උසස් අධ්‍යාපනයේ මීළඟ පිම්ම

0

මීට දශක කිහිපයකට පෙර ගත යුතුව තිබූ ප‍්‍රතිපත්තිමය තීරණ නොගැනීම නිසා අද වන විට ශ‍්‍රී ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට පත්ව ඇති අතර දේශපාලනික වශයෙන් ද අර්බුද රාශියකට මැදිව ඇත. මෙම තත්වයට ඇගිල්ල දික්වන්නේ නිදහසින් පසුව දශක හතක් රට පාලනය කළ දේශපාලන අධිකාරියට හා රාජ්‍ය නිලධාරීන්ටය. නමුත් පැවති රජයන් විසින් රටට යහපත් දෙයක් කිරීමට ගත් බොහෝ උත්සාහයන් ආපස්සට හරවමින් තමන්ගේ පටු දේශපාලන මතය පමණක් ජයග‍්‍රහණය කරවීමට වෙරදරණ ඊනියා දේශපාලන ව්‍යාපාරවල ක‍්‍රියාකාරකම් වැඩි වශයෙන් හේතු වූ බව අප තේරුම් ගත යුතුය.

කෙසේ වෙතත් ගෝලීය ආර්ථික, දේශපාලන හා සමාජ ප‍්‍රවණතාවයන්ට සාර්ථකව මුහුණ දෙමින් සංවර්ධන අරමුණු ජය ගැනීමට දැනට පවතින අණ පනත් වෙනස් කිරීමට හා අනාගතයට ගැලපෙන අණ පනත් සම්මත කරවා ගැනීමට කටයුතු කිරීම වැදගත්ය. මේ නිසාම ගෝලීය තත්වයන්ට මුහුණදීමට වැදගත් අණ පනත් 55ක් පමණ වත්මන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ බලයට පත්වීමත් සම`ග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගෙන ඇත. ඉන් සමහරක් ඉංග‍්‍රීසි පාලන සමයේ සිට පැවත එන හා කාලිනව සංශෝධනය වී නැති ඒවාය. තවත් සමහරක් නව අණ පනත්ය. එසේම තවත් එවැනි අණ පනත් 50ක් පමණ ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරන අතර ඒවා වත්මන් ගෝලීය තත්වයන් සම`ග රට බැඳ තැබීමට හේතු වනු ඇත.

එසේම, ශ‍්‍රී ලංකීය දරු පරපුරට අනාගත ලෝකය ජයගැනීමට අවශ්‍ය දැනුමින් සන්නද්ධ වීමට අවශ්‍ය පරිසරය රට තුළ ගොඩනැගීම හා සම්බන්ධ අණපනත් පිළිබඳව ආණ්ඩුව ප‍්‍රතිපත්තිමය තීරණ සකස් කරමින් සිටියි. ඒ අනුව ඉදිරිපත් විය යුතු වැදගත් පනතක් වන්නේ, ”ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාව” ස්ථාපිත කිරීම පිළිබඳ යෝජනාවය. මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට මේ වන විටත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර අවශ්‍ය කටයුතු කරමින් සිටින අතර එහි අතුරු වාර්තාවක්ද ප‍්‍රසිද්ධියට පත් කර ඇත.

ශ‍්‍රී ලාංකීය දු දරුවන්ට ගෝලීය තර`ගකාරීත්වයට මුහුණදීමට අවකාශ විවෘත කිරීම සඳහා උසස් අධ්‍යාපනයේ ප‍්‍රතිසංස්කරණ ඇති කිරීම සඳහා මෙවැනි කොමිෂන් සභාවක් පිහිටුවීමේ වැදගත්කම පිළිබද අප සාකච්ඡා කළ යුතුය.

වාර්ෂිකව අ.පො.ස. උසස් පෙළ සමත්ව උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලබන ශිෂ්‍ය ප‍්‍රජාවෙන්, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පාලනය වන රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට Z-Score පදනමින් ඇතුළත් කර ගන්නේ ආසන්න වශයෙන් 35,000ක පමණ ශිෂ්‍ය සංඛ්‍යාවකි. මෙයට අමතරව විවිධ අමාත්‍යංශ යටතේ ක‍්‍රියාත්මක වන රාජ්‍ය අංශයේ විශ්වවිද්‍යාල ආයතන 05 සඳහා Z-Score පදනමින් තොරව සිසුන් 3,000ක් පමණ වාර්ෂිකව බඳවා ගනු ලබයි. ඒවා නම් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාක්මක, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, භික්ෂු විශ්වවිද්‍යාලය, ධීවර අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක වන සාගර විශ්වවිද්‍යාලය, ආරක්ෂක අමත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක වන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, වෘත්තිය පුහුණු අමත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වන වෘත්තීය පුහුණු විශ්වවිද්‍යාලය හා වෙළෙඳ අමාත්‍යංශය යටතේ ඇති ජාතික ව්‍යාපාර හා කළමනාකරණ ආයතනය (NIBM) යන ආයතන වේ. තවද මෙයට අමතරව රාජ්‍ය අංශය ම`ගින් පාලනය වන ශ‍්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය හා කාර්මික විද්‍යාල පද්ධතියක්ද ක‍්‍රියාත්මකව පවතී.

වාර්ෂිකව උසස් පෙළ සමත්වන 180,000ක් පමණ වන දරුවන්ට මෙම විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ හා වෙනත් අමාත්‍යංශ යටතේ ක‍්‍රියාත්මක වන විශ්වවිද්‍යාල සංඛ්‍යාව කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවන අතර මෙම ආයතනවලින් පවත්වන ඇතැම් පාඨමාලාවන් ඵලදායි නොවීමට ඉඩ ඇත.

උසස් පෙළින් පසුව උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලබා ඩිප්ලෝමාවක සිට උපාධියක් ලැබීම දක්වා කවර තැනකදී හෝ තම ජීවන ගමනට අධ්‍යාපනයෙන් හා කුසලතාවයෙන් වටිනාකමක් එක්කර ගැනීමට අවස්ථාවක් තිබිය යුතුය. නමුත් එම අවස්ථා අපේක්ෂා කරන දරුවන්ට සියළු දෙනාටම තමන්ගේ හිතැ`ගියාව පරිදි අවශ්‍ය අධ්‍යාපනය ලැබීමට අවකාශ විවෘත කිරීමට හැකි තත්වයක් ශ‍්‍රී ලංකාවේ පවතින උසස් අධ්‍යාපන ක‍්‍රමය තුළ අහිමිවීම කණගාටුවකි.

මෙම විභවය සපුරාලීමට මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට දේශීය හා විදේශීය උසස් අධ්‍යාපන ආයතන සැලකිය යුතු සංඛ්‍යාවක් දැනටමත් ඇතුලත් වී ඇත. මෙම ආයතන ලංකාවේ පවතින නීති පද්ධතිය තුළ හඳුන්වන්නේ, උසස් අධ්‍යාපන ආයතන ලෙසය. එම ආයතන උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ, රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශයෙන් ලබා ගත් උපාධි ප‍්‍රදානය කිරීමේ බලතල සහිත උසස් අධ්‍යාපන ආයතන වශයෙන් හෝ විදේශ විශ්වවිද්‍යාලයන්ගේ පාඨමාලා මෙහෙයවන මණ්ඩප (Campus) වශයෙන් කටයුතු කරයි. කණගාටුවට කරුණ වන්නේ මෙම පෞද්ගලික අංශයේ උපාධි ප‍්‍රදානය කිරීමේ බලයලත් ආයතන හා විදේශ විශ්වවිද්‍යාලයන්ට අනුබද්ධ මණ්ඩප කිසිවක් ශ‍්‍රී ලංකාවේ විධිමත් නියාමනයකට ලක් නොවේ.

මේ වන විට රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතුවල නිරත ශිෂ්‍ය සංඛ්‍යාවට වඩා වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් පෞද්ගලික අංශයේ උපාධි ප‍්‍රදානය කිරීමේ බලයලත් ආයතන හා විදේශ විශ්වවිද්‍යාලයන්ට අනුබද්ධ මණ්ඩපවල උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වේ. මෙම ආයතන විධිමත් නියාමනයකට ලක් නොවන බැවින් ඒවායින් බොහෝ අකටයුතුකම් සිදු කරමින් වැරදි තොරතුරු ලබා දෙමින් පාඨමාලා මෙහෙයවයි. උදාහරණයක් ලෙස ඔවුන් සිය ආයතන විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් (UGC Approved) බවට මතයක් සමාජගත කරයි. නමුත් සත්‍ය එයට වඩා වෙනස්ය. එනම් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව පිළිගෙන ඇත්තේ අදාල විදේශ විශ්වවිද්‍යාලය මිස පාඨමාලා හෝ එම පාඨමාලා මෙහෙයවන මෙරට මණ්ඩප නොවන බව පාඨමාලාවලට ඇතුලත්වන සිසුන් නොදන්නා දෙයකි.

මෙයට අමතරව තවත් වැදගත් කරුණු කීපයකි. එනම්, අද වන විට මෙරට උසස් අධ්‍යාපනය හදාරන පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල සිටින ශිෂ්‍ය ප‍්‍රමාණය කොපමණද යන්න හා අදාල පාඨමාලා මොනවාද යනාදි වශයෙන් දත්තයන් ගත හැකි මූලාශ‍්‍රයක් නොමැතිවීම නිසාම පැහැදිලි වන්නේ ශ‍්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය විධිමත් පාලනයකට හා නියාමනයට ලක්ව නැති බවය.

මෙම කරුණු සලකා බලා ශ‍්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය විධිමත් ආකාරයේ නියාමනයකට ලක්කර ජාත්‍යන්තර මට්ටමින් පිළිගැනීමක් ලබා ගතහැකි ආකාරයේ ආයතනයක් පිහිටුවීම දීර්ඝ කාලයක් සාකච්ඡුා වූ යෝජනාවකි. එමෙන්ම ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් පිහිටුවීමට සමගාමීව උසස් අධ්‍යාපනයේ ”ගුණාත්මකභාවය තහවුරු කිරීම හා ප‍්‍රතීතනය සඳහා වූ සභාව”ක් (Quality Assurance and Accreditation Council) පිහිටුවීම පිළිබඳවද එම වාර්තාවෙන් කරුණු ඉදිරිපත් කර ඇත. එමෙන්ම ගුණාත්මකභාවය තහවුරු කිරීම හා ප‍්‍රතීතනය සඳහා වූ සභාවක් පිහිටුවීම සඳහා 2023 අයවැය ම`ගින් යෝජනා කර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කර ඇත.

මේ පිළිබඳව ජනතාවත් විශේෂයෙන් විශ්වවිද්‍යාල ප‍්‍රජාවත් අතර පවතින වැරදි හා තර්කානුකූල නොවන මතවාදයන් පිළිබඳව දැනුවත් වීමද වැදගත්ය. මෙම ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් පිහිටුවීමෙන් කිසිවිටක, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව වසා දැමීමක් නොවන අතර සිදුවන්නේ එම ආයතනය ශක්තිමත් කිරීමකි. දැනට උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ, රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශය ද කලින් පැවැතියේ විශ්වවිද්‍යාල කොමිෂන් සභාව යටතේය. එමෙන්ම පසුගිය කාලයේ ආන්දෝලනයට ලක් වූ දැනට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සෘජු නියාමනයට ලක් නොවන, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය නියාමනය පවා මේ අනුව නව කොමිසන් සභාවට පැවරෙනු ඇත.

එහිදී පාඨමාලාවන්හි ගුණත්මකභාවය ආරක්ෂා කිරීම පමණක් නොව සෑම රාජ්‍ය මෙන්ම පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයකම පවතින පාඨමාලවන් සමාන තත්වයන්ට ගෙන ඒම සඳහා උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීම හා ප‍්‍රතීතනය සඳහා වූ ස්වාධීන සභාව වැදගත්වනු ඇත. පසුගිය කාලයේ සයිටම් වෛද්‍ය පීඨ ගැටළුව සාකච්ඡුා කරන විටද විශ්වවිද්‍යාල ප‍්‍රජාව තුළින් මතු වූ කරුණක් වූයේ, උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීම හා ප‍්‍රතීතනය සඳහා වූ ස්වාධීන සභාවක් පිහිටුවන ලෙසය.

මෙවැනි ජාතික මට්ටමේ කොමිෂන් සභාවක් පැවතියහොත් රාජ්‍ය හෝ පෞද්ගලික වශයෙන් බේදයක් නොමැතිව  ඕනෑම පාඨමාලාව සඳහා අවශ්‍ය අවම ලකුණු එකම අගයක් ගනු ඇත. එමෙන්ම කිසියම් විෂයයක් උගන්වන රාජ්‍ය වේවා පෞද්ගලික වේවා සෑම පීඨයක්ම සමාන තත්වයට පැමිණෙනු ඇත. උසස් අධ්‍යාපන අංශය විධිමත් ආකාරයේ නියාමනයකට ලක්වීමේදී දැනට පවතින රාජ්‍ය විශ්වවිද්‍යාල හා පෞද්ගලික අංශය උපාධි ප‍්‍රදානය කරන උසස් අධ්‍යාපන ආයතනවල පාඨමාලාවන් මෙන්ම විෂය නිර්දේශයන් සමාන තත්ත්වයට පත්වනු ඇත. මේ නිසා සිදුවන යහපත් දෙයක් වන්නේ ඉංජිනේරු, තොරතුරු තාක්ෂණික හා කළමණාකරණ වැනි අංශයන්ගේ රැකියා වෙළෙඳපොල ඉල්ලූම සපුරා ගැනීමට පෞද්ගලික අංශයේ උපාධිධාරීන්ට ඇති ඉහළ ඉල්ලූම රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපාධිධාරීන්ටද සමානව හිමිවීමය.

ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති වීමට පෙර අවස්ථාවක, මහාචාර්ය කාලෝ ෆොන්සේකා ප‍්‍රකාශ කළේ, රාජ්‍ය විශ්වවිදයාලයන්ට සිසුන් ප‍්‍රවේශ වීමේදී පවතින කෝටා ක‍්‍රමය නිසා වෛද්‍ය පීඨ ප‍්‍රවේශයට සුදුසුකම් ලබන දරුවන් 2,500කට පමණ වාර්ෂිකව වෛද්‍ය පීඨ වරම් නොලැබෙන බවය. ඔවුන් ඒ වෙනුවට වෙනත් පාඨමාලා හැදැරීමට යොමුවීමෙන් රටට පමණක් නොව ලෝකය වෙනුවන් බිහි කළ යුතු වෛද්‍යවරුන් පිරිස අප බිහි කිරීම අත හැරදමා ඇත. නමුත් වෛද්‍ය පීඨ ප‍්‍රවේශය සුදුසුකම් තිබෙන දරුවන් වෙනත් පාඨමාලා හදාරන විට ඔවුන්ට වඩා අඩු සුදුසුකම් සහිත දරුවන් විදේශයක විශ්වවිද්‍යාලයකින් වෛද්‍ය උපාධිය ලබා එන්නේ, එම සිසුන්ට රාජ්‍ය හෝ පෞද්ගලික භේදයකින් තොරව වෛද්‍ය විද්‍යාව හැදැරීමට අවස්ථාවක් නොමැති නිසාය. ශ‍්‍රී ලංකාවේ විධිමත් ආයතනයකින් මෙවැනි නියාමනයක් සිදු වන්නේ නම් සිසුන්ට ඔවුන් ඇතුලත් වන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ද පෞද්ගලික අංශයේ විශ්වවිද්‍යාලයකට ද යන්න ගැටළුවක් නොවන්නේය.

ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් හා ඊට සමගාමීව ගුණාත්මක භාවය තහවුරු කිරීම හා ප‍්‍රතීතනය සඳහා වූ ස්වාධීන සභාවක් පිහිටු වීමේ කාරණය ජය ගැනීම තුළ සිදුවන යහපත් දෙය වන්නේ ගෝලීය ආර්ථිකයට මුහුණ දිය හැකි මානව ප‍්‍රාග්ධනයෙන් පමණක් නොව සමාජ ප‍්‍රාග්ධනයෙන් ද පිරිපුන් නූතන දැනුමින් සන්නද්ධ ශ‍්‍රම බලකායක් රටට උරුම වීමය.

සරත් හේවගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *