ජලසම්පාදනයෙන් අධිසැර ක්ලෝරීන් ඇළට මුදාහැරලා

0

අංගොඩ, කැලණිමුල්ල සැළලිහිණි මාවත හරහා ගලා යන දෙපා ඇළ විවිධ මත්ස්‍ය වර්ග දහස් ගණනක් නිදැල්ලේ ජීවත් වන ජලාශයකි. මසුන්ට අමතරව ඉබ්බන්, දියකාවුන් වැනි සතුන්ද කොරවක්කන්, පිළිහුඩුවන්, කොක්කු, නිල් පැහැති කොක්කු, කබරගොයින් ආදී සත්තු ඇළ අවට විශාල වශයෙන් ජීවත් වෙති.

නමුත් පසුගිය සතියේ කවුරුන් විසින් හෝ සිදු කරන ලද ක්‍රියාවක් හේතුවෙන් අද මේ ඇළේ සහ ඇළ අවට කිසිදු සත්ත්වයකු දැක ගැනීමට නොහැකිව තිබේ. මසුන් ඇතුළු සියලුම සත්ත්ව විශේෂයන් මියගොස් ඇත.

පසුගිය සතියේ දිනයක කිසියම් විස ද්‍රව්‍යයක් මෙම ඇළට මුදාහැර තිබිණි. එම සිදුවීමෙන් පසු මසුන් සිහිසුන්ව මෙන් දිය මතුපිටට පැමිණෙමින් අසාමාන්‍ය හැසිරීමක් පෙන්නුම් කර තිබේ. දියෙහි සිටි ඉබ්බන් විශාල වශයෙන් ගොඩ බිම වෙත ඇදෙන්නට වූහ.

තවත් දිනයක් දෙකක් ගත වන විට ඇළේ සිටි සියලුම  මසුන් මියගියා මෙන්ම ඉබ්බන්ද මියගොස් තිබිණි. මසුන් ආහාරයට ගන්නා කොක්කු, පිළිහුඩුවන්, කොරවක්කන් පමණක් නොව කබරයන්ද තැන තැන වැටී මියගොස් තිබිණි.

ගම්මුන් එකතුව මේ පිළිබඳව සාකච්ඡා කොට වහාම අදාළ වගකිවයුතු අංශ වෙත සිද්ධිය සිදුවූ දිනයේම දැනුම් දී ඇත.

ඇළ ආසන්නයේම වෙසෙන තනූජා ඩයස් මහත්මිය ගමේ සමිති සමාගම්වල නායකත්වය උසුලන කාන්තාවක් මෙන්ම පරිසරවේදිනියකද වේ.

මේ සම්බන්ධයෙන් ඇය මෙසේ කීවාය.

“ජල සම්පාදනයට අයත් නළ මාර්ග, සොරොව්වත් ආදිය මේ ආසන්නයේ තියෙනවා. ජල නළ පිරිසුදු කිරීමේදී භාවිත කරන ලද අධිමාත්‍රාවකින් යුත් ක්ලෝරීන් මෙම ජලාශයට මුදාහැර ඇති බවටයි ආරංචි පැතිර යන්නේ.”

“පහත්බිම් එකට, ජල සම්පාදනේට, පොලිසියට, ප්‍රාදේශීය සභාවට, පරිසර අධිකාරියට, වනජීවී එකට, එම්. ඕ. එච්. එක ඇතුළු සියලුම අංශවලට මම පැමිණිලි කළා. මුල්ලේරියාව පොලිසියේ පැමිණිල්ලක් දැම්මා වගකිවයුතු අය ගෙන්නලා පරීක්‍ෂණ සිදු කරන්න කියලා.”

“ඒත් තවම ප්‍රතිඵලයක් නැහැ. මේ සිද්ධියෙන් පසු ගොඩට ආපු ඉබ්බන් පස් දෙනෙක්ට මම පශු වෛද්‍යවරයකු ගෙන්වා ප්‍රතිකාර ලබා දුන්නා. නමුත් හතර දෙනෙක්ම මියගියා. ඉතිරි ඉබ්බා වනජීවී එකෙන් අරගෙන ගියා.”

“නාරා එකෙන් ඇවිත් මම අරන් තියපු ජල සාම්පල බෝතලය අරගෙන ගියා. පරීක්‍ෂණයක් සිදු කිරීම සඳහා මාළුවකු අල්ලා ගැනීම සඳහා ඇළ පීරලා බැලුවත් හොයා ගන්න බැරිවුණා.”

“දහස් ගාණක් මාළු වර්ග හිටපු ඇළේ අද එක මාළුවෙක් නැහැ. ඇළේ වතුර බීලා ලෙඩ වෙලා හිටපු වඳුරකු වනජීවී එකෙන් අරන් ගියා.”

“අද වනවිට මේ ඇළේ හිටපු එකම ජීවියෙක්වත් නැහැ. කුරුල්ලො නැහැ. කබරයො, ඉබ්බො නැහැ. වඳුරු රංචුවක් හිටියා උනුත් නැහැ.”

“අපි කුණු බෑග් එකක් පරිසරයට මුදා හැරියොත් අල්ලාගෙන ගිහින් දඩ ගහනවා. හැබැයි මේ තරම් පරිසර විනාශයක්, සත්ත්ව සංහාරයක් සිදු කරපු ආයතනවලට නීතියක් නැද්ද කියලයි මම අහන්නේ.”

වැල්ලම්පිටිය – එස්. ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *