අඩු ආදායම් ලාභීන්ට එළුවන් 70000ක්

0

මෙරට එළු පාලනය විදිමත් කිරීමටත්, අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වයන් ඉහළ නැංවීමත් අරමුණු කරගනිමින් වසර පහක් තුළ එළුවන් 70,000ක්  බෙදාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය  පියවර ගෙන තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ග්‍රාමීය සංවර්ධන අංශය සඳහා මෙම කටයුතු වෙනුවෙන් රජය විසින් මෙම වසර සඳහා රුපියල් මිලියන 150ක මුදලක් වෙන් කර ඇත.

එම වැඩසටහන යටතේ මෙම වසර තුළ දෙමුහුන් ජම්නපාරී විශේෂයට අයත් එළුවන් 7000ක් අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දීමේ ව්‍යාපෘතිය 09 රන්න වාඩිගල දී ආරම්භ විය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන්  වාඩිගල ග්‍රාමය තරුණ කෘෂිකර්ම ව්‍යවසායකත්ව ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ විය. කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වශයෙන් ගම්මාන හතක් සංවර්ධනය කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.

මෙම තරුණ කෘෂිව්‍යවසායකත්ව ගම්මාන මගින් තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ශණය කර ගැනීම සඳහා ඔවුන්ට අවශ්‍ය කෘෂි උපකරණ, තාක්ෂණික දැනුම, කෘෂි බීජ ඇතුලු සියලු පහසුකම් සැපයීමට කටයුතු කර තිබේ.

එම වැඩ පිළිවෙළ යටතේ අඩු ආදායම්ලාභී පවුල්වලට එළුවන් ලබාදීම සිදු කෙරෙන අතර එක් පවුළකට එළුවන් තුන්දෙනෙක් බැගින් ලබා දෙනු  ලැබීය.මීට අමතරව කුකුළු පැටවුන් 3000ක් ද එකු පවුළකට දසදෙනෙක් බැගින්  බෙදා දීමට කටයුතු යොදා ඇත.

හම්බන්තොට  දිස්ත්‍රික්කයේ  කෘෂිකර්ම  ව්‍යවසායකත්ව ගම්මාන 07ක් ස්ථාපිත කර ඇති අතර එක් ගමකින් පවුල් 10ක් බැගින් තෝරාගෙන ඔවුන්ට එළුවන් බෙදා දෙනු ලබයි.

මේ අයුරින් උතුරු නැගෙනහිර ඇතුළු සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි එළු පාලනයට කැමති, ඒ සඳහා යටිතල පහසුකම් ඇති පවුල් තෝරාගෙන ඔවුන්ට දෙමුහුන් එළුවන් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ..

 එළුවන් ලබා දීම ආරම්භ කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම වසර තුළ එළුවන් 7000ක් ලබා දීමට සැළසුම් කර ඇතැයි සඳහන් කළේය. දැනට මෙරට එළුකිරි නිෂ්පාදනය මෙන්ම මස් පිණිස එළුවන් පාලනය කිරීම රටේ අවශ්‍යතාවයට සරිලන අයුරින් නොපවතින බවත්, එළුමස් හා එළුකිරි ආනයනය සඳහා විශාල මුදලක් විදේශ රටවලට ඇදී යන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අපේ රටේ වගා කළ හැකි මෙන්ම නිෂ්පාදනය කළ හැකි සෑම දෙයක්ම මෙරට වගා කිරීම හා නිපදවීම අපේ රජයේ අරමුණයි. ගරු ජනාධිපතිතුමන් උපදෙස් දී ඇති පරිදි ඒ සඳහා අවශ්‍ය සියලු මුල්‍ය පහසුකම් රජය සපයනවා. අපිට වගා කළ හැකි සහ නිෂ්පාදනය කළ හැකි දේවල් මෙරට නොනිපදවා ආනයනය කිරීම මගින් රටේ විදේශ සංචිත විශාල ප්‍රමාණයක් වෙනත් රටවලට ඇදී යනවා. මෙම තත්ත්වය වළක්වා ගැනීමට නම් අප කළ යුත්තේ අපීට වගා කළ හා නිපදවිය හැකි දේ අපිම නිපදවා ගැනීම යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

මීට සමගාමීව වාඩිගල අවට ග්‍රාමීය වැව් වන හාමු මහත්තයගේ ආර වැව, නෝනාගේ ආර වැව, පන්විල වැව, විචකුලාඅරවැව හා එම වැව් යටතේ කෘෂිකර්ම මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම ද (09)  දින ආරම්භ විය.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *