අරගලයෙන් මිනිස්සුන්ගේ ඇස් ඇරුණා, අපි වෙනස් වුණා – මහින්දානන්ද අලුත්ගමගේ

0

■ කොහොමද මේ දවස්වල දේශපාලන තත්වය ?

හොඳයි. හරියටම මීට අවුරුද්දකට කලින් තිබ්බ දේශපාලන තත්වයට වඩා දැන් තියෙන දේශපාලන තත්ත්වය හාත්පසින්ම වෙනස්. මීට අවුරුද්දකට කළින් මිනිස්සු අසීරුතා මැද්දේ ජීවත් වුණේ. හැබැයි අද වෙද්දි මිනිසුන්ගේ ජන ජීවිතය යථාවත් වෙලා. විශාල දේශපාලන පරිවර්තනයක් ඇති වෙලා රටේ විශාල පරිවර්තනයක් ඇතිවෙලා ඉතාම සුබවාදී පැත්තකට යනවා.

■ මේ වෙනකොට ඔබතුමාට ඇමති ධූරයක් නැහැ. හැබැයි තාමත් ක්‍රියාකාරී දේශපාලනයේ ඉන්නවා. ඇමති ධූරයක් නැතිකම අඩුවක් කියලා දැනෙන්නේ නැද්ද?

නෑ. මම අමාත්‍ය ධූරයක් නැතිකම අඩුවක් ලෙස දකින්නේ නෑ දේශපාලනය කරන්න. මම කියන්නේ මහජන සේවය කරන්න රජයක් තියෙනවා නම්, ආණ්ඩුවක් තියෙනවා නම්, විපක්ෂයේ හිටියොත් තමයි අපිට කරන්න අමාරු. විපක්ෂයෙ හිටියොත් දේශපාලනය කරන්න බෑ කියලා මම
පිළිගන්නේ නෑ. විපක්ෂයේ ඉද්දි අපි හොඳට දේශපාලනය කළා. ඒක පුද්ගල චරිත මත රඳා පවතින්නේ. මම නම් දිස්ත්‍රික්කෙ නායකයා විදියටත් කටයුතු කළා. මම දිස්ත්‍රික්කෙ වැඩ කරනවා. මම අමාත්‍යාංශවලින් සල්ලිත් ගන්නවා. මම ඇමතිවරයෙක් නොවුනට මම වැඩ කරන්නේ ඇමතිවරයෙක් විදියට තමයි. මට නම් කිසි ප්‍රශ්නයක් නෑ.

■ අපි දකිනවා මේ දවස්වල පොහොට්ටුවේ තරුණ මන්ත්‍රීවරු බොහොම ජවයෙන් ජනාධිපතිතුමා එක්ක එකතුවෙලා වැඩ කරනවා. ඇත්තටම මෙහෙම දක්ෂයෝ මෙච්චර කල් පොහොට්ටුවේ හිටියද?

අනිවාර්යයෙන් හිටියා. පහුගිය කාල සීමාව ගත්තොත් අපේ අමාත්‍යාංශ ගියේ ජ්‍යෙෂ්ඨයන්ට. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණාට පස්සේ තරුණයන්ට අවස්ථාවක් දෙන්න ඕනේ කියලා තරුණයන් කිහිප දෙනෙක්ම කැබිනට් මණ්ඩලයට දැම්මා. මං හිතන්නේ ඒක සාර්ථකයි. ඒ නිසා අපේ ඉතාමත් හොඳ තරුණ දෙවන පෙළක් හිටියා. අපි ඒක දැක්කා. අපි ඒක අඳුරගෙන හිටියා.

■ පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ටයන්ට අමාත්‍ය ධුර ලබා නොදීම සම්බන්ධයෙන් විවිධ කථිකාවන් අපි සමාජ මාධ්‍ය තුළ දැක්කා. මේකෙ ඇත්තක් තියෙනවද?

දැන් පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයෝ හත් දෙනෙකුට අමාත්‍ය ධුර නෑ. එතකොට දිස්ත්‍රික් නායකයෙකුට අමාත්‍ය ධුරයක් නැති වුනාම දේශපාලන ගමනