නෙල්ලිගල ‘ස්වේදගොං’ චෛත්‍ය අනුරුව විවෘත කිරීමේ උත්සවය හෙට..!

0

තායිලන්තයේ සංඝරාජ සොම්දත් යනසම්වරා මාහිමිපාණන් වහන්සේගේ 96 වැනි උපන් දිනය සමරමින් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේ රැගත්  98 දෙනකුගෙන් සමන්විත රාජකීය බෞද්ධ දූත පිරිසක් (13දා) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියහ.

තායිලන්තයේ බැංකොක් නුවර බෞද්ධ පිරිසකගේ දායකත්වයෙන් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකර ඇති  බුරුමයේ “ස්වේදගොං”  චෛත්‍යයේ අනුරූ චෛත්‍ය වන සියම් – ශ්‍රී  ලංකා වචිර සුවන්නපුම් චෛත්‍යය විවෘත කිරීමේ උත්සවය හෙට (15දා)  දිනට යෙදී ඇති අතර,  එම උත්සවයට සහභාගි වීමට මෙම බෞද්ධ දූත පිරිස පැමිණ තිබිණි.

ඊට අමතරව කූරගල රජමහ විහාරස්ථානයේ තැන්පත් කිරීම සඳහා බුදුන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ රැගෙන විත් තිබිණි. මෙම රාජකීය බෞද්ධ දූත පිරිස ඊයේ (13දා) උදෑසන 10.40ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියහ. 

මෙම ධාතුන් වහන්සේ රැගත් රාජකීය බෞද්ධ දූත පිරිස කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැඳවා විශේෂ පිළිගැනීමක් කළ අතර එසේ රැගෙන ආ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට කටුනායක ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලයට විශේෂ අවස්ථාවක් ද ලබා දී තිබිණි.

රාජකීය  බෞද්ධ දූත පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී  ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හම්පොල් (Poj Hampol) සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා ඇතුළු විශාල ගිහි – පැවිදි සම්භාවනීය පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

රාජකීය බෞද්ධ දූත පිරිස මෙම උත්සවවලින් පසුව අනුරාධපුරය,  මහනුවර ශ්‍රී   දළදා මාලිගාව, කැලණිය රජමහ විහාරස්ථානය ආදිය නැරඹීමට යෑමටද නියමිතය.

කටුනායක _ ටී.කේ.ජී. කපිල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *