මුතුරාජා නිසා ඇත්ගොව්වන්ට වෘත්තීය පුහුණුවක්

0

ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මගින් හීලෑ අලි ඇතුන් රැක බලා ගැනීම සඳහා ඇත්ගොව්වන් පුහුණු කිරීමේ පාඨමාලාවක් ආරම්භ කිරීමට තීරණය කොට ඇතැයි එහි අධ්‍යක්ෂ ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත මහතා පවසයි.

එම පාඨමාලාව සඳහා මේ දිනවල අයැදුම්පත් කැඳවා ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

යළි තායිලන්තයට රැනෙ ගිය මුතු රාජා හා සම්බන්ධ සිදුවීම්වලදී එම සත්වයා රැක බලාගත් ඇත්ගොව්වන් අතින් යම් අඩුපාඩු සිදු වී ඇති බවට නිරීක්ෂණය වූ නිසා මේ අයුරින් හීලෑ අලි – ඇතුන් රැක බලා ගැනීම සම්බන්ධයෙන් පුහුණු පාඨමාලාවක් පැවැත්වීමට තීරණය කළ බව ද හෙතෙම පැවසීය.

අලි – ඇතුන් රැක බලා ගැනීම, සුරක්ෂිතභාවය, යහ පැවැත්ම, රැකවරණය හා ශුභසාධනය පිළිබඳව හස්ති භාරකරුවන්ට හා ඇත්ගොව්වන්ට විධිමත් හා ප්‍රායෝගික පුහුණුවක් මේ පාඨමාලාව මඟින් ලබාදීමට අපේක්ෂා කරන බව ද ඔහු කීය.

මාස හයක පාඨමාලාවක් සේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මෙයට වයස හෝ අධ්‍යාපන සුදුසුකම් සලකා නොබැලෙන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේ ය.

දැනටමත් මේ පිළිබඳව විමසීම් කරමින් බොහෝ දුරකතන ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන්නේ යැයි ද ඔහු කීය.

මේ වන විට එම පාඨමාලාව සඳහා 25 දෙනෙකු පමණක් බඳවා ගැනීමට සැලසුම් කොට තිබුණ ද අයැදුම්පත් විශාල සංඛ්‍යාවක් ලැබුණහොත් බඳවා ගන්නා ප්‍රමාණය ද ඉහළ දැමීමට පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කළේ ය.

පළමු මාස දෙකේදී පින්නවල ජාතික සත්ත්්වෝද්‍යානයේ පුහුණු මධ්‍යස්ථානයේ න්‍යායාත්මක පුහුණුවකුත්, ඉතිරි මාස හතරේදී පින්නවල අලි අනාථාගාරයේදී ප්‍රායෝගික පුහුණුවකුත් ලබා දෙන බව ද ඔහු කීය.

මේ සම්බන්ධයෙන් 0112712751, 0112712752 හෝ 0112712753 යන දුරකතන අංක ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකි ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *