ජනපති උපදෙසින් සියලු රාජ්‍ය ආදායම් ඖෂධ හිඟය පියවීමට

පවතින ඖෂධ හිඟය පියවීම සඳහා අවශ්‍ය කරන ඖෂධ මිලදී ගැනීමට මේ මාසයේ සිට සියලු රාජ්‍ය ආදායම යොදවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.

ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයට තවත් අතිරේකව බිලියන 10ක් වෙන් කිරීමට කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

එමෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ සහ හදිසි සෞඛ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට අමෙරිකානු ඩොලර් මිලියන 38ක ප්‍රදානයක් ලබාදීමටද ජපාන රජය එකඟත්වය පළ කර ඇති බව ඇමැතිවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ පවතින වත්මන් ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන, ජපාන, ආර්ථික සහ සමාජ සංවර්ධන වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය සහ හදිසි සෞඛ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යෑම තහවුරු කිරීම පිණිස ඉන්ධන (ප්‍රධාන වශයෙන් ඩීසල්) සැපයීම සඳහා ජපන් යෙන් බිලියන 05ක ප්‍රදානයක් (ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 38ක්) ලබා දීමට ජපාන රජය විසින් එකඟතාව පළ කර ඇත.

එම ප්‍රදානය ලබා ගැනීම පිණිස අදාළ ගිවිසුම්වලට එළඹීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ගුණවර්ධන මහතා කීවේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණපා තිබෙන බවත් ජාත්‍යන්තර වශයෙන් ඒ සඳහා විශාල ආධාර ඉල්ලා තිබෙන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.