කළේය.

මෙහිදී හම්බන්තොට වරාය සම්බන්ධයෙන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ හම්බන්තොට වාණිජ වරාය, චීන හමුදා කඳවුරක් ලෙස හංවඩු ගැසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කනස්සල්ල පළ කරන බවයි. ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ සහයෝගයෙන් ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කරමින් සිටින අතර ජාත්‍යන්තර සංසදවලදී මෙම කාරණය මතු කිරීමට අදහස් කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

ඉන්දියානු සහ පැසිෆික් සාගරවල අන්තර් සම්බන්ධතාව හඳුනා ගනිමින් කලාප දෙකෙහිම කුඩා දූපත් රාජ්‍යයන් අතර සක්‍රීය සහයෝගීතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ‘ඉන්දු-පැසිෆික්‘ සංකල්පයට ඉන්දියානු සාගර රිම් සංගමය (IORA) හි අවශ්‍යතාවය දැඩිව පවතින බව ද පෙන්වා දුන්නේය.

ඉන්දු-පැසිෆික් කලාපයේ මහා බල එදිරිවාදිකම් මධ්‍යයේ වූව ද ඉන්දියන් සාගරයේ සහ දකුණු පැසිෆික් සාගරයේ දූපත් රාජ්‍යයන්ගේ ස්වාධීනත්වය, ඔවුන්ගේ අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත් නොවීම සහ ඔවුන්ගේ අද්විතීය ප්‍රමුඛතා ආරක්ෂා කිරීම වෙනුවෙන් කලාපයේ සියලුම රටවල් කැපවිය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *