ක්‍රීඩාව හරි ට්‍රැක් එකට ගැනීමත් යුගයේ අවශ්‍යතාවයකි

ලංකාවේ තරගකාරී ක්‍රීඩාවට මුද්‍රා තබා පැත්තකට කර තබනවා හැර දැන් එයින් ගත හැකි වැඩක් නැති ගානට පත්ව තිබේ. ක්‍රීඩාවේ උරුමක්කාර, පොල්මක්කාර, අද්මිනිස්ත්‍රාසී, බලකාරාදීන් වන ක්‍රිඩා සංගම් බොහොමයක් දැන් ක්‍රියාවිරහිතය. මේ වන විටත් පාපන්දු සම්මේලනයට පාපන්දු තහනම්ය. රගර් සම්මේලනයට සීල් තබා ඇත. ජනප්‍රිතම ක්‍රීඩාව වූ ක්‍රිකට් ක්‍රීඩාවද දැන් යන්නේ පණ අදිමිනි. රටක දේශපාලනය, ආර්ථිකය, සෞඛ්‍ය, අධ්‍යාපනය වැනිම වැදගත් ක්ෂේත්‍රයක් වන ක්‍රීඩා ක්ෂේත්‍රය බංකොලොත්බවට පත්වීම රටක පරිහානිය ගැන පෙන්වන තවත් ප්‍රබල සාධකයකි. ඉහළ ක්‍රීඩාශීලිත්වයක්, තරගකාරිත්වයක් මොට වූ රටක් කිසිසේත්ම ගොඩනැගෙන රටක් වන්නේ නැත. ජය පරාජය ගැන නිනව්වක් නැති ජාතියක් කිසිදා නැගිටින්නේ ද නැත. එහෙව් රටක් දේශපාලන සහ ආර්ථික වශයෙන් ද බංකොලොත්වීම විය හැකි දෙයකි.

ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයට සිදු වූයේ දේශපාලනයට, ආර්ථිකයට වූ සන්තෑසියමය. හරි හමන් ප්‍රතිපත්තියක්, ඉලක්කයක්, සැලසුමක්, වැඩපිළිවෙලක් නැතිව එය අයාලේ ගියේය. හොරුන් වංචකාරයන් ජාවාරම්කරුවන් එය ඉහගෙන කෑවේය. මෙය සිදුවන්නේ අද ඊයෙක සිට නොවේ. මේ කතන්දරය වෙන්නේ දශක කිහිපයක් තිස්සේය. එය දැන් අවසන් ඉමකට ගෙනවිත් තිබේ. වැරදි දේශපාලන ආර්ථික භාවිතය නිසා බංකොලොත් වූ රට යළි නිවැරදි කර හරි පාරට ගැනීම වෙනුවෙන් මේ වන විට දියත් කර තිබෙන සිස්ටම් චේන්ජ් එක, ක්‍රීඩා ක්ෂේත්‍රයටත් අත්‍යාවශ්‍යව තිබේ. සියල්ල යළි මුල සිට පටන් ගැනීමට සිදුව තිබේ. නමුත් එය සිදු කිරීමට හැකි සමත්භාවයක ලකුණු පෙනෙන තෙක් මානයක නම් නැත.

එය කෙසේ වෙතත් ක්‍රීඩා ක්ෂේත්‍රය වළපල්ලටම යනතෙක් සිටිය යුතු නැත. එය ගොඩගැනීම වෙනුවෙන් අවංක උත්සාහයක් හෝ ගත හැකි නම් මෙරට තරගකාරී ක්‍රීඩාවක් කියා දෙයක් තව කාලයකට ඉතිරි කර ගත හැකිය. අඩුම තරමින් මේ විනාශයට මුලිකවම හේතු සාධක වන කරුණු මුලිනුපුටා දැමීමටවත් හැකි විය යුතුය. මේවා රජයක් හෝ ආණ්ඩුවක වැරදි කියා පහසුවෙන් කිව හැකි වෙතත් ඇත්ත එය නොවේ.

මන්ද ක්‍රීඩාව මෙතරම් දුරට විනාශ කිරීම සඳහා වැඩිම දායකත්වයක් සපයා ඇත්තේ ආණ්ඩුවක්වත් ආණ්ඩුවක ක්‍රීඩා ඇමැතිවරයකුවත් නොවේ. ආණ්ඩුවලින් ක්‍රීඩාවට වූ සෙතක් ගැන කියන්න කරුණු නැති වුණත් ක්‍රීඩාව විනාශ කළේ ක්‍රීඩා සම්මේලන, සංගම් ආදියෙහි දශක ගණනක් තිස්සේ තනතුරු පට්ටම් දරමින් එහිම ගෙවල පෙරේතයන් බවට පත්ව සිටින දූෂිත පුද්ගලයන්ය කීවාට වැරදි නැත. ඒ ගැන කියන්න කරුණු කාරණා බොහෝ තිබේ. ක්‍රීඩා ක්ෂේත්‍රය දූෂිත ආකරයක් බවට පත් කරනු ලැබුවේම මෙම පුද්ගලයන්ය. රටෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ක්‍රීඩාව අත්හැර ගියේත්, විශිෂ්ට ක්‍රීඩකයන් බිහිවීමේ අවස්ථාවලට මහා බාධකයක්ව තිබෙන්නේත් මෙම දූෂිත නිලධාරී මාෆියාවය. 

ක්‍රීඩා ක්ෂේත්‍රයට දේශපාලනික ඇඟිලි ගැසීම් සිදුවීම මේ දූෂිත තත්වයන් මහ පරිමාණයෙන් සිදු වෙන තැනට වැඩ සිදු විය. විශේෂයෙන් පසුගිය රාජපක්ෂ පාලනය තුළ ඒ තත්වය විශාලව සිදු විය. අදටත් රාජපක්ෂ පුත්‍රයන්ගේ බලපෑමෙන් මෙම ක්ෂේත්‍රය මුදවා ගන්නට නොහැකිව තිබේ. රගර් ක්‍රීඩා පරිපාලනය විනාශම කළේ මොවුන්ය. විටින් විට ක්‍රීඩාව ගැන බලන්න ක්‍රීඩා ඇමැතිවරු කප්පරක් පත්කරනු ලැබුවත් ඒ කිසිවෙකුට ක්‍රීඩාව වෙනුවෙන් යමක් කිරීමට හැකි වූයෙත් නැත. මතක ඇති කාලයක රටට කොන්ද පණ තිබෙන, දැක්මක් තිබෙන අඩුම තරමින් ක්‍රීඩාව යනු කුමක්දැයි දන්නා හෝ විශිෂ්ට ක්‍රීඩා ඇමැතිවරයක් පත්ව නැත. ලොකු ලොකු කතන්දර කියමින් ක්‍රීඩාව නන්වනවාය කියමින් පැමිණි බොහෝ ඇමැතිවරුන්ට සිදු වූයේ පවතින දූෂිත චක්‍රයටම යටවීමටය, නැත්නම් එහිම කොටස්කාරයන් වන්නටය. ඒත් නැතිනම් මේ ක්‍රීඩා සංගම් මා‍ෆියාවට බිය වී නකුට දෙපරැන්දෙ ගසාගෙන වෙන හැටියකට ඉඩ දී බලා සිටීමටය.

අද ක්‍රිඩා ක්ෂේත්‍රයට සිදුව තිබෙන අලකලංචියෙන් එය මුදවාලීමට දේශපාලන අධිකාරියට හෝ අදාල වගකිව යුතු ක්‍රීඩා බලධාරීන් කිසිවකුට හෝ අදහසක් නැත. වැල යන පැත්තට මැස්ස ගසමින් ක්‍රීඩාවක් රටේ පවතිනවා යැයි පෙන්වීම හැර වෙනකක් සිදු කිරීමට මේ අය සමත් වුයේ නැත. ක්‍රීඩාවට ආදරය කරන්නන් කෙතරම් කරුණු කාරණා ගෙන හැර පෑවත් ඒවා නෑසු කන්ව සිටී. විටින් විට ක්‍රීඩාවේ කෙලපැමිණිය වුන්, ජනප්‍රිය ක්‍රීඩක ක්‍රීඩීකාවන් පරිපාලන කටයුතුවලට පත් කරගැනීම සිදු වූවත් ඔවුන් වෙතින් සිදුවූ දෙයක් ද නැත. ඔවුන්ට වෙච්ච දෙයකුත් නැත. ඒ ක්‍රීඩා සංගම් මා‌ෆියාවේ බලය හමුවේ ඇතිව තිබෙන තත්වයය.

කෙසේ නමුත් මේ තත්වයන් වෙනස් කිරීම වෙනුවෙන් ක්‍රීඩා ප්‍රතිපත්තිය, ක්‍රීඩා පනත කිහිප වතාවක්ම සංශෝධනය කරමින් ගත් ක්‍රියාමාර්ගවලින්ද වැඩක් වූයේ නැත. විශේෂයෙන්ම ක්‍රීඩා සංගම්වලින් ගෙවල පෙරේතයන් පන්නා දමා ඒ සුද්ද බුද්ද කර යළි ක්‍රීඩාව නන්වාලීම වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග සියල්ලම පාහේ පුස්සක් වී ඇත.

විශේෂයෙන්ම රටක ක්‍රීඩාව කියා දෙයන් පැවැතිය යුත්තේ කිසිවකුත් ක්‍රීඩාවක නියැලෙන නිසා නොවේ. ක්‍රීඩාවක් පවතින්න නම් දේශීයව ක්‍රීඩක ක්‍රීඩිකාවන් විධිමත්ව පුහුණු කළ යුතුය, ක්‍රීඩා තරග, තරගාවලි පැවැත්විය යුතුය. ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලිවලට සහභාගී විය යුතුය. එම කාර්යභාරය පැවැරී ඇත්තතේ ඒ ඒ ක්‍රීඩාවට අදාල සම්මේලන හෝ සංගම්වලටය. රජයකට කළ හැක්කේ ඒ සඳහා වන අවශ්‍ය පහසුකම් සැලසීම පමණය. එහෙත් එය සිදුවිය යුත්තේ රටට අවශ්‍ය හැටියට නොව මවු සංගම් නැතිනම් ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලනවල නීති රීති අනුවය. ජාත්‍යන්තරය ජය ගැනීමේ ඉලක්කයක් තිබේ නම් එය එසේ විය යුතුය. දේශපාලන අධිකාරියට වූව කටයුතු කරන්න සිදුවන්නේ ජාත්‍යන්තර සම්මේලනවල සීමාවන්ට අනුවය. මේ නිසා දේශපාලනයට ක්‍රීඩාවට මැදිහත්වීමේ සීමාවන් තිබේ. ජාත්‍යන්තරය විසින් එලෙස සීමාවන් පනවා ඇත්තේ ක්‍රීඩාව දේශපාලනයෙන් සහ වෙනත් අකටයුතුකම්වලින් බේරාගෙන සැමට සාධාරණ තරගකාරී අවස්ථාවක් ලබාදෙමින් ක්‍රීඩාවේ ජීව ගුණය රැකගැනීම වෙනුවෙනි. එහි වරදක් නැත. රජයකට එක්සත් ජාතින්ගේ වැනි විවිධ ජාත්‍යන්තර සම්මුතිවලට යටත්ව කටයුතු කරන්න සිදුව තිබෙනවා සේ ක්‍රීඩාවටත් එලෙස ජාත්‍යන්තර සම්මුති පැවැතීමෙන් රටේ ක්‍රීඩාවට අයහපතක් වන්නේ නැත. එසේම ජාත්‍යන්තරය නොතකා කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය වෙත ලැබෙන ජාත්‍යන්තර ආධාර අනුග්‍රහයන් පවා නොලැබී යාම ද සිදුවෙනු ඇත.

කොහොම නමුත් මේ රටේ ගැටළුව වී ඇත්තේ මේ ජාත්‍යන්තර මවු සංගම් සමග ගනුදෙනු කරන දේශීය ක්‍රීඩා සංගම් විසින් ජාත්‍යන්තරයත් ගොනාට අන්දවමින් මේ තත්වය තමන්ගේ වාසියට, තමන්ගේ බඩගෝස්තරය පවත්වාගැනීම වෙනුවෙන් අවභාවිත කිරීමය. ඒ අනුව ශ්‍රී ලංකාව අවවාදවලට ලක් වූ අවස්ථාවන් මීට පෙරද දැකිය හැකි වු අතර වර්තමානයේ එහි ප්‍රතිපල පෙන්වා තිබේ. දේශපාලන අධිකාරියට මැදිහත්වීමේ සීමාවත් පවතින නිසා මේ දුෂිත සංගම්කරුවෝ ආණ්ඩු මට්ටු කිරීමට රජයකට වුව සිදු කළ නොහැකිව තිබේ. ගැටලු‍ බොහොමයකට හේතු වී ඇත්තේ එයය. එසේම දේශපාලන අධිකාරයේ ඇගිලි ගැසීම නිසාද ජාත්‍යන්තරයෙන් තහංචි වැටුණු අවස්ථාද බොහොමයක් තිබේ.

පාපන්දු සම්මේලනය තහනම් වන්නේ, රගර් සම්මේලනයට තහංචි වැටෙන්නේ මේ දුෂිත තත්වයන් ඉහවහා ගිය තැනය. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් මෙරට පාපන්දු සම්මේලන තහනම් කර දැන් මාස තුනකට ආසන්නය. මේ තත්වය මත නුදුරේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර පාපන්දු තරගාවලි 2ක් ශ්‍රී ලංකාවට අහිමිව තිබේ. ඒ අනුව 2024 වසරේදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් පාපන්දු තරගාවලියේ (පිරිමි) සුදුසුකම් ලබා ගැනීමේ ආසියානු කලාපීය තරගාවලිය සහ වයස අවුරුදු 23න් පහළ ආසියානු පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගිවීමේ අවස්ථාවද ශ්‍රී ලංකාවට අහිමිව යන බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නිකුත් කර තිබූ නිවේදනයක දක්වා තිබිණි. මෙරට පාපන්දු සම්මේලනය ජාත්‍යන්තර වශයෙන් එකඟ වූ කාරණාවලට පිටුපා රටේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ උපදෙස් පිට යැයි කියමින් සම්මේලනයේ නිලවරණය හැසිරවිම, ඊට තුන්වන පාර්ශ්වයක මැදිහත්වීම සහ බලපෑම ගැන චෝදනා නිසා ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ජාත්‍යන්තරයට තහනමට ලක්විය. මේ තත්වයට ඇතිවීමට මේ දේශපාලන අධිකාරිය සහ සංගම් නිලධාරීන් ඇතුළු සියලු පාර්ශව දායක වී ඇත. ක්‍රීඩා ඇමැතිවරයා තවමත් උත්සාහ කරන්නේ දේශපාලන බලය සහ ක්‍රීඩා පණතේ වගන්තිවල එල්ලි තව දුරටත් ලංකාවේ පාපන්දු ක්‍රීඩාව තමන්ට අවශ්‍යය සේ පැවතිය යුතු බව ජාත්‍යන්තරයට චණ්ඩි පාර්ට් දමමින් කටයුතු කරන බවටද චෝදනාවක් තිබේ. මේ අයගේ සෙල්ලම් කවරක් වුවත් අවසානයේ මෙමගින් බරපතලම අසාධාරණය සිදුව ඇත්තේ ක්‍රීඩකයන්ටය. මෙරට පාපන්දු ක්‍රීඩාවටය.

රගර් සම්බන්ධයෙන්ද ඇත්තේ මෙවැනිම තත්වයකි. පසුගියදා විසුරුවා හරින ලද රගර් සම්මේලනයේ නිලධාරීන්ට ඇතුල් විය නොහැකි සේ මේ වන විට ක්‍රීඩා අමාත්‍යංශය විසින් රග්බි සම්මේලන මූලස්ථානය සීල් තබා ඇත. රගර් ක්‍රීඩාවට මේ ඉරණම අත්වන්නේම පසුගිය කාලයේ වු රාජපක්ෂ පුත්‍රයන්ගේ දේශපාලන මැදිහත්වීම තවදුරටත් පවත්වා ගෙන යෑමට ඇතැම් නිලධාරීන් උත්සුකවීම තුළය. කොහොම නමුත් රගර් ප්‍රශ්නය දැන් අධිකරණය හමුවටද ගොස් තිබේ. ක්‍රීඩා අමාත්‍යවරයාගේ දේශපාලනික ඇඟිලි ගැසීම් සහ රාජපක්ෂ පුත්‍රයන්ගේ බලපෑම් නිසා දෙපිල බෙදි සිටින නිලධාරීන්ගේ යටිකුට්ටු වැඩ නිසා හෙට අනිද්දාට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ ජාත්‍යන්තර රගර් සම්මේලනය, ශ්‍රී ලංකාවේ රගර් ජාත්‍යන්තරයට තහනම් කිරීමට පියවර ගතහොත් පුදුම විය යුතු නැත. රගර් පරිපාලනයේ වත්මන් අර්බුදය ඇති වුයේ මෙහි ගෙවල පෙරේතයන් මෙන් හිටපු දුෂිත නිලධාරීන් විනාශ කළ සම්මේලනය යළි ගොඩනැඟීමට අනෙක් කණ්ඩායමක් පියවර ගැනීම නිසාය. මෙහි ප්‍රතිපලයක් ලෙස පසුගිය දෙසැම්බරයේදී ක්‍රීඩා ඇමැති හිටි හැටියෙම කිසිදු සාධාරණ හේතු දැක්වීමකින් තොරව රග්බි සම්මේලනයේ සභාපති රිස්ලි ඉල්ලියාස් එම සභාපති තනතුරෙන් පහ කිරීමට කටයුතු කර තිබිණි. මෙහිදී රග්බි සම්මේලනයේ වෙනත් ගැටළුවක් සම්බන්ධයෙන් ආසියානු රග්බි සම්මේලනය විසින් පරීක්ෂණයක් පැවැත්වීම නිසා ඔහුව තනතුරෙන් ඉවත් කිරීමක් ගැන කියා තිබිණි. නමුත් එම හේතුව නිසා නම් ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රියාත්මක වූයේ, රග්බි සම්මේලනයේ අනෙක් නිලධාරීන්ටත් තහංචි දැමිය යුතුය. එහෙත් සභාපතිවරයා පමණක් ඉලක්ක කර ඔහුව ධුරයෙන් ඉවත් කිරීම මුළුමනින්ම රග්බි ක්‍රීඩාවට අරක් ගෙන සිටින රාජපක්ෂ පුත්‍රයන්ගේ වුමණාව ඉ‍ටු කිරීමක් බවට චෝදනාවක් තිබේ.

මේ වන විට සම්මේලනය විසුරුවා හැරීම ඇමැතිවරයාගේ අත්තනෝමතික තීන්දුවක් බවට චෝදනාවක් තිබෙන අතර මෙය ක්‍රීඩාවට කළ අයුතු දේශපාලනික බලපෑමක් බවද පෙනෙන්නට තිබේ. ක්‍රීඩා අමත්‍යාංශ මට්ටමින් හෝ මෙම ගැටළු විසඳා ගැනීමට කටයුතු නොකර කෙලින්ම ආසියානු රග්බි සම්මේලනයට මෙම පැමිණිල්ල ගොනු කිරීමද මේ හිටපු දූෂිත නිලධාරීන්ගේ කටයුත්තක් බව අනාවරණය වී තිබේ. එසේම එම තත්වයන් ඔඩු දුවා ගොස් ආසියානු රග්බි සම්මේලනයේ සභාපතිගේ සහ ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සභාපති රිස්ලි ඉල්ලියාස් අතර ඇතිව තිබෙන පෞද්ගලික තරහක් ද මේ තත්වයට හේතු වී ඇති බවත් දැන ගැනීමට තිබේ.

කෙසේ නමුත් අක්‍රමිකතා සහ මේ අයගේ අයුතු බලපෑම නිසා රග්බි සංගමයේ කටයුතු මුලු‍මනින්ම ව්‍යාකූල කිරීම සිදුව තිබිණි. ඒ අනුව පසුගිය කාලයේ කොරියාවේ පැවැති කාන්තා සහ පිරිමි සත් සාමාජික රග්බි තරගාවලියටත්, ඩුබායි හි පැවැත්වුණු පිරිමි සත් සාමාජික තරගාවලියටත් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ශ්‍රී ලංකා ධජය යටතේ ඉදිරිපත්වීමේ වරමද අහිමි විය. එම කණ්ඩායම් ඒ සඳහා ඉදිරිපත් වූයේ ඔලිම්පික් ධජය යටතේ රටක් නියෝජනය නොකරන “කල්ලතෝනි” කණ්ඩායමක් ලෙසය. මෙමගින් රටට වූ අපකීර්තියට වග කිවයුත්තේ රග්බි පවුලක බූදලයක් කර දීමට දත කන දුෂිත නිලධාරී මාෆියාවය. මේ දුෂිතයන් රග්බි සංගමය විවිධ ආයතනයන්ට රුපියල් මිලියන 55ක ණයකාරයෙක්ද කරනු ලැබ තිබිණි.

කොහොම නමුත් ලංකාවේ ක්‍රීඩාවට අද වළපල්ලට යන්නේ ක්‍රීඩාවට අරක්ගෙන තිබෙන විවිධ මා‍ෆියා කල්ලිවල බලය නිසා ක්‍රීඩා ඇමැතිවරයාට කරන්න දෙයක් නොමැතිවීමද නැතිනම් මේ ඇමැතිවරයාත් මේ මාෆියාවල කොටස්කාරයෙක් නිසාද යන්න ගැන කුකුසක් අද ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ඇතිව තිබේ. කොහොම නමුත් රටේ ක්‍රීඩාව මේ දේශපාලනික සහ සංගම් මාෆියාකරුවන්ගෙන් බේරාගැනීමට නොහැකිවීම, ක්‍රීඩාව වළපල්ලට යෑමේ ප්‍රධාන හේතුව වශයෙන් අදත් පවතින බව පැහැදිලි කරුණකි.

වැරදි ප්‍රතිපත්ති වැඩපිළිවෙලවල් සහ ජාවාරම්කාර දේශපාලනය නිසා රට බංකොලොත්වීම අද ආපසු හරවන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දුෂ්කර සහ දැවැන්ත උත්සාහයක් ගනිමින් තිබේ. එය පැහැදිලිව පෙන්වමින්ද තිබේ. නමුත් ඒ බාධක රැසක් අභිමුව ඊට එරෙහිව දෘඩ පිළිවෙතක හිඳිමින්. ඒ අනුව සිස්ටම් චේන්ජ් කර ජයග්‍රාහි ඉලක්ක හඹා යෑම සිදුවෙමින් තිබේ. ඊට ජාත්‍යන්තරයෙන් අවශ්‍ය සියළු පහසුකම්ද සලසා තිබේ. නිවැරදි දෙය සිදුවෙනවා නම් ජාත්‍යන්තරය, රටේ සවියට ඉන්නා බව ඒ අනුව පැහැදිලිය. අද ක්‍රීඩා ක්ෂේත්‍රයට අවශ්‍ය වන්නේත් එවැනිම මැදිහත්වීමකි.

  • ප්‍රභාත් ජයසුමන