නොනගතේ අගමැති

සිංහල – දෙමළ අලු‍ත් අවුරුද්ද සමරන කොට සාම්ප්‍රදායික විශ්වාසය ඇතුළේ නොනගත කාලය සම්බන්ධව බොහොම සැළකිලිමත්. සූර්යයා මීන රාශියේ අවසාන අංශකය පහුකරලා මේෂ රාශියේ මුල් අංශකයට සම්පූර්ණයෙන්ම ඇතුළුවීමට පැය 12යි විනාඩි 48ක් ගත වෙනවා. ඒ කාල අන්තරය නිසා, ගියෙත් නැති + නොගියෙත් නැති + කාලසීමාව “නොනගතය” එහෙමත් නැත්නම් උදාසීන කාලය කියලා හඳුන්වනවා. චිරාගත සම්ප්‍රදාය තමයි මේ කාලය තුළ සියලු‍ ව්‍යාපාර, වැඩ කටයුතු නවතා ආගමික වතාවත්වල හා සාම්ප්‍රදායික ක්‍රීඩාවල යෙදීම.

සුබ කටයුත්තක් නම් කොහෙත්ම කරන්නේ නෑ. ඒ මේ කාලය තුළ එහෙම වැඩක් කළොත් මස්ත බාල්දුයි, ආය දෙකක් නෑ වස්තිම තමයි කියන විශ්වාසය නිසා.

වැඩේ කියන්නේ සජිත් අගමැති කරන්න යනවා කියන කතාවත් හිට් වෙලා එළියට ආවේ නොනගතයේ වීම. හැබැයි නොනගතේ කියලා නෑ නිව්ස් එක ලෙසටම වෛරල් වුණා. නිව්ස් එකේ සෝර්ස් එක දාලා තිබුණේ සජබ මන්ත්‍රී මනෝ ගනේෂන් ජනාධිපති එක්ක කරපු සාකච්ඡාවකදී ආව යෝජනාවක් කියලා.

දේශපාලන කරළියම මේ නිව්ස් එක නිසා පත්තු වුණා. කොහොම පත්‍තු වුණාද කිව්වොත් අන්තිමට මනෝ ගනේෂන් මන්ත්‍රීවරයට සිද්ධිය ගැන කරුණු පැහැදිලි කරලා නිවේදනයක් පවා දාන්න වුණා. ඒ නිවේදනය හරහා නම් මනෝ කිව්වේ, එජාප – සජබ එක්කරන්න ජනාධිපති වික්‍රමසිංහ එක්ක කතා කළාට අගමැතිකමක් ගැන කතා කළේ නෑ කියලයි. ඒ නිවේදනයේ මනෝ මෙහෙමත් සඳහන් කරනවා.

“එක්සත් ජාතික පක්ෂයත්, සමගි ජන බලවේගයත් එක සන්ධානයකට ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මා සාකච්ඡා පැවැත්වූ බව ඇත්ත. නමුත් මේ සාකච්ඡාවේ කිසිදු අවස්ථාවක අගමැති තනතුර පිළිබදව කතා කළේ නැහැ. ඒ ගැන අදහස් ඉදිරිපත් කිරීමට ඉක්මන් වැඩිය යන අවබෝධය මා තුළ තිබුණා. කෙසේ වෙතත් මේ සන්ධාන ගතවීම පිළිබඳ, විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වයෙන් කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඒ නිසා එම සාකච්ඡාව ඉදිරියට ගෙනයෑම මා විසින් අත්හිටුවා දැම්මා.

එසේ තිබිය දී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අගමැති තනතුර ලබාදීමට සූදානම් බවට මා හරහා පණිවිඩයක් ලබා දී ඇතැයි පවසමින් ඇතැම් මාධ්‍යයන් විසින් ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යක්.

ඒ වගේම මම පණිවිඩකරුවන් නොවෙමි. සද්භාවයෙන් මතවාදීව යම් සාකච්ඡාවක දී මැදිහත්කරුවකු ලෙස ඉදිරිපත්වීමට හැකියාවක් ඇතත් පණිවිඩකරුවාගේ භූමිකාව මා විසින් නොකරන බවත් ප්‍රකාශ කර සිටීමට කැමැත්තෙමි”
මනෝ ඔය විදිහට නිවේදනයක් දානකොට, අගමැති යෝජනාව ගැන නිව්ස් එක දැකලා නොදැක්කා වගේ හිටපු සජිතුත් එක පාරට ෆයර් වෙලා තිබුණා. ඒ නම් සජිත්ගේ ජ්‍යෝතිෂ්‍ය වැඩ කරන නඩේ දුන්න උපදෙසක් නිසා. ජ්‍යෝතිෂ්‍ය කස්ටිය කියලා තියෙන්නේ අගමැති ධූරයක් ගැන නොනගතේ වෙලාවේ නිවුස් එකක් යන එක පට්ට අසුබයි කියලා. ඒ පාර මොකද තමන් අගමැති ධූරයක් බාර නොගන්නා බවත් ඒ පුවතට රැවටෙන්න එපා කියලත් සජිත් නිවේදන පිට නිවේදන ගහන්න තිබුණා.

මොනවා වුණත් මනෝගේ මැදිහත්වීම ගැන සතුටු සිතින් සුබ පතපු සජබ මන්ත්‍රීවරුන් සජිත්ගේ නිවේදන නිසා ආයෙත් හිත පාරගත්තා. ඒ සමහරු තැන් තැන්වල සෙට් වෙලා දාපු චැට්වලදී කියවුණේ සජිත් නම් සක්විති රජකම දෙනවා කිව්වත් විපක්ෂ නායක ධූරය නම් අතාරින්න ලෑස්ති නැති හාදයෙක් කියලා.

කොහොම නමුත් මේ නිවේදන මැද දේශපාලනය ගැන උනන්දු කොයි කවුරුත් ළඟ එක ප්‍රශ්නයක් ඉතුරු වුණා. ඒ තමයි “මනෝත් නෙවෙයි නම්, ජනාධිපතිත් එහෙම යෝජනාවක් ගෙනත් නැත්නම්, කවුද සජිත්ට අගමැතිකම දෙනවා කිව්වේ?”‍ කියලා. ගොඩක් අය සැක කළේ “අගමැති සජිත්”‍ නිවුස් එක සජිත්ගේම ළදරු මාධ්‍ය බලකායේ වැඩක් වෙන්න පුළුවන් කියලයි. එහෙම හිතන්නත් සාධාරණ හේතු තිබුණා.
අවුරුද්දට කලින් සජබ මන්ත්‍රී රාජිත විපක්ෂ නායක කාර්යාලයේ ඉඳලා රටටම ඇහෙන්න කිව්වේ, රට ගොඩ දැම්මේ ජනාධිපති රනිල් බව නොකියන්න තරම් කුහක වෙන්න නරකයි කියලා. ඒ විතරක් නෙවෙයි, මේ මොහොතේ රට ගොඩනගන වැඩපිළිවෙළට සහය දෙන්න දේශපාලන තීන්දුවක් ගත යුතුව තියෙන බවත් රාජිත කිව්වා. විපක්ෂ නායක කාර්යාලයේම ඉඳලා රාජිත කරපු මේ ප්‍රකාශය, කරඬුව ඔලු‍වේ තියලා සජිත්ගේ කලිසම ගැලෙව්වා වගේ කතාවක්. ඒ ප්‍රකාශය ගැන විනය ක්‍රියාමාර්ග ගන්න කියලා සජිත්වාදීන් කොච්චර බලපෑම් කළත් වැඩක් වෙලා තිබුණෙත් නෑ. ඒ වගේම රාජිත සජබ විනය කමිටුව ඉස්සරහා ඇවිත් දනින් වැටුණා කියලා සජබ ළදරු මාධ්‍ය බලකා නිව්ස් ප්ලාන්ට් කළත්, සිද්ධ වුණේ හිතුවේවත් නැති දෙයක්. ඒ රාජිත ඒ නිව්ස් එක ප්ලාන්ට් කරපු මාධ්‍යවලට ප්‍රසිද්ධියේ දෙසපු දෙසිල්ල නිසා. සජබ මාධ්‍ය කරපු දේ ගැන කුඩු වෙන්න ගහලා රාජිත එයාගේ ෆේස්බුක් එකේ සැර සටහනක් දාලා තිබුණා. ඒ අස්සේ සජබෙන් 10ක් ආණ්ඩුවට, 20ක් ආණ්ඩුවට කියලත් නිව්ස් වෛරල් වුණා. මනෝ ගනේෂන් විතරක් නෙවෙයි, රවුෆ් හකීම් පවා ජනාධිපති හමුවෙලා එජාබ සජබ එකට යන ගමනක් ගැන සාකච්ඡා කළා කියලා නිවුස් ගියා. හැම අතින්ම පේන්න තිබුණේ සජබ අභ්‍යන්තරය ඇවිලු‍ණු ගතියක්. සජිත්ට පක්ෂය කොන්ට්‍රෝල් නැති තත්වයක්. අන්න ඒ නිසා, ජනාධිපති රනිල් සහ පොදුජණ පෙරමුණ අතර ගැටුමක් හදලා, සජබ හෙළුව වහගන්න උපක්‍රමයක් විදිහට “‍අගමැති සජිත්”‍ නිව්ස් එක සජිත් පාර්ශ්වයේම ප්ලාන්ට් එකක් කියලයි දේශපාලන නාඩි ගැන අවබෝධයක් ඇති උදවිය කියන්නේ. කොහොමටත් සජිත් අගමැති නිව්ස් එකත් එක්ක පොහොට්ටු පක්ෂයේ සමහරුත් හැසිරුණු විදිහ නිසා නම් හිතන්න වෙන්නෙම දේශපාලන නාඩිකාරයන් හරියටම නාඩිය අල්ලලා කියලයි.

ඒ නිසා ඔය සජිත්ගේ නිවේදනවල තියෙන විදිහට ගොබෙල්ස් තියරිවලින් සජබ අවුල් කරන්න දෙයක් ආණ්ඩුවට නෑ. කොහොමටත් සජිත් මේ වෙනකොට සේරම අවුල් කරගෙන තියෙන්නේ. කොටින්ම කියනවා නම්, සජිත්ගෙන්
හැර දේශපාලන ගමනක් නැතුව ඒ නිසාම සජිත්ගේ දේශපාලනයේ මාර ආරක්ෂකයන් විදිහට රඟපාන කිහිපදෙනාව පවා අවුල් කරගෙන තියෙන්නේ.

කොටින්ම සජිත්ගේ විශ්වාසවන්තම ගෝලයන් වෙච්ච තිස්ස වගේම ඉමිතියාස් පවා අවුලෙන් ඉන්නේ. මොකද තිස්සව “ජනපවුරෙන්” අයින් කරලා… බෞද්ධ කටයුතුත් අලු‍තෙන් ගත්තු ධනවර්ධන ගුරුගේට පවරලා. ධනවර්ධනට තනතුරු එකක් දෙකක් නෙමෙයි 5ක් දීලා. තිස්සගේ තවත් වගකීම් කීපයක් පල්ලෙවත්තට බාරදීලා. ඒ අස්සේ පළාත් පාලන ඡන්දයට ඉමිතියාස් දාපු බේරුවල සෙට් එකම ලිස්ට් එකෙන් කපලා, හලලා. දැන් ඉමිතියාස්ට ඒ මිනිස්සුන්ට මුහුණදෙන්නත් බැරුව ඉන්නවයි කියන්නේ.

ඒ අස්සේ මයන්තට තරුණ කටයුතු පවරලා. ඒ ගැන අහලා හේෂා පාට් එක දානකොට “විහිදුනු බලකාය” කියලා තරුණ කටයුතු වැඩක් අටවලා ඒකට හේශාව පටලලා. දැන් දෙකම හබක් කියලා කියන්නෙත් සජබ උදවියම තමයි.

ඒ විතරක් නෙමෙයි තලතලා, රෝහිණීලා සේරම පැත්තකටම දාලා ඊ ස්ත්‍රී (ැ-ස්මාර්ට්) කියල කොළඹ මොඩන් කාන්තාවෝ එකතු කරන්න, ආර්යාව පටන් අරන් තියන අලු‍ත් වැඩේ ගැනත් සජබ කස්ටිය කියන්නේ හිනා වෙවී. වැඩේ කියන්නේ ඔය සේරම කරලා තියන්නේ අඩුම ගානේ ඇහිල්ලක් බැලිල්ලක්වත් නැතුව. සේරම තීන්දු තීරණ ගන්නේ ආර්යාව, ලකී ඇතුළු බිස්නස් යාළුවන් කිහිපදෙනෙක්ගේ ඕන එපාකමට කියලා කියන්නෙත් සජබ උදවියමයි.

ඒ මදිවට සජබ සන්ධානයේ නායකයන්ට කැරට් කවන්න ගිහිල්ලත් සජිත් මාට්ටු වෙලා ඉන්නේ. එකම කැරට් ලෝඩ් එක හැම කඩේටම බාන්න ගිහින් සෙදි ඉල්ලේ කියලයි කියන්නේ. විශේෂයෙන්ම සජබ නියෝජනය කරන දෙමළ – මුස්ලිම් පක්ෂ නායක සයිස් උදවිය කියන විදිහට “‍වෙන්ඩ ජනාධිපති”‍ සීන් එකේ හිටපු සජිත් පහුගිය ටිකේ හැසිරිලා තියෙන්නේ “‍වෙලා ජනාධිපති”‍ වගේලු‍. කාවවත් පයිසෙකට මායිම් කරන්නේ නැතිලු‍. ලොකු සීන් එකේ ඉන්න ගමන් තමයි කැරට් බිස්නස් එකත් කරගෙන ගිහින් තියෙන්නේ.

“ජනාධිපති සටනේදී මම ඔයාව තමයි මගේ දෙමළ නායකයා විදියට රට වටේ ගෙනියන්නේ” කියලා සජිත් මනෝට කියලා. පස්සේ ඒකම දිගම්බරන්ටත් කියලා. සජබ මන්ත්‍රී රාධා ක්‍රිෂ්ණන්ටත් ඒකම කියලා. ඒ අස්සේ හකීම් තමන්ගේ මුස්ලිම් නායකයා කියන ගමන් රිෂාඩ්ටත් ඒකම පොරොන්දු වෙලා. ආරංචි හැටියට ෆවුසිටත් කියලා ආණ්ඩුවට එහෙම යන්න එපා. ඔයා තමයි ජ්‍යේෂ්ඨ ඒ නිසා ඔයා තමයි මගේ ජනපති සටනේ මුස්ලිම් නායකයා කියලා. ඔය විදිහට අහුවෙන අහුවෙන කෙනාට මදි නොකියන්න කැරට් දීලා දැන් සේරම මාට්ටු වෙලා. ඒ නිසා දැන් සජිත් හිනා වුණත් කස්ටිය බලන්නේ සැකෙන්. මොනවා වුණත් ඔන්න දැන් වැඩේ මාට්ටුයි. කවුරුත් සජිත් දිහා බලන්නේ සැකෙන් ලු‍. “පොලිටීෂියන් කොහොම උනත්, ඔන්ඳ කැරට් මුදලාලි”‍ කියලා ඒ උදවියත් ඔය හම්බුණු තැන්වල.

ඔන්න ඒ අස්සේ සිරිකොතට ගල් ගහලා ආයේ ඒ පැත්ත බලන්නේ නෑ කිව්ව ශිරාල්ලා පවා සජිත්ට එළිපිට දෙන්න අරගෙන තියෙන්නේ. මීට කලින් සජිත් වෙනුවෙන් ගෙවුණු දශකයකට වැඩි කාලය අපරාදේ කියලා ටේස්බුක් එකේ ප්‍රසිද්ධියේ කියපු ශිරාල් මේ ළඟදී දාපු පෝස්ට් එකක මෙන්න මෙහෙම කියනවා.

“සජබයට, එජාපයෙන් වෙන්ව සිටීමට දේශපාලන තර්කයක් තියෙනවද? ප්‍රතිපත්තිය එකයි. වෙනසකට තියෙන්නෙ රනිල් ද හරි සජිත් ද හරි කියන සාධකය පමණයි! රනිල් වෙනුවට සජිත් කියලා කිව්වෙ අපි හැබැයි… දැන් අපි වෙනස්!”
පේනවා නේද වෙලා තියෙන දේ. ඒ නිසා සජිත්ට අලු‍තෙන් හදලා ගහන්න දෙයක් නෑ. සේරම අවුල් කරගෙන, නාමින් ඉන්න සජිත්ට ආය මොන අගමැතිකම්ද? සජිත් සජබ අවුල් කරගෙන ඉන්න තරමට ආයේ කාටවත් අලු‍තෙන් ඔෆර් දෙන්න දෙයක් නෑ. ඕන කරන්නේ අවශ්‍ය වෙලාවට අදාළ සිග්නල් එක දෙන්න විතරයි. ඒ නිසා අගමැති සජිත් කියලා, නොනගතේ අස්සේ නිව්ස් ප්ලාන්ට් කරගෙන කුල්ල කුජීත වුණාට පස්සේ මාගල් වගේ නිවේදන දාගෙන වැළලිලා තේරුමක් නෑ. හැබැයි අගමැතිකම බාරගන්න එන්න කියලා ඉල්ලීමක් එයි කියලා සජිත්ට හීන දකින්න පුළුවන්. ඒ හීනෙන් අපි සජිත්ව මුදවන්න යන්නේ නෑ.

ඒත් ලංකාවේ කාලයක් හොඳට හිට් වෙලා තිබුණ කෝපි කඩේ ටෙලියේ එක එපිසොයිඩ් එකක කොටසක් මතක් කරනවා. ඔන්න බණ්ඩයි, සුවඳයි, අප්පුවයි තුන්දෙනාම වෙන වෙනම ගිහින් කෝපි කඩේ මැණිකේගෙන් ගීත නගාව තමන්ට දෙන්න කියලා ඉල්ලනවා. බේරෙන්නම බැරි තැන මැණිකේ මේ තුන්දෙනාට දෙනවා තේරවිල්ලක්, හරියට තෝරගෙන ආවොත්, ඒ තෝරාගෙන එන කෙනා ගැන සළකලා බලන්නම් කියලා. ඒ තේරවිල්ල තමයි,

“‍එකට මොනවද? දෙකට මොනවද?”‍ කියලා

කුසල් ජයම්පති