ආන්සර් කරන්නම ඕන කෝල් එකක්

0

කූඹියෝ ටෙලි නාට්‍යය අවසන් වූයේ “සර්, ඕක අන්ස්ර් කරන්නම ඕන කෝල් එකක්…” කියන ජෙහාන් නැමැති චරිතය විසින් පවසන දෙබසකිනි. නාට්‍යය තුළ විස්තර වූ දෙයට වඩා බරපතල දෙයක් ඒ තුළ ඇති බව තේරුම් ගන්න ඒ වදන් පෙළ ප්‍රමාණවත් විය. නගරයට සංක්‍රමණය වූ ග්‍රාමීය තරුණයන් කිහිප දෙනෙකු නාගරිකව පවතින පාදඩ සමාජ ක්‍රමය තුළ ගහන ගේමක් මේ නාට්‍ය තුළ විකාශය විය. අවරගනයේ බල ගේමකට මැදි වූ මේ පිරිස අවසානයේදි වාමාංශික දේශපාලන ධාරාව පාවිච්චි කර දක්ෂිණාංශික දේශපාලන ජයග්‍රහණයක් වෙත මේ ගේම් එක කැඳවාගෙන ගියේය. නමුත් එය අවසන් වූයේ නැත.
ගාළු මුවදොර අරගල තුළත් දකින්නට ලැබුණු කතාව ද මෙයමය. අනුරාධපුරයෙන්, පොළොන්නරුවෙන්, ගාල්ලෙන්, මාතරින්, හම්බන්තොටින්, පුත්තලමෙන්, කුරුණෑගලින්, බදුල්ලෙන්, නුවරින් ආදී වශයෙන් ග්‍රාමීය තරුණයෝ මේ අරගලයේ පෙරමුණ ගෙන සිටියහ. මේ තුළ මල්දෙණියලා, ජෙහාන්ලා මෙන්ම ප්‍රියන්ත මහඋල්පතගමලා ද රැසක් සිටියහ.

විමල් වීරවංශලා මේ අරගලයේ ජෙහාන්ලා සොයාගෙන මුහුදෙන් එතෙරට ගිය ද සෙල්ලමේ මහ මොලකරුවා හමු නොවීය. ගාලු‍ මුවදොර සිදුවූයේ කුමක්ද යන්න වීරවංශලාට තවමත් තේරුම් ගන්න නොහැකිව ඇත්තේ ඒ නිසාය.

එහෙත් මේ ගාලු මුවදොරට කේන්ද්‍ර වූ බල සෙල්ලම දිහා එක පුද්ගලයකු සියල්ලට ඉහළින් සියල්ල දකිමින් සිටියේය. ඒ රනිල්ය. ජනාධිපති – අගමැති මන්දිර, කාර්යාල අල්ලා ගනිමින් පාර්ලිමේන්තුව දක්වා අරගලය දියත් වන විටත්, තමන්ගේ නිවස එදා, ජුලි 09 වනදා ගිනි තබන විටත් ඔහු ඉවසිල්ලෙන් ඒ දෙස බලා සිටින්නට තරම් පරිණත විය. සූක්ෂම විය. ධෛර්ය සම්පන්න විය. මේ අවර ගනයේ ත්‍රාඩ බල සෙල්ලමේ ඉත්තෝ එහාට මෙහාට ඇදෙන හැටි ඔහු බලා සිටියේ, කතාවේ අවසානයේ තමන්ගේ කෝල් එකට කාටත් අන්ස්වර් කරන්න සිදුවන බව දැනගෙනය.

දැන් ගෝල්ෆේස් සෙල්ලමේ සිටි මල්දෙණියලා ද, ජෙහාන්ලා ද, සුසන්තලා ද, පායනා කාලේදී රැස් කර ගත් දේ සමඟ ගුහා ගතව සිටී. ඔවුන් බලා සිටින්නේ තවත් පායනා කාලයක් එන තෙක්ය. කුඹියෝ හී වූ අවර ගණයේ බල සෙල්ලමට එහා යමින් රනිල් කළ සෙල්ලම වෙනස්ය. එය හුදු පාර්ශ්වික දේශපාලන බල සෙල්ලමක් නොවී රට වෙනුවෙන් සෙල්ලම් කරන තැනට මාරු වී තිබිණි. ඔහු එය ජයග්‍රහණය කරමින් තිබේ. ලෝකය මවිත කරමින් රට පෙරට ගෙනවිත් තිබේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන්ය. බැංකු වැටුණේ නැත. බැංකුවල කොටස් මිල ඉහළ නඟිමින් ඇත. ජන ජීවිතය ද සාමාන්‍යකරණය වී ඇත. යළි
“පායනා කාලයක්” උදාවීමට ඉඩ නොදෙන බවට ඔහු සහතික වී ඇත.

කාගේ කාගේ වුව කෝල්වලට දෙස් විදෙස් බලවතුන් සියල්ල ආන්ස්වර් කළා නොකළා වුව, දැන් රනිල්ගේ කෝල් එකට ආන්ස්වර් කරන්න ලෝකයේ කොයි ජගතාටත්’සිදුව’තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *