මූල්‍ය අරමුදලේ ණය ගිවිසුම පාර්ලිමේන්තුවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටි ඩොලර් බිලියන 2.9 ක ණය වාරිකය අනුමත වීමට නියමිතව ඇත්තේ ලබන 20 දා ය. රාජ්‍ය සේවක වැඩ වර්ජනයක් පැමිණෙන්නේ ඊට දවස් පහකට පෙරය. වර්ජනයට පෙර ජනපති රනිල් වික්‍රමසිංහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වර්ජනයට දායක වන කණ්ඩායම් කිහිපයක් මුණ ගැසීමට කටයුතු කළේ මෙම ගැටළුව සාකච්ඡාවෙන් විසදා ගැනීම අරමුණු කර ගනිමිනි.

ජනපති රනිල්ට අමතරව ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනපති ලේකම් සමන් ඒකනායක හා ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය ද වෘත්තීය සමිති නායකයන් වෙන වෙනම මුණ ගැසුණේ වර්ජනයකින් තොරව ගැටළුව විසදා ගැනීම උදෙසාය.

එහෙත් වෘත්තීය සමිති මස් රාත්තලම ඉල්ලා සිටීම හේතුවෙන් රජය ද ඊට මුහුණදීමට සුදානම් වූවේය. එම ගලඋඩ සටනේ තීරණත්මත දිනය වූවේ ඉකුත් 15 දාය. සදුදා දිනයෙන් වැඩි කොටසක් ජනපති වෙන් කෙරුවේ වර්ජකයන් සමඟ සාකච්ඡා කිරීමටය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ පැවැති සාකච්ඡා ධනාත්මකව අවසන් වුවේය. සාකච්ඡා කළ කරුණු ගැන ජනපතිගේ පාර්ශවයෙන් ලිපියක් අවශ්‍ය බව වෛද්‍ය නිලධාරී සංගමය දැනුම් දී තිබුණේ ජනපති සමඟ පැවැති සාකච්ඡාවෙන් පසු ජනපති ලේකම් සමඟ පැවැති සාකච්ඡාවේදීය.

දෙවන සාකච්ඡාවට ජනාධිපති ලේකම් හා ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සමරතුංග ද එක්ව සිටියහ. ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ද ජනපති උපදෙස් මත බැංකු නියෝජිතයන් වෘත්තීය සමිති ප්‍රධානීන්, වෛද්‍ය වෘත්තිකයන් රැසක් සමඟ සාකච්ඡා පැවැත්වූ අතර ඔහු එන අතරතුර ප්‍රකාශ කළේ එකම කතාව එක් දිගට කියාම එපා වූ බවය.

“මගේ කතාව ටේප් කරලා මේ අයට දාන්න බැරිද? බදු සංශෝධනය ගැන පැහැදිලිකරලම කට රිදෙනවා” කාර්ය මණ්ඩල ප්‍රධානියා කියද්දී එහි සිටි නිලධාරීන් කොක් හැඩලූහ.

එහි සිටි නිලධාරියෙකු කීවේ සර් ගේ කට රිදුනත් බදු ගැන කියූ දේ නිසා වෘත්තීය සමිති නියෝජිතයන්ගේ අදහස් වෙනස් කිරීමට හැකිවූ බවය.

ජනපති රනිල් සදුදා සවස ජනපති ලේකම් සමන් ඒකනායකට උපදෙස් දුන්නේ තැපැල් සේවය ද අත්‍යාවශ්‍ය සේවයක් බවට පත් කරන ලෙසය. එහි සිටි වජිර ක්ෂණිකව අත්‍යවශ්‍ය සේවා පනතේ ඇති වගන්ති කිහිපයක් සිහිපත් කළේ මතු සූදානමටය.

“මේ පනත අනුව අත්‍යවශ්‍ය සේවා නියෝග කඩ කරන අයගේ දේපළ රාජසන්තක කරන්න පුළුවන්.” වජිර කියද්දී ජනපති හිස සැලුවා විනා කිසිවක් කීවේ නැත.

නීති ක්ෂේත්‍රයේ වසර 50 ක් සම්පූර්ණ කළ නීතිඥයන් වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංවිධානය කළ සම්මාන උළෙලට ජනපති රනිල් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය වෙත ගියේ සදුදා සවසය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය ද ඊට එක්ව සිටි අතර ඔවුන් දෙපළ නීති විද්‍යාලයේත්, කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේත් සමකාලීනයෝ වූහ.

නීතිඥ සංගමයෙන් ජනපති ප්‍රධාන ආරාධිතයා ලෙස නම් කිරීමට යෝජනා කළත් ජනපති දැනුම් දී තිබුණේ තමන් සම්මානලාභියෙකු බැවින් අගවිනිසුරු ප්‍රධාන ආරාධිතයා කරන ලෙසය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු වන ඩබ්ලිව්. ඩි.ජේ සෙනවිරත්න ද මෙහිදි සම්මාන ලැබූ අතර ජනපති සම්මානය ලබා ගත්තේ සිය පන්ති සඟයා වූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය අතිනි.

ජනපතිට සම්මානය හිමිවූවේ 50 වසර සැපිරූ සම්මාන ලැයිස්තුවේ 09 වැනි නීතිඥයා ලෙසටය. එහෙත් සෙසු සම්මානලාභින්ට හිමි අත්පොලසන් නාදය පරයා දැඩි අත්පෙළසන් නාදයක් ඔහුට හිමිවූවේ මුළු ශාලාවම ගිගුම් දෙවමිනි.

සම්මාන ප්‍රධානෝත්සවයෙන් පසු පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයට ද සහභාගී වූ ජනපති රනිල් සිය පැරණි මිතුරන් අසලටම ගොස් කතා බහ කිරීමට අමතක නොකළේය. රාත්‍රී භෝජනය සංගීතයෙන් රසවත් වෙද්දී නිතිඥයෙකු මෙන්ම ජනප්‍රිය පොප් ගායෙකු ද වන ෂොහාන් වීරසිංහ අසලට ගිය ජනපති මුලින්ම ඔහුට සුබ පැතුවේ නිති දිවියේ 50 වසර වෙනුවෙන් ලද සම්මානයටය. ඉන් නොනැවතී ජනපති ඔහුට ගීයක් ගායනා කරන ලෙසට ආරාධානාවක් ද කළේය.

ජනපතිගේ ආරාධනාව ඉතසිතින් පිළිගත් ගායක ෂෙහාන් ද විජය තුමාරතුංගයන්ගේ රැල්ලෙන් රැල්ලට ගීතය ගායනා කරනු ලැබුවේ සැමගේ අත්පොලසන් හඩ මධ්‍යයේය. ජනපති ද අත්පොලසන් දෙමින් තාලය අල්ලමින් ගීතය රස වින්දේ අන් අය හා එක්වෙමිනි . මාධ්‍යම රාත්‍රියට ආසන්න වනතුරුම ඔහු එහි ගත කලේ පැරණි සගයන් සමඟ අතීත මතක ආවර්ජනා කරමිනි.

මේ අතර තුන් වන ධුර කාලය වෙනුවෙන් තේරි පත්වූ චීන ජනපති ෂි ජින් පින්ට සුබ පැතුම් එක් කරන්නට ද ජනපති අමතක නොකළේය.

අගහරුවා දිනයේදි ද ජනපති රනිල්, කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල, ජනපති ලේකම් සමන් ඒකනායක ඇතුළු පිරිස වෘත්තීය සමිති නියෝජිතයන් හා කළ සාකච්ඡා සාර්ථක වූ අතර වෘත්තීය සංගම් රැසක් එම සාකච්ඡා හේතුවෙන් වර්ජනයෙන් ඉවත්ව සිටියෝය.

ජනපති ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් දෙනු ලැබූවේ වර්ජනය පැවැති දින සේවයට වාර්තා කරන කණ්ඩායම්වලට සහාය දෙන ලෙසය. එහිදි දුම්රිය හා වරාය සම්බන්ධයෙන් දැඩි පියවරක් ගන්නා ලෙසට ද ජනපති රනිල් ජනපති ලේකම් ඇතුළු පිරිසට උපදෙස් දුන්නේය.

බොහෝ ආයතනවල නිවාඩු අවලංගු කර තිබූ බැවින් පිළිගත හැකි කාරණයක් හැරුණු කොට සේවයට වාර්තා නොකරන සැමගේ දෛනික වැටුප කප්පාදු කරන ලෙසට කම්කරු කොමසාරිස් උපදෙස් දී තිබුනි. එදින ලංකා බැංකුවේ සහාය මත මෙරට දී එකලස් කරන ලද යතුරු පැදි කිහිපයක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පිළිගැන්වීමේ අවස්ථාවට ද ජනපති එකතු වූවේය.

එදින චීනයේ ප්‍රධානතම ඛනිජ තෙල් සැපයුම්කරුවා වන සිනොපෙක් සමූහයේ නියෝජිතයන් ජනපති ඇතුළු පිරිස මුණ ගැසුනේ මෙරට ඛනිජ තෙල් බෙදා හැරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. ඛනිජ තෙල් නිෂ්පාදනය, ගබඩා කිරීම හා බෙදා හැරීම සම්බන්ධයෙන් යෝජනාවලියන් සිනොපෙක් නියෝජිතයන් විසින් ජනපතිට බාර දුන්හ.

ඉන් පසු ජනාධිපතිවරයා චීන රජයෙන් මෙරට පොලිසිය වෙත පරිත්‍යාග කරන ලද නිල ඇදුම් තොගයක් බාර ගැනීමේ අවස්ථාවට ද එකතුවූවේ ඇමති ටිරාන් අලස් සමගිනි. මෙහිදි චීන නියෝජිතයන් ජනපති හා ටිරාන්ට පොරොන්දු වූවේ පොලිස් සේවාව ගුණාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය සහාය ලබා දෙන බවටය.

වර්ජනය පැවැති දින සවස ජනපති ලේකම් කාර්යාලය වෙත පැමිණි මැති ඇමතිවරු පිරිසක් ඒ සම්බන්ධයෙන් ජනපති හා සාකච්ඡා කළහ.

“රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වර්ජනය අවසන් කරන්න තීරණය කරලා. එයාලට ජනාධිපතිතුමාගෙන් ලියුමක් ලැබුණා කියන්නේ.” කතාව ආරම්භ කළේ වජිරය.

“එයාලා දෙකට බෙදිලා ඉවරයි. ජනතාව දන්නවා මෙයාලා දේශපාලන හා පෞද්ගලික උවමනාවක් කරන්නේ කියලා.” ඇමති බන්දුල ද කීවේය.

“වරායෙත් එස්.ජේ.ටි එකයි. සි.අයි.සි.ටි එකයි වැඩ කලා. මේ නිසා බහාලුම් ප්‍රවාහනයට ගැටලුවක් වුනේ නෑ. හැබැයි ප්‍රධාන නෞකාවල සේවකයන් ගෙනියන වරායේ කුඩා යාත්‍රවල කපිතාන්ලා නම් ඔවුන්ව ගෙනි යන්න බෑ කියලා තියෙනවා. හැබැයි අපි නාවුක හමුදාවේ සහාය අරගෙන සේවකයන් නෞකාවලට යැව්වා. ඒ නිසා ගැටලුවක් වුනේ නෑ.” කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල ද පිළිතුරු දුන්නේය.

“වරායට අයිති ජේ.සී.ටි එකේ අය වැඩ කළේ නෑ. නමුත් ඒක ලොකුවට දැනුනේ නෑ. මොකද විශාල නෞකා මේ පර්යන්තයට එන්නේ නැති නිසා.” ඇමති ශෙහාන් සේමසිංහ ද කතාවට එකතුවූවේ එලෙසිනි.

“ලාල් කාන්ත එකක් කියනවා. වසන්ත සමරසිංහ තව එකක් කියනවා. සේවකයෝ මේවා තේරුම් ගන්න ඕනේ.” ඇමති බන්දුල කීවේ එවැනි කතාවකි.

මේ අතර ජනපති රනිල් වෙත පැමිණි නිලධාරියෙකු කීවේ රාජ්‍ය සංස්ථා හා දෙපාර්තමේන්තු සතුව මහජන බැංකුවේ පවතින ගිණුම් වෙනත් බැංකුවලට මාරු කිරීමට ඉල්ලා සිටින බවති.

“ඔව් මටත් කතා කළ පෞද්ගලික ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙකුත් ඔය කතාව කිව්වා.” වජිරද හූ මිටි තැබීය.
ජනපති රනිල් වහාම මේ ගැන සොයා බලා වාර්තා කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය. බ්‍රහස්පතින්දා ජනපති මුදල් අමාත්‍යාංශය වෙත ගියේ ආර්ථික ප්‍රගතිය පිළිබදව සාකච්ඡා කිරීමටය. එහිදි අයි.එම්.එෆ් සහතිකය ලැබීම ගැනත් ඉන් පසුව කටයුතු කරනා ආකාරය ගැනත් සාකච්ඡා කරනු ලැබීය.

“වර්ජනය වෘත්තීය සමිති හිතපු තරම් සාර්ථක වූනේ නෑ. වෘත්තීය සමිති බලාපොරොත්තු වූ තක්සේරුව ලැබුණේ නෑ.” මුදල් රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ කීවේ එවැන්නකි.

“වරායත්, දුම්රිය රියදුරනුත් යම් බලපෑමක් කරන්න උත්සාහ කළත් ගැටළුවක් නොවන ලෙස කටයුතු කරන්න ජනාධිපතිතුමා මැදිහත් වෙච්ච නිසා හැකි වුනා. දැනට රුපියල් බිලියන 40 ට වැඩි පාඩුවක් වෙලා තියෙන බවට වාර්තා වෙනවා.” රංජිත් සියඹලාපිටිය කීවේ තමන් මෙය මාධ්‍යයට ද කියූ බව පවසමිනි.

මෙහිදි ජනපති තමන්ට පෙර දින දැනගන්නට ලැබුණු මහජන බැංකුව පිළිබඳ තොරතුර ද හෙලි කළ අතර ඒ ගැන සොයා බලන ලෙස ද නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනපති මුදල් අමාත්‍යාංශ නිලධාරීන් හමුවේ පවසා සිටියේ ලබන 20 දා මූල්‍ය අරමුදලේ ණය අනුමැතිය ලද පසු එම ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කරන බවකි. ඉන් පසු ගත යුතු පියවර පිළිබඳව සකස් කර ඇති සැලසුම් වහාම ආරම්භ කරන ලෙස ද ජනපති උපදෙස් දුන්නේය.