තවත් අභියෝගයක් – ගොවිතැනට වතුර නෑ ආහාර හිඟයක් – වතුර කප්පාදුවක්!

0

පසුගිය වසර කිහිපය තුළදී මුහුණ දුන් ආර්ථික අර්බුදය යම් සමථයකට පත්කර ගනිමින් රට ස්ථාවරවීම ආරම්භ වනවාත් සමඟ එළැඹෙන මාස දෙක තුන තුළදී තවත් විශාල අර්බුදයකට මුහුණ පෑමට ශ‍්‍රී ලංකාවට සිදුව තිබේ. මේ වන විට සිදුවෙමින් පවතින කාලගුණික විපර්යාසය මත ඇතිව තිබෙන දැඩි නියඟය හේතුවෙන් මෙරට ජලාශ සහ වැව් අමුණු ශීඝ‍්‍රයෙන් සිඳීයාමට ලක්වීම සිදුවෙමින් තිබේ. ඒ අනුව වගා කටයුතු සඳහා ජලය නිකුත් කිරීම සීමා කර තිබෙන අතර ජල විදුලිබල උත්පාදනය සීමා කිරීමට සිදුවෙන ලකුණු පහළව ඇත. මේ තත්වය මත යළි ආහාර හිඟයක් මෙන්ම විදුලි කප්පාදුවක අනතුර රට ඉදිරියේ තිබේ.

මේ වන විට වර්ධනය වෙමින් තිබෙන කාලගුණික විපර්යාසය එල්-නිනෝ තත්වයක් ලෙස හඳුන්වන අතර එය සාමාන්‍යයෙන් වසර කිහිපයකට වරක් සිදුවන ස්වභාවික තත්වයකි. පැසිෆික් සාගරයේ උෂ්ණත්වය ඉහළයාම නිසා වායුගෝලීය පීඩනය සහ සුළං රටා වෙනස්වීම මෙමඟින් සිදුවේ. ඒ අනුව එම බලපෑමට හසුවන ශ‍්‍රී ලංකාව තුළ නියඟ, ගංවතුර සහ පාරිසරික උෂ්ණත්වයේ වෙනස්වීම් අත්විඳිමට සිදුවේ.

කෙසේ නමුත් අනෙක් බොහෝ රටවල් මෙන් ශ‍්‍රී ලංකාවට එල්-නිනෝ බලපෑම ඒකාකාරී නොවන අතර රටේ විවිධ ප‍්‍රදේශවලට විවිධ බලපෑම් එල්ල වේ. විශේෂයෙන්ම රටේ උතුරු සහ
නැගෙනහිර ප‍්‍රදේශ එල්-නිනෝ බලපෑමට වැඩි අවදානමක් ඇති අතර, මෙම ප‍්‍රදේශවල වර්ෂාපතනය අඩුවීමට ලක් වේ. ලෝක කාලගුණ විද්‍යා සංවිධානයට අනුව, නියඟය, ගංවතුර සහ අනෙකුත් ආන්තික කාලගුණික සිදුවීම්වලට තුඩු දෙන එල්-නිනෝ 2023 තුන්වන කාර්තුවේදී නැවත පැමිණෙනු ඇතැයි පෙර අනාවැකි කියා තිබිණි. ශ‍්‍රී ලංකාවේ එල්-නිනෝගේ බලපෑම දැනටමත් දැනෙමින් පවතින අතර රටේ සමහර ප‍්‍රදේශවල නියඟ සහ ජල හිඟය අත්විඳිමින් සිටී.
මීට පෙර 2015/16 වසරවලදී ද මෙවැනි එල්-නිනෝ තත්වයක් හට ගත් අතර ඒ අනුව එක් ප‍්‍රදේශයකට මහා නියඟයක් එන විට අනෙක් ප‍්‍රදේශයකට අධික වර්ෂා සමඟ ගංවතුරද ඇති වී ආපදා ගණනාවකට මුහුණ දීමට සිදු විය.

