බදු ප්‍රතිපත්තිය අසාධාරණ කියලා කවුරුවත් ගනන් හදලා පෙන්වලා නෑ

0

රටේ පවතින ආර්ථික තත්වයත් සමග උග්‍ර වන ජීවන වියදම් හමුවේ ඍජු බදු වැඩි කිරීමට ගන්නා ප්‍රතිපත්තිමය තීන්දුවලට සමාජයෙන් දැඩි විරෝධයක් එල්ල වීම සාමාන්‍ය දෙයක්. මුත් මේ අවස්ථාවේදී රජයක් වශයෙන් නැගී සිටීමට නම් රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම අත්‍යවශය දෙයක් ලෙස සැලකිය හැකිය. නමුත් ලංකාවේ බදු ගෙවිය යුතු බොහෝ දෙනකේ බදු නොගෙවන බව මෙන්ම ලෝකයේ අනෙක් රටවල්වලට සාපේක්ෂව අපගේ බදු ශ්‍රී ලංකාවේ බදු ආදායම පහළ අගයක් ගන්නා බව අප කවුරුත් දන්නා සත්‍යයකි.

එහෙත් මෙම නව බදු ප්‍රතිපත්තියත් සමඟ ඊට එරෙහිව ව්‍යාජ මත සංසරණය වීම සිදුවෙමින් තිබේ. ඒ අනුව තමන්ට අදාළ වුවද නොවූවද අහේතුකව බදු අය කිරීමට විරුද්ධව වැඩවර්ජන කිරීමට පවා බොහෝ දෙනෙක් පෙළඹී සිටිති. නමුත් ජනාධිපතාවරයා පවසන්නේ වත්මන් බදු ප්‍රතිපත්තිය සාමාන්‍ය බදු ප්‍රතිප්තියක් නොව ගලවා ගැනීමේ තාවකාලික මෙහෙයුමක් බවයි. එම නිසා මෙම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ඇතුළත්වීමට නොහැකි වනවා සේම නැවත රට බංකොලොත් භාවයෙන් මුදවා ගැනීමට තිබෙන අවස්ථාවත් අහිමි විය හැකිය. එසේම ශ්‍රී ලංකාවට කිසිඳු විදෙස් රටක් සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාවද අහිමි වන බව බවත් ඔහු පෙන්වා දී තිබේ.

ආදායම් බදු අය කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු විරෝධතා දක්වා වර්ජන සිදු කළද මේ වන විටත් ව්‍යාපාර කරමින් තමන්ගේ ආයතනය තුළ රැකියා උත්පාදනය කරමින් ඔවුන්ට ද පඩි නඩි ගෙවමින් බදුත් ගෙවමින් තමන්ද ආදායම් බදු ගෙවන පිරිස් ලංකාවේ සිටිති. එසේම ඉහළ වැටුප් ලබන පෙෘද්ගලික අංශයේ නිලධාරීන්ද මේ බදු ගෙවීම කරති. ඔවුන් බදු අය කිරීම සම්බන්ධයෙන් විරෝධතා දක්වන්නට මහ මගට බසින බවක් දක්නට නැත. ඒ අනුව ඔවුන් ලබන ආදායම් කුමන් අගයක් ගත්තද එයට බදු ගෙවිය යුතු වේ. නමුත් රජයේ සේවයේ නියුතු අයගෙන් ආදායම් බදු අයවීමකට ලක් වන්නේ ඉතා සීමිත පිරිසකි. එයත් අවම බදු ප්‍රතිශතකට යටත්වය.

මෙම බදු ප්‍රතිපත්තියේ අප කවුරුත් කතා නොකරන පැතිකඩක් පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මහාචාර්ය තිෂාන් ජයසිංහ මහතා පෙන්වා දී තිබිණි. ඒ යූටුයුබ් නාලිකාවකට අදහස් දක්වමිනි. එහි ඇති වැදගත්කම නිසා එයින් කොටස් කිහිපයක් අප උපුටා පළ කරමු.

”..මේ රටේ ජනගහනයෙන් 30%ක් ජීවත්වන්නේ කෘෂිකර්මානතයෙන්. තවත් මිලියනයක පමණ ප්‍රමාණයක් ජීවත් වන්නේ රියදුරන් වශයෙන් සේවය කරමින්. මිලියන 4.5ක් මාසික වේතනයෙන් ජීවත්වන පුද්ගලයන්. එයින් මිලියන 2.2ක් පමණ මාසෙකට රුපියල් 50000කට අඩුවෙන් ආදායමක් ලබන අය. ඒ අනුව මිලියන 4.5න් මිලියන 4කම ආදායම ලක්ෂෙට අඩුයි. ඒ කියන්නේ 50,000 ට අඩු ලක්ෂ 20කුත් 50,000-100,000 අතර තවත් ලක්ෂ 20කුත් ඉන්නව. මෙම ආර්ථික තත්වය නිසා දැඩි ලෙස පීඩනයට ලක් වුණේ 50,000ට අඩුවෙන් ආදායම් ලබන විශේෂයෙන්ම බස්නාහිර ප්‍රදේශයේ ජීවත්වන පුද්ගලයින්.

ඊට අමතරව රටේ ඉන්නව වෘත්තිකයන් රුපියල් ලක්ෂයකට වැඩි වැටුපක් ලබනව. ඒකෙත් කොටස් 2ක් සිටී. එකක් තමන්ගෙ පඩියම රුපියල් ලක්ෂයයි. අනෙක් කොටස තමන්ගේ පඩිය ලක්ෂෙට අඩුයි. නමුත් තමන්ගේ අතිකාල වැඩ කරල ගන්න දීමනා එක්ක ආදායම ලක්ෂයට වැඩී. මේ හැමෝම ආදායම් බදු ගෙවන්න ඕන. 2015 වගේ කාලෙක ඉදල මේ හැමෝම ආදායම් බදු ගෙවීමට යටත් වුනා. ඒ කාලෙ තිබ්බ ආදායම් බද්දට අනුව 100,000-140,000 දක්වා 4%කුත් 140,000-180,000 දක්වා 8%කුත් 180,000-220,000 දක්වා 12%කුත් බදු ගෙව්වා. 2020 ජනවාරි මාසේ බදු ප්‍රතිපත්තිය ලිහිල් කළ නිසා ඔවුන් බද්දෙන් නිදහස් වුණා. 2018, 2019 දී ලක්ෂ 2ක් ගත්ත කෙනෙක් මාසෙට 5000ක් විතර ගෙව්වා. 2020 ඉදල 2022 අග වෙනකන් එයාලා බදු ගෙව්වේ නෑ. 2023 ජනවාරි මාසෙ ඉදල රුපියල් ලක්ෂ 2ක ආදායමක් ලබන කෙනෙක් දැන් රුපියල් 10,500ක බද්දක් ගෙවන්න ඕනේ. 2019 යි 2023 යි සැසදුවොත් 2019දී මාසෙට රුපියල් 5000ක් බදු ගෙව්ව කෙනෙක් 2023දී රුපියල් 10,500ක් බදු ගෙවනව.

රජයේ රැකියා කරන වෘත්තිකයන් ගත්තොත් ඉංජිනේරුවන්, මිනින්දොරුවන්, වෛද්‍යවරුන් ඉන්නව. සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් ගත්තොත් අතිකාල සහ දීමනා සමග ආදායම රුපියල් 120,000-180,000 අතර වෙනව. ඊට වැඩිය ගන්න අයත් ඉන්න පුළුවන්. එසේ ගත් විට වෛද්‍යවරු බොහෝ දෙනක් තදින්ම කියා සිටිනව වැඩ වර්ජනයකට යනව කියල. ඇත්තටම අද 180,000ක් ගන්න කෙනා එදා 160,000ක් ගන්න ඇති. එදා රුපියල් 4000ක් විතර බදු ගෙව්ව කෙනෙක් අද රුපියල් 8000ක් බදු ගෙවනව. එතකොට අපිට අහන්න තියෙන ප්‍රශ්නය තමයි මේ රුපියල් 4000 නිසාමද මේ තරම් දැඩිව මේ බදු ප්‍රතිපත්තියට එරෙහිව සටන් කරන්නේ කියල. බොහෝ දෙනෙක් 36%ක බදු ගැන කතා කරනව. එදා තිබ්බේ සියයට 4, 8, 12, 16, 20, 24 යි. අද තියෙන්නේ සියයට 6, 12, 18, 24, 30, 36යි. ඔය කියන 36% ලක්ෂ 2ක් වැටුප් ගන්න කෙනාට අදාළ නෑ. එයාට අදාළ සියයට 6, 12, 18 පමණයි. 250,000, 300,000 ගන්න අයට තමයි සියයට 20, 24, 30 අදාළ වෙන්නේ. 350,000-400,000ක් ගන්න අයට තමයි 36% අදාළ ව්නනේ.

රජයේ සේවයේ නියුතු පුද්ගලයන්ගෙන් ඉතාම අතළොස්සකට තමයි 36% අදාළ වෙන්නේ..ඇත්තටම ලක්ෂ 2ක් වැටුප් ගන්න කෙනෙක් 10,500ක් බද්දක් හැටියට ගෙවනකොට එයා ගෙවල තියෙන්නේ 5%ක බද්දක්. 2019දි අයකලේ 3%ක පමණ බද්දක්. 2022දි 5.5%ක බද්දක්. එතකොට අහන්න ඕන ප්‍රශ්නය තමයි මේ 3% සිට 5.5% දක්වා බද්දක් වැඩි වුණාම වැඩ වර්ජනයක් කරල විරෝධය දක්වන්න තරම් හේතුවක්ද කියල? මොකද අපි දන්නව මේ බොහෝ දෙනෙක් අපේ රටේ සම්පත් ඉහළින්ම භුක්ති විඳපු අය. අපි ගත්තොත් සාමාන්‍යපෙළින් උසස්පෙළින් පස්සේ බොහෝ දෙනෙක්ට නිදහස් අධ්‍යාපනය නැති වෙනව. දැන් අපේ ඉන්න වෘත්තිකයන් ගත්තොත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් වන තුරුම අධ්‍යාපනය ලැබුවේ නිදහස් අධ්‍යාපනයෙන්. ඒ විතරක් නෙමේ මහපොළ ශිෂ්‍යත්වයත් ගන්නව. ඉතින් ඒ වගේ කරපු කෙනෙක් බදු ප්‍රතිපත්තිය ලිහිල් කරල ගෙවුණු 2020-2022 කාලය ඒ අවුරුදු 3 අමතක කරන්න ඕනේ. මොකද ඒ අවුරුදු 3දි බදු ප්‍රතිපත්තිය ලිහිල් කරපු නිසා තමා අපිට මේ ලොකු ප්‍රශ්නවලට මුහුණපාන්න සිදු වුනේ. බදු ප්‍රතිපත්තිය ලිහිල් කරපු නිසා ඒ අවුරුද්දෙදි රුපියල් බිලියන 500ක ආදායමක් රජයට අහිමි වුණා. ඒ ආදායම අඩු වීම නිසා ලෝකෙම දැක්කා මේ රටේ ආර්ථිකය කඩා වැටෙන්න යනවයි කියල. .ලෝකෙ පිළිගැනීමක් තියෙන්නේ බදු ගෙවන රටවල්වලට විතරයි. ඍජු බදු හෝ වක්‍ර වෙන්න පුළුවන් මිනිස්සු බදු ගෙවනවනම්, රජයට විශාල ආදායමක් තියෙනවනම් විතරයි ලෝකයේ ඒ රජයන් පිළිබඳව පිළිගැනීමක් තියෙන්නේ. එහෙම ගෙවන්නේ නැති රටවල්ලවට පිළිගැනීමක් නෑ. ඉතින් අපි පැහැදිලිව දැක්කා බදු ගෙවන එක නැති වුණා විතරයි අපිට පිළිගැනීමක් නැති වුණා. රුපියල කඩා වැටුණා. අපි විශාල ආරථික කඩා වැටීමකට මුහුණ පෑවා.

අද වන විට විරෝධය දක්වන හැමෝම කියනවනේ අපි බදු ගෙවන්න විරුද්ධ නෑ කියල. හරියටම ඇහුවොත් මොකටද විරුද්ධ කියල ඒ ගෝල්ලෝ දන්නෙත් නෑ මොකටද විරුද්ධ කියල. හැමෝම අසාධාරණ බදු ප්‍රතිපත්තිය කියනව මිස අද වෙනකන් කවුරුත් කියල නෑ මොකක්ද මේකේ අසාධාරණේ කියල. හැමදාම දෙන උදාහරණයක් තමයි 36%. නමුත් ඒ 36% රජයේ රැකියා කරන බොහෝ දෙනෙක්ට අදාළ නෑ. ඒ වගේම වරායේ හරි දුම්රිය දෙපාර්තමේන්තුවේ හරි අතිකාල කරල බදුවලට යටත් වුණ පිරිස් ඉන්නවනේ ලක්ෂ 1.5, 2 අරගෙන. ඒ ගොල්ලන්ට 36% අදාළ නෑ. 36% අදාළ වෙන්නේ ලක්ෂ 4, 5, 6 ගන්න අයට. වැඩිම උනොත් ලංකාවෙම 20,000ක් ඇති රුපියල් ලක්ෂ 4ට 5ට වැඩිය වැටුප් ගන්න. ඒ ගොල්ලන්ට තමයි මේ 36% බලපාන්නේ. . අපි මේ ඈතින් බලල අසාධාරණයි කියල කිව්වට කවුරුත් මේක ගණනයක් කරල අසාධාරණයි කියල නෑ. මේක ගණනය කරොත් අසාධාරණයක් වෙලා නෑ. අසාධාරණයක් වෙලානම් වෙලා තියෙන්නේ විශාල පඩියක් ගන්න අයට. උදාහරණයක් ගත්තොත් විදුලිබල මණ්ඩලයේ උසස්ම නිලධාරියෝ, උසස්ම ඉංජිනේරුවෝ රුපියල් මිලියනයක විතර පඩියක් ගන්නව. මිලියනයක් පඩි ගන්නවනම් ඒ අයට 285,000ක් විතර ආදායම් බද්දක් ගෙවන්න වෙනව. ඒ අයගේ පැත්තෙන් ගත්තම හොයන්න ඕන ඒ අයගේ ගෙදරට ලැබෙන ආදායම කොපමණද කියල. ඒක ලක්ෂ 7ක්. ඒ වගේ අය යම් කිසි බද්දක් ගෙව්ව කියල ඒක ලොකු වැරුද්දක් කියන්න බෑ.

විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය ගත්තම ඒ අයගෙත් ඉන්නව ලක්ෂ 3, 4, 5, 6 පඩි ගන්න අය. ඒ අයටත් ආදායම් බදු බලපානව. උදාහරණයක් ගත්තොත් මම, 2018-2019 කාලෙ මාසෙට රුපියල් 60,000ක බද්දක් ගෙව්වා. ඒක රුපියල් 20,000කට 25000කට අඩු වුණා 2020- 2022 කාලෙදි. අද මම රුපියල් 120,000ක බද්දක් ගෙවනව හැම මාසෙම. 2019 දි 60000ක් ගෙව්වා. අද මම 120000ක් ගෙවනව. එහෙම බැලුවම මට විශාල කණගාටුවක් ඇති කරගන්න බෑ. මොකද මම ඉස්සරත් බදු ගෙව්වා. 2021 ගෙව්ව බද්දයි අද ගෙවන්න වෙන බද්දයි සන්සන්දනය කරොත් ලොකු වෙනසක් තියෙනව. නමුත් ඒක අපිට කරන්න බෑ. මොකද අපි දන්නව එය සම්පූර්ණයෙන්ම ආර්ථිකය කඩා වැටෙන්න බලපෑ බදු ප්‍රතිපත්තියක් ලෙසට.

අපිට තිබුණු ආර්ථික අවපාතය මත බොහෝ දෙනෙක් දැඩිව කම්පාවට පීඩනයට ලක් වුණා. ඉතින් අපි පීඩනයට පත්වෙලා ඉන්නකොට අපි ප්‍රශ්න පටලව ගන්නව. අපිට දැන් තේරෙන්නේ නෑ අපිට තියෙන ඇත්ත ප්‍රශ්නය මොකක්ද කියල. නමුත් අපිට පීඩනයක් තියෙනව. ඉතින් කවුරු හරි කිව්වොත් අපි රජයට විරුද්දව විරෝධත්වයක් දක්වනව කියල ඒ ගොල්ලෝ ඒකට එකතු වෙන්න ඉඩ තියෙනව. ඇත්තටම බැලුවොත් ඒ ගොල්ලන්ට කිසිම හේතුවක් තිබිල නෑ විරෝධතාවකට එකතු වෙන්න.

අපේ වෘත්තිකයන්ට අපේ රටේ විශාල වශයෙන් බදු සහන කලින් දීල තියෙනව. මේක සාමාන්‍යයෙන් හුග දෙනෙක් කියන්නේ නැති එකක්. එකක් තමයි තීරු බදු රහිතව හෝ තීරු බදු අඩුවෙන් ගෙවල වාහන ගෙන්වන්න වෘත්තිකයන් බොහෝ දෙනෙක්ට බලපත්‍රයක් ලබා දීල තියෙනව. ඒක 2007දීත් ලබා දුන්නා. 2012, 2013 කාලෙත් ලබා දුන්නා තව එකක්. 2017,2018 කාලෙත් ලබා දුන්නා. එතකොට 2017, 2018 කාලේ බිලියන 3.6ක බදු සහන මේ වෘත්තිකයන්ට ලබාදීල තියෙනව. මේ විදිහට බැලුවම අපි බිලියන 5ක 6ක බදු සහන රජයෙන් ලබාගත්ත අය. එතකොට රජය කිව්වම රුපියල් 5000ක් වැඩිපුර ගෙවන්න කියල අපි බලන්න ඕන අර තරම් බදු සහන අපි ලබල තිදේදිත් රුපියල් 5000ක් 6000ක් වැඩිපුර ගෙවන්න කියන එකට දැඩි විරෝධයක් දැක්වීම කොයි තරම් සාදාරණද කියල?.

ඇත්තටම දෙවන ලෝක යුද්දෙන් පස්සේ ජපානය අතිශය දරුණු විදිහට විනාශ වෙලා තිබුණේ. නමුත් එතනදි ජපානයේ වැසියන් දරුණු තීරණත් අරගත්තා. ජපානයේ ඒ වෙලාවේ විශාල ආහාර හිඟයක් තිබ්බා. ඒ වෙලාවේ ජපානයේ වයසක අය කිව්වා දැන් අපි ජීවත්වුණා ඇති දැන් අපි කඳුකරයට ගිහිල්ලා මැරෙනවයි කියල කඳුකරයට ගියා සමහරු. ඊට අමතරව ජපානයේ තරුණ අය විශාල උනන්දුවකින් වැඩ කරන්න පටන් ගත්තා. තමන් වැඩ කරන්නේ පෞද්ගලික ආයතනයක නෙමේ පෞද්ගලික ආයතනය මගේ ආයතනයක් වගේ හැඟීමකින් වැඩ කරලා තමයි ආවේ. ඉතින් අපිත් දැන් මේ වගේ වැටිල තියෙන්නේ අපිම වැරදි ප්‍රතිපත්ති පස්සේ ගිහිල්ලා නිසා. දැන් මේ වෙලාවේ ඉතින් අපිට ගොඩ එන්න තියෙන ක්‍රමය තමයි උනන්දුවෙන් වැඩ කරල පුළුවන් තරම් උත්සාහ දරන්න ඕන අපෙන් කරන්න පුළුවන් දායකත්වය මාතෘ භූමියට දෙන්න.

මහාචාර්ය තිෂාන් ජයසිංහ
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මොරටුව විශ්වවිද්‍යාලය (සිවිල් ඉංජිනේරු අංශය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *