ජනවරමක් නැතිව IMF ණය නොලැබේද ?

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම් ලබාගැනීමටනම් රටේ පැහැදිලි ජනවරමක් ඇති ආණ්ඩුවක් තිබිය යුතු බවත් ඒක නැති නිසා ණය දෙන්නේ නැති බවත් විපක්ෂය කියයි. විපක්ෂය මේ කතාව කියන්නේ බලය අත්පත් කරගැනීමේ පෙරේතකම නිසා නමුත් එම අදහස පළ කරන තැනට විපක්ෂය පත්ව ඇත්තේ, රට අර්බුදයෙන් මුදවා ගැනීමට ඉතිරිව තිබෙන එකම විසඳුම නැතිනම් විකල්පය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යෑම බව ඔවුනටද පිළිගන්න සිදුව තිබෙන නිසාය. එහෙත් ඒ ණය පහසුනම් ලබාගන්න නම් තමන්ව බලයට පත් කළ යුතු බව පවසයි. ඒ තමන්ව බලයට පත් කළහොත් පමණක් ජනවරම පැහැදිලි වෙන නිසා බව මේ ප්‍රකාශ මඟින් පැහැදිලිය.

ඊයේ පෙරේදා මහාචාර්ය ජී.එල්.පීරිස් මාධ්‍ය හමුවක් පවත්වමින් කීවේ මුල්‍ය අරමුදල ණය දෙන්නේ ස්ථාවර ආණ්ඩුවක් ඇති නම් පමණක් කියාය. වත්මන් ආණ්ඩුව ස්ථාවර නැති නිසා පාර්ලිමේන්තව විසුරුවා මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවත් කියා සිටියේය. කොහොම නමුත් පළාත්පාලන මැතිවරණය පැවැත්වීමෙන් ජවිපෙට ඇති බහුතර ජනවරම ප්‍රකාශයට පත්වීමෙන් පසුව මාර්තු 10 වනදා රනිල් එළවා දමා මහ මැතිවරණයකුත් ජනාධිපතිවරණකුත් පවත්වා ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවන බව අනුර කුමාර ද කියමින් සිටී. ඒ අතර මුල්‍ය අරමුදලේ නම නොකියා තෙවන පාර්ශ්වයක මැදිහත්වීමෙන් රටේ අර්බුදය විසඳාගැනීමේ පියවර ගන්නා බව කියයි. ජවිපෙ ඉතිහාසය මුළුල්ලේම මුල්‍ය අරමුදලට එරෙහිව කටයුතු කිරීම නිසා මේ මොහොතේ අරමුදලේ නම කීමට නොහැකි වීමේ ගැටලුවක් ජවිපෙට තිබෙනවා විය හැකිය. ඒ කෙසේ වෙතත් මුල්‍ය අරමුදල හැර වෙන විසඳුම් ජවිපෙටත් නැත. සජිත් ප්‍රේමදාස කියන්නේ දැනට ඇති මුල්‍ය අරමුදල සමඟ එකඟතා අහෝසි කර දමා අලුතෙන්ම සාකච්ඡා පවත්වා තමන් දමන කොන්දේසිවලට මුල්‍ය අරමුදල එකඟ කරගෙන, ණය ලබාගන්න කේසර සිංහයකු සේ කටයුතු කරන බවය. ඒ කොහොම නමුත් මහ මැතිවරණයක් පැවැත්වූවත් බහුතර බලයක් ලබාගැනීමේ හැකියාව කිසිදු කණ්ඩායමකට මේ මොහොතේ නැති බව බැලු බැලමටම පෙනෙන්න තිබෙන අතර ඒ අනුව ස්ථාවර ආණ්ඩුවක් යනු මේ මොහොතේ යථාවක් වන දෙයක් නොවේ. එය වෙනම කතාකළයුතුව තිබෙන්නකි. වැදගත්ම දේ මේ සියළු දෙනා මුල්‍ය අරමුදලේ සහය ලබාගැනීම හැර තමන්ටත් වෙන විසඳුමක් නැති බව නියමින් හරි අනියමින් හරි පිළිගැනීමය.

එහෙත් අර්බුදයට විසඳාගැනීමට මුලිකව විය යුත්තේ ජාතන්තර මුල්‍ය අරමුදල වෙත යාම නම් එය සාර්ථක කරගැනීමට වත්මන් ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට, විපක්ෂය ඉඩ නොදීම ගැටලු සහගතය. පැවැති ගෝඨා පාලනය තුළ මුල්‍ය අරමුදලට නොගොස් අර්බුදය විසඳන්න යෑම නිසා හත් පොළේ ගාගෙන ඒ පාලනයත් අවසන් කරගත්තේය. අරමුදල සමඟ සාකච්ඡා කරමින් සහයක් ලබාගැනීම වෙනුවෙන් මූලික එකඟතාවයකට කඩිනමින්ම පිවිසියේ වත්මන් ජනාධිපතිවරයාය. ඒ අනුව ණය ලබාගැනීම වෙනුවෙන් වන සාකච්ඡා සාර්ථක කරගනිමින් එහි අවසන් අදියරයටද පැමිණ තිබේ. මේ වන විටත් ගැටලුවකට ඇත්තේ චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සාකච්ඡා සිදුවෙමින් පැවැතීම පමණි. නමුත් ඒ ප්‍රශ්නය විසඳාගැනීමට මුල්‍ය අරමුදල, චීනය නොසලකා හෝ මෙරට උදව්කරන තැනකට නම්‍යශිලී වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ තැන දක්වා සියල්ල සාර්ථකව ගොඩනැඟුවේ වත්මන් ජනාධිපතිවරයා, ආණ්ඩුව, මහ බැංකු අධිපති ඇතුළුව වගකිවයුතු රාජ්‍ය නිලධාරීන්ය.

විපක්ෂය කියන ලෙස පාලකයාට ජනවරමක් තිබීම හෝ ස්ථාවර ආණ්ඩුවක් පිළිබඳ ගැටලුවක් මුල්‍ය අරමුදලට නැත. අරමුදල කටයුතු කරන්නේ පාලිත රාජ්‍යය සමඟ මිස ආණ්ඩුවක් හෝ පාලකයා සමඟ නොවේ. අරගල සමයේ මූල්‍ය අරමුදල මෙරට සමඟ සාකච්ඡාවෙන් ඉවත් වූයේ ඒ වන විට රට අරාජික වීම මතය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්වීමත් සමඟ සිව් දෙනෙකුගෙන් යුතු ඇමැති මණ්ඩලයක් කඩිනමින් පත්කර මෙම සාකච්ඡා යළි ආරම්බ කිරීමට කටයුතු කළේ එම මොහොතේ ස්ථාවර තබා අස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ සැකයක් තිබියදී නමුත් ඒ දේශපාලන අධිකාරිය සමඟ මුල්‍ය අරමුදල සාකච්ඡාවට ආවේය. මැතිවරණ පවත්වා ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවාගන්නා තෙක් එන්නේ නැතැයි කීවේ නැත.

ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කරන විට ජනවරම් ආණ්ඩු කියා දෙයක් අදාල නැත. අවශ්‍ය වන්නේ රටේ දේශපාලනය කිසිවකුගේ අධිකාරියකට යටත්ව රාජ්‍ය පාලන සිදුවීම පමණය. රට අරාජික නොවී පැවැතීමය. ඇෆ්ගනිස්ථානයේ ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වූ පාලනය පෙරළා දමා තලෙයිබාන් ත්‍රස්ත කල්ලිය බලය අත්පත් කරගෙන ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව ජාත්‍යන්තරය ඔවුන් සමඟ ගනුදෙනු ආරම්බ කළේ එම පාලනය පිළිගෙනය.

මේ නිසා ස්ථාවර ආණ්ඩුවක්, ජනවරමක් සහිත ආණ්ඩුවක් අවශ්‍යය යන්න විපක්ෂයේ ප්‍රචාරය කරන්නේ දේශපාලනික මිත්‍යාවකි. මෙවැනි මිත්‍යාවන් විශ්වාස කිරීම නිසා විනාශ වූ රටවල්ද ලෝකයේ ඕනෑ තරම් ඇත. මෙරටින්ම උදාහරණයකට ගතහොත් පසුගිය ගෝඨා පාලනය යනු දැවන්ත ජනවරමකින් පත්ව තුනෙන්දෙකක බලයක් සහිත ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා ගත් පාලනයකි. නමුත් ජාත්‍යන්තර සහය ඊට ලැබුණේ නැත. මන්ද ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කිරීමේ භාෂාව ඔවුන් නොදැන සිටි බැවිනි. ශ්‍රිලංකාව මෙන්ම විශාල මුල්‍ය අර්බුදයකට ගොදුරුව සිටි ග්‍රීසිය සහ ලෙබනනයත් මුල්‍ය අර්මුදලේ සහය ලබාගැනීමට ගත් උත්සාහයයන් මුල් අවස්ථාවේම කඩාකප්පල් වුයේ දේශපාලන මිත්‍යාවන් පසු පස ගොස් ස්ථාවර ආණ්ඩු, ජනවරමක් ඇති ආණ්ඩු පිහිටුවාගැනීමට මැතිවරණ පිට මැතිවරණ පවත්වමින් පිස්සු කෙලීම නිසාය.

අර්බුදයට ඇත්ත විසඳුමක් පැහැදිලිව තිබියදී එය ක්‍රියාත්මකවීම ආරම්බව තිබියදී පවත්නා පාලනය පෙරළා දැමීමට කටයුතු කිරීමෙන් මේ රටවල් තවදුරටත් අර්බුදයේ පතුලටම කඩා වවැටුණා මිසක් වෙනත් කිසිවක් වූයේ නැත. එමෙනම් දැන් පාකිස්ථානයද එවැනිම අර්බුදයකට මුහුණ දෙමින් ද තිබේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ඉල්ලා සිටියේ 2019 වසරේදිය. එහෙත් මෙතෙක් මුල්‍ය අරමුදල සමඟ වන මුලික නැතිනම් කාර්යමණ්ඩල එකඟතාවකට හෝ පැමිණීමට නොහැකිව සිටී. ඒ අතරතුර හිටපු පාලකයා දෝශාභියෝගයකින් පන්නා දමා අලුත් පාලනයක් බිහි කරගන්නා ද ලදි. ඒ ආර්ථික ප්‍රතිසංස්කරණ වලට එරෙහිව ජනවරම පෙන්නීමේ පිස්සුව නිසාය. කොහොම නමුත් නව පාලනය යටතේ සිදු වූයේ මුල්‍ය අරමුදල පාකිස්ථානයෙන් ඉවත්ව යෑමය.

මුල්‍ය අරමුදල පාකිස්ථානයෙන් ඉවත් වන්නේ අපේ විපක්ෂය කියන ආකාරයේ ස්ථාවර ආණ්ඩුවක් තිබියදීය. නමුත් මෙතැන ගැටලුව වූයේ කඩා වැටුනු රටක් නැවත ගොඩනැඟීම වෙනුවෙන් විය යුතු ආර්ථික ප්‍රතිසංකරණයන් සිදු කිරීම වෙනුවෙන් එම ආණ්ඩුව කටයුතු කිරීමට අසමත්වීමය. එසේ නොමැතිව මුල්‍ය අරමුදල තබා මිතුරු රාජ්‍යයකින් හෝ ණය ආධාරයක් ලබාගැනීමට නොහැක. සජිත් පනන්යේ නායකයෙක් පකිස්ථානයට පත්වීම නිසා මුල්‍ය අරමුදටට කොන්දේසි දැමීමට කටයුතු කළා වැනි තත්වයක් ඇතිවිය. නමුත් මේ වන විට ඒ නරිවාදම් ඉවතලා යළි ආර්ථික ප්‍රතිසංස්කරණයන්ට උත්සහ ගනිමින් තිබේ.

මේ මොහොතේ ශ්‍රි ලංකා රජය සිටින්නේ පාකිස්ථානයට වඩා බොහෝ ඉදිරියෙනි. තමන්ගේ සමත්කම් පෙන්නමිනි. බංකොලොත් ආර්ථිකය ගොඩගන්න නම් මුල්‍ය අරමුදල නිර්දේශ කළේ, ගෝඨා පාලනය විසින් අවුල්කර දැමූ බදු ආදායම් ප්‍රතිපත්තිය නැවත සකස් කරන ලෙසය, බදු පදනම තවත් සාධාරණියකරණය කර පුළුල් කරන ලෙසය. එමඟින් රාජ්‍ය ආදායම් වැඩි කරගන්නා ලෙසය. බලශක්ති සැපයුම ඇතුළු රාජ්‍ය ව්‍යාපාර පාඩු වලක්වා ඒවා ලාබ ගන්නා තැනට පත්කරන ලෙසය, වංචා දූෂණ නාස්තිය වලකා රාජ්‍ය වියදම අඩු කරන ලෙසය, එසේම මුදල් මුද්‍රණය කිරීම සීමා කර රාජ්‍ය ආදයමෙන් වියදම් කලමනාකරණය විය යුතු බවය, ණය තිරසාර බාවය නැතිනම් ණය ගෙවීමේ හැකියාව සහ ක්‍රමවේදයන් වෙනුවෙන් ආර්ථික උපාය මාර්ග නැවත සකස් කරගැනීම විය යුතු බවය. ඒ වෙනුවෙන් ණයහිමි රාජ්‍යයන් සමඟ වන ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යායුතු බවය, නම්‍යශීලී විදේශ විනිමය අනුපාතයක් පවත්වාගෙන යෑමත් සහ වැදත්ත්ම දේ ආර්ථික ප්‍රතිසංස්කරණයන් හමුවේ අවදානමට ලක්වන පිරිස් රැක බලාගැනීම වෙනුවෙන් සුබසාදන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවය. මේ අතරින් සැබවින්ම කොන්දේසියකට පවතින්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පමණි. අනෙක් කරුණු සැලකෙන්නෙ නිර්දේශ ලෙසය. නමුත් මෙම නිර්දේශ ක්‍රියාත්මක නොකර ආර්ථිකය නැමැති යාත්‍රණයේ දැති රෝධ නියමාකාරයෙන් වැඩ කෙරෙන්නෙ නැත. ඒ නිසා මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීම විය යුතුව තිබේ. එය රටට මේ මොහොතේ දැරිය හැකි උපරිම ආකාරයට සකස් කරගැනීමේ ඉඩකඩ තිබිණි. උපයන විට බදු අය කරගැනීමේ සීමාව රුපියල් හතලිස් හත්දහසට ගෙන ආ යුතු බව මුල්‍ය අරමුදල නිරිදේශකරන විට එය ලක්ෂයට වැඩි සීමාවකට පත්කර අඩු ආදායම් ඇති පුරවැසියන් බහුතරයක් වෙත පැටවෙන පීඩාවන් අවම කරමින් රාජ්‍ය ආදායම වැඩිකරගැනීමට පියවර ගත්තේ ඒ අනුවය.

ජනප්‍රිය නොවන දුෂ්කර තීන්දු තීරණ ගෙන මුල්‍ය අරමුදලේ නිර්දේශ සහ කොන්දේසි සියල්ලම පාහේ දැන් සපුරා ඇත. චීන ප්‍රශ්නය විසඳීම ගැනත් සුබවාදීව කල්පනා කළ හැකි තැනක තිබේ. ප්‍රමාදයට හේතුව චීනයේ ගැටලුව මිසක ආණ්ඩුවේ ජනවරම පිළිබඳ ගැටලුවක් නොවේ. ඒ අනුව ඉදිරි මාස දෙක තුන ඇතුළතදී මුල්‍ය අරමුදලේ සහය නියත ලෙස ලැබෙනු ඇත.

විපක්ෂය මැතිවරණ වේදිකා ගානේ නන්දොඩන පතුරුවන දේශපාලන මිත්‍යාවන්ට හසු නොවී සිටීම අසමත් වුවහොත් මෙරට පුරවැසියාට සිදුවන්නේ ග්‍රීසියේ, ලෙබනනයේ, පකිස්තානයේ ජනතාවට මුහුණ දීමට සිදුව තිබූ අතිශය දුක්ඛිත තත්වයන් යටතේ තව දීර්ග කාලයක් ජීවත් වීමට හෝ මිය යෑමටය. යමෙක් නිවැරදි විසඳුමක් ක්‍රියාත්මක කරමින් තිබෙන අවස්ථාවක එය දැන දැනම කඩාකප්පල් කර තමන්ගේ පටු දේශපාලනික වුවමණාවන් සපුරාගැනීමට කරන බලලෝබී මළ පෙරේත තක්කඩිකම් පරාජය කිරීමට පුරවැසියා අවබෝධයෙන් යුතු විය යුතුය. ඉතිහාසයෙන් ඉගෙන නොගත්තොත් පාඩම් ඉගෙන ගන්න වෙන්නේ කෙලවා ගැනීමෙනි. විපක්ෂය සහ වෘත්තීය සමිතිකාරයන් දැන් කරමින් සිටින්නේ රට ආරාජික කර කෙළවාගැනීමේ තැනට පාර කැපීමය.

කොහොම නමුත් අද සියලු දෙනාට කවරාකාරයෙන් හෝ පිළිගන්න වී ඇති සත්‍යය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය සහන පැකේජය ක්‍රියත්මක වීමෙන් පසු රටේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමේ මාර්ගය විවෘත වන බවය. නමුත් මේ ගැනද බරපතල මිත්‍යවන් පතුරවමින් තිබේ. මුල්‍ය අරමුදලේ ණය ලැබුණු පමණින් රට ගොඩයන්නේ නැත. පැහැදිලිවම වන්නේ, පෙන්වා ඇති මාර්ගයෙහි ගමන් කිරීම සඳහා මුලික පියවර තැබීමට ශක්තියක් ලැබීම පමණි. මුලිකවම අරමුදල ණය දෙන්නෙ මෙරට විදේශ සංචිතය පුරවා ගැනීමට පමණි. නමුත් එය රජයට ඔනෑ හැටියට වැය කිරීම කළ නොහැක. විදේශ සංචිත ප්‍රමාණය නැතිනම් ඩොලර් වැඩි අගයකින් තිබෙන විට පාලනය කරගත හැකි ආර්ථික පීඩාවන් ප්‍රමාණයක් තිබේ. ඒ අනුව ලැබෙන සැහැල්ලුව පාවිච්චි කර රටේ ආර්ථිකය නව ප්‍රතිසංස්කරණ සමඟ දැඩි කලමණාකාරිත්වයකින් අඛන්ඩව ඉදිරියට යා යුතුව තිබේ. ඒ අනුව ඩොලරයේ රුපියල් අගය යම් පමණකට අඩුවීම සිදුවෙයි. උද්ධමන අනුපාතයන් අඩුවීම, පොලී අනුපාතයන් අඩුවීම ආදිය වැඩි වේගයෙන් සිදුවෙනු ඇත. දැනට සීමාකර තිබෙන අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයන් ප්‍රමාණයක් ලීහිල් කිරීම ආදිය සිදුවනු ඇත.

වැදගත්ම දෙය නම් මුල්‍ය අරමුදලේ සහය අනුමතවීම යනු රටේ ආර්ථිකය නිවැරදිව සකස් කිරීමක් සිදුව ඇති බවය. එය ජත්‍යන්තරය පිළිගන්නා නිර්ණායකයකි. ඒ අනුව ලෝක බැංකුව, ආසියානු මුල්‍ය අරමුදල මෙන්ම වෙනත් මුල්‍ය ආයතන සහ රාජ්‍යයන් සමඟ ණය පහසුකම් ලබා ගැනීමේදී අවශ්‍ය වන විශ්වාසය, වගකීම් සහතිකය රටට ලැබීම සිදුවෙයි. එසේම විදේශ සංචිත ඉහළ යාම තුළ ජාත්‍යන්තර ණය ශේණිගත කිරීමේ ආයතන විසින් දැනට පහළට ඇදදමා ඇති ශේණිය ඉහළට දැමීම සිදුවෙයි. එමඟින් විදේශ ණය ලැබීම සහ ආයෝජකයන්ගේ පැමිණීමත් අපේක්ෂා කරයි. ආර්ථික ප්‍රතිසංස්කරණ හමුවේ මෙරට අයෝජනයට බාධාකාරීව තිබු බොහෝ බාධක දැනටමත් ඉවත් කරමින් ආයෝජන පහසුකම් නංවාලීමට පියවරගෙන තිබීම මත අයෝජක ආකර්ෂණය වැඩි කරගත හැක. මේ වන විටත් විදේශ ආයෝජකයන් ගනනාවක් මෙරට අයෝජනයට කැමැත්ත පෙන්වා ඇත. මුල්‍ය අරමුදලෙ සහතිකය සමඟ ඔවුන් මෙරට වැඩ පටන් ගනු ඇත. මෙරට පෞද්ගලික අංශයේ ව්‍යාපාර සඳහා අවසර ලබාගැනීමේ ක්‍රමවේද සරල සහ කඩින්ම කිරීම තුළ ඊට ඇති බාධා අවම කිරීමත් මේ අනුව සිදුවෙයි.

එසේම රටේ මුල්‍ය තත්වයන් එලෙස සකස් වන විට අපනයන මුලික කරගත් නව ආර්ථික උපාය මාර්ග අනුව එම කටයුතු සංවර්ධනය වීම සිදුවනු ඇත. විදේශ සංචාරක කර්මාන්තය විශාල පිම්මකින් ඉදිරියට යනු ඇත. වත්මන් පාලනය විසින් සාර්ථකව රට ගොඩනැඟීමේ යෙදෙන බව සහතික වීම තුළ විදේශ ප්‍රේශ්න පවා විශාල ප්‍රමාණයකින් වැඩි වීම සිදුවෙයි. මේ වන විටත් එවැනි ප්‍රවණතාවයක් ඇතිව තිබේ. මේ අනුව මෙම වසර අවසන් වීමට ප්‍රථම අද පවතින දුෂ්කරතාවයන්ගෙන් ගැලවීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වෙනු ඇත. නමුත් එතෙක් පවතින දුෂ්කර තත්වයන් විඳ දරාගෙන ඉදිරි මාස කිහිපය ගත කිරීමට පුරවැසියාටත් පාලකයාටත් දැඩි කැපකිරීමක් කළ යුතු වීම අනිවාර්යය. එසේ නොමැතිව අර්බුදයෙන් ගැලවිය නොහැක. විපක්ෂයත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යෑම හැර වෙන විසඳුම් නැති බව පිළිගෙන තිබීම තුළත් මේ යථාර්ථය මුහුණ දීමට ඔවුන්ගේ වෙනවා කිය පාලන සමයකදීත් අනිවාර්යයෙන්ම සිදු වෙනු ඇත. වෙනසකට විය හැක්කේ, මාස 6ක් කැප කර මෙම අර්බුදයෙන් ගැලවෙනවාද නැතිනම් විපක්ෂයේ පාලනයකදී තව අවුරුදු දෙක තුනක් දුක්විදීමින් අර්බුදයෙන් ගැලවීම හෝ නොවීම සිදු කරගන්නවාද කියන වෙනස පමණය. කොහොම නමුත් යන්න පැහැදිලි පාර තිබියදී, පැහැදිලි පිළියම තිබිය දී, දේශපාලන මිත්‍යාවන්ට හසුවී වැරදී පාරවල් වල, වැරදි විසඳුම් උත්තර සොයාගෙන අයාලේ ගොස් නන්නත්තාර වෙනවාද කියන එක පුරවැසියාගේ තීරණයක් ලෙස පවතී.

  • ජයතුංග බණ්ඩාර