කෙසේ නමුත් මේ වන විට උඩවලවේ ජලාශය යටතේ වගා කර ඇති කුඹුරු අක්කර 65,000ක් අධික නියගය හේතුවෙන් විනාශවීමේ අවදානමක් මතුව තිබේ. උතුරු මැද පළාතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ නඩත්තු කෙරෙන වැව් 3000කට අධික ප‍්‍රමාණයක් නියඟය හේතුවෙන් සිඳී යමින් පවතින බව වාර්තා වේ. මේ හේතුවෙන් විශාල පිරිසක් පානීය ජලය ලබා ගැනීමේ අපහසුතාවයකට මුහුණදී සිටිති. එසේම එම ප‍්‍රදේශවල වන සතුන්ද ජල හිඟය හේතුවෙන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව වාර්තා වෙයි. එල්-නිනෝ තත්වය හේතුවෙන් සාගර ප‍්‍රවාහවල වෙනස්කම් සහ මත්ස්‍ය විශේෂ සංක‍්‍රමණයවීම නිසා ධීවර කර්මාන්තයට ද බලපෑම් එල්ලවීමේ අවධානමක්ද පවතී.
මේ වසරේ සහල් නිෂ්පාදනයටද මෙම`ගින් දැඩි බලපෑමක් එල්ල විය හැකි බව රජය පෙන්වා දෙන අතර, මේ වන විටත් භෝග වගාවන්ට රුපියල් කෝටි 3000ක පමණ පාඩුවක් සිදුව ඇතැයිද පෙන්වා දෙයි. කොහොම නමුත් ඉදිරියේ දී ඇති විය හැකි ආහාර හිඟයට මුහුණ දීම සඳහා මේ වනවිට රට තුළ පවතින සහල් තොග ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලක් වහා ක‍්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇත. මේ අනුව සත්ව ආහාර හා බියර් නිෂ්පාදනය කිරීම සඳහා සහල් යොදා ගැනීම වහා අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

මේ අතර චීනය, පාකිස්තානය, ඉන්දියාව හා බංග්ලාදේශය ආදී රටවලට දරුණු ගංවතුර තත්වයන් ඇති වු බැවින් එහි වගාබිමි විශාල ප‍්‍රමාණයක අපේක්ෂිත අස්වැන්න අහිමි වන තත්වයන් තුළ ඔවුන්ගේ සහල්, බී ලූණු, අල, කඩල, පරිප්පු, මිරිස්, කුළුබඩු ආදි අපනයනය සීමාවීම සහ මිල ඉහළ යෑම සිදුවිය හැකිය. මේ ඉදිරියේදී එම ආනයනික ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාමේ අවදානමක්ද පවතී. එල්-නිනෝ තත්වය හමුවේ විය හැකිව තිබෙන අවදානම් තත්වය සුළුපටු නැති බව මේ අනුව පැහැදිලිය.

මේ වන විට විදුලි නිශ්පාදනය කරන ජලාශවල ජලය අඩුවීම නිසා පෞද්ගලික ඞීසල් බලාගාර හා අනෙක් සියලූ‍ බලාගාරවලින් විදුලිය ලබාගනිමින් පැය විසිහතර පුරා අඛණ්ඩව විදුලිය ලබාදීමට පියවර ගන්නා බව රජය පවසා ඇත. එහෙත් ඉන්ධන මගින් රටේ විදුලි අවශ්‍යතාව සපුරා ගැනීම නිසා මෙම වසරේ ලංකා විදුලිබල මණ්ඩලයට වන අමතර පාඩුව රුපියල් කෝටි පන්සියයේ සීමාව ඉක්මවා යනු ඇති බවද විදුලි ඉංජිනේරුවෝ පෙන්වා දෙති. එමෙන්ම මේ වෙනුවෙන් අමතර විදේශ විනිමය යොදා ගැනීමට සිදුවේ. ආර්ථික අර්බුදයෙන් පසුව විදේශ සංචිත ප‍්‍රමාණවත් ලෙස තවමත් ගොඩනැඟී නැති තත්වයක් තුළ එය වෙනම අර්බුදයක් ලෙස මතුවෙනු ඇත. එම නිසා ජල විදුලිබලය ඇතුළු පුනර්ජනනීය විදුලි උත්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යෑම රටට හිතකරය. විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදන වියදම් වැඩි වුවහොත් විදුලි බිල් වැඩිවීමේ අවදානමද තිබේ. කෙසේ නමුත් මේ වන විට දකුණු පළාතේ විදුලි අවශ්‍යතාවය සපුරණ සමනල වැව සිඳි යමින් තිබෙන තත්වයන් හමුවේ තවදුරටත් ගොවිතැන සඳහා ජලය නිකුත් කිරීම වන්නේ නම් එම පළාත්වල යම් විදුලි කප්පාදුවක් සිදු කිරීම විය හැකි බවත් පැවැසේ.

මේ අනුව ඉදිරියේදී ජල හිඟය පිළිබඳ සංකීර්ණ ගැටළුවට මුහුණ දීමට රජයට සිදුවන අතර ගොවිතැන ද, ජල විදුලිබලය ද වඩා වැදගත් යන්න තෝරා ගැනීමට සිදුවනු ඇත. මන්ද මේ දෙකම තුලනය කර ගනිමින් පවත්වාගෙන යෑමේ හැකියාව ක‍්‍රමයෙන් සීමා වෙමින් තිබෙන නිසාය. මෙහිදී වඩාත්ම ප‍්‍රායෝගික විසඳුම වෙනු ඇත්තේ වගා කටයුතු වෙනුවෙන් ජලය මුදා හැරීම දැඩිව සීමා කිරීමය. එමඟින් සිදුවිය හැකි හානිය වන්නේ, රටේ අස්වනු අඩු වීමත් ආහාර හිඟයක් ඇති වීම සහ ගොවි ජනතාවගේ ආදායම් මාර්ග අහිමි වීම යන ගැටළුය. නමුත් එම ගැටළු විසඳීම සඳහා ආහාර ආනයනය කිරීම සහ ගොවීන්ට වන්දි ලබා දීමක් ම`ගින් යම් සමතයකට පැමිණිමේ හැකියාව රජයට ඇත. ඒ සඳහා රාජ්‍ය ආදායම් ප‍්‍රමාණවත් වනු ඇත. පොහොර සහනාධාරයන් සහ වගා යටිතල පහසුකම් ආදිය වෙනුවෙන් රජය වාර්ෂිකව වෙන් කරන බිලියන සිය ගණනක මුදල් හෝ මේ සඳහා යොදා ගත හැකිය.

එහෙත් දිර්ඝ කාලීනව විදුලිබල කප්පාදුවකට යෑමට සිදු වුවහොත් රටේ සමස්ත ප‍්‍රජාවම අර්බුදයකට මුහුණ දීමට සිදුවන අතර කර්මාන්ත ව්‍යාපාර ආදියෙහි විශාල කඩා වැටීමක් සිදු විය හැකිය.

පසුගිය කාලයේ සිදුවූ විදුලිබල කප්පාදු නිසා එම තත්වය අත්විදීමට හැකි වූ අතර තවමත් ජනතාවට එයින් වූ ආර්ථිකමය හානිය යථාවත් කරගැනීමට හැකිව නැත. එසේම එමඟින් ජාතික ආර්ථිකයට වන පාඩුව පියවා ගැනීම පහසු නොවනු ඇත. එය රාජ්‍ය බදු ආදායම් මඟින් පියවීම හෝ ගොවිතැන ආරක්ෂා කරගැනීමෙන් කළ නොහැක. ගොවිතැන මගින් ජාතික ආර්ථිකයට දක්වන දායකත්වයට වඩා විදුලිබලය ම`ගින් වන දායකත්වය අති මහත්ය.
මේ නිසා රජය හමුවේ වන අභියෝගය වන්නේ පසුගිය ආර්ථික අර්බුදය හමුවේ ජාතික ආදායම් අහිමි වීම නිසා මුහුණ දුන් පීඩාකාරී තත්වය යළි ඇතිවීම වලක්වා ගැනීම විය යුතු තැනට සියල්ල කළමනාකරණය කිරීමය. රටේ ආදායම් අහිමි වුවහොත් සෑම ක්ෂේත‍්‍රයකම මීට වසරකට පෙර පැවැති අර්බුදයම නැවත ඇතිවනු ඇත. මේ නිසා එල්-නිනෝ කාලගුණික විපර්යාසය හමුවේ රට නොවැටී තබා ගැනීමට නම් වඩා ප‍්‍රයෝගික විසඳුම වෙනු ඇත්තේ විදුලිබල නිපදවීම වෙනුවෙන් ප‍්‍රමුඛතාවය ලබා දීම විය හැකිය. රජය ඒ සම්බන්ධයෙන් නිවරදිම තීරණය ගත යුතුය.

කොරෝනා වසංගත තත්වයන් සහ ගෝලීය ආර්ථික අර්බුද හමුවේ රටේ ආර්ථිකය නිසි ලෙස කළමනාකරණයට අසමත් වීමේ ප‍්‍රතිවිපාක ලෙස රට දැවැන්ත කඩා වැටීමකට ලක් විය. නමුත් පවතින නියඟය හමුවෙත් යළි වැරදි ආර්ථික උපාය මාර්ග අනුගමනය කිරීමෙන් වැලැකී වඩාත් නිවැරදිම ක‍්‍රියාමාර්ග යුතුය. ඒ වෙනුවෙන් රටට යම් කැපකිරීමක් කරන්නට සිදු වේ නම් එය සිදු කළ යුතුය. ජනප‍්‍රිය විසඳුම් වෙනුවට දුෂ්කර වුවත් නිවැරදි විසඳුම් ක‍්‍රියාත්මක වන්නේ නම් වැටෙන්න නියමිත වළට නොවැටී එය තරණය කිරීමට පහසු වෙනු ඇත. ඒ තත්වයන් සියලූ‍ පාර්ශ්ව විසින් අවබෝධ කර ගත යුතු අතර ඒ වෙනුවෙන් රජයට අවශ්‍ය සහයෝගය ලබාදීම විය යුතුය. දේශපාලනික හෝ බඩගෝස්තර වුවමනාවන් වෙනුවෙන් මෙම තත්වයන් පාවිච්චි කිරීමට කවර හෝ කණ්ඩායමක් කටයුතු කරනවා නම් එය නොවිය යුතු අපරාධකාරී, රටට ද්‍රෝහී කටයුත්තක් බවත් කිව යුතුය. එසේ කියන්නේ ලංකාවේ අවස්ථාවාදී විපක්ෂ කණ්ඩායම් මේ ආපදා තත්වයන් මත ”කාලගුණය පාලනය කරන්න බැරි ආණ්ඩුවක් මොකටද?” කියා හෝ මුග්ධ සටන් පාඨ සමඟින් අරගල වැඩවර්ජන කරමින් තුට්ටු දෙකේ දේශපාලනයට යොමුවීමේ විශාල ඉඩකඩක් පවතින බැවිනි. මේ ස්වභාවික ආපදාව පාවිච්චි කරමින් රට අරාජික කර දැමීම වෙනුවෙන් තුච්ඡු ලෙස යොදා ගැනීමේ හැකියාව සහ වුවමණාව ඇතැම් පිරිස්වලට තිබෙන බැවිනි. ඔවුන් බලා සිටින්නේම මෙවැනි අර්බුදයක් හෝ මතුවී රජය අසීරුතාවයට පත්වන තෙක්ය. ඒ අනුව පැවැති ආර්ථික අර්බුදය හමුවේත් එයින් ගොඩ ඒමට කිසිදු සහයක් රජයට හෝ ජනතාවට නොදී ඒ වෙනුවෙන් රජය ගන්නා සෑම පියවරක්ම කඩා කප්පල් කිරීමට සහ ජනතාව නොමඟ යෑවීමට වෙර දැරූ විපක්ෂය මෙම එල්-නිනෝ තත්වයන්ද රටට ජනතාවට හෙණ ගහල ගියත් තමන්ගේ බල පෙරේතකම් වෙනුවෙන් පාවිච්චි කිරීමේ ඉඩ කඩ ඉතා ඉහළය.

මේ අතර ඇතැම් ගොවි සංවිධාන ගොවිතැන වෙනුවෙන් ජලය ලබා දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ගවලටද අවතීරණය වී ඇති අතර විපක්ෂ කණ්ඩායම් රටේ ඇත්ත තත්වය වසන් කරමින් මෙම අහිංසක ජනතාව නොමඟ යවමින්ද තිබේ. ඉදිරියේදී මේ කණඩායම්වල පෙළඹවීමෙන් මාවිල්ආරු සොරොව්ව විවෘත කළා සේ කඩා පැනීම් කර වීරකම් පෙන්වන ජල අරගල වුවත් ඇති විය හැකිය. නමුත් ඒවායෙන් සිදු විය හැකි හානිය නියඟයෙන් විය හැකිව තිබෙන හානියට වඩා දැඩි වෙනු ඇත. පීඩා විදින්න වන්නේ පොදු ජනතාවටමය.

මේ කියන සියළු තත්වයන් ඇති නොවිය හැකි දේ නොවේ. මීට වඩා වඩා බරපතල දේ විය හැකි මෙන්ම මේ තරම් බරපතල තත්වයක් ඇති නොවීමද විය හැකිය. මන්ද කාලගුණය ගැන අනාවැකි වරදින්නට පුළුවන් නිසාය. කොහොම නමුත් බංකොලොත් රට ගොඩගෙන, ආර්ථික අර්බුදය ජයගැනීම වෙනුවෙන් පියවර ගත් ජනාධිපතිවරයා සහ රජය, එහිදී ජනතාවට වග වූ ලෙසම මේ එල්-නිනෝ කාලගුණික තත්වයේ ආපදා මෙන්ම, වල්මත් විපක්ෂය මඟින් විය හැකි හානිදායක තත්වයන් ද පාලනය කිරීමට සුදානම් විය යුතුව තිබේ. එම අභියෝගයත් ජය ගත යුතුය.

ජයතුංග බණ්ඩාර

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු පුවත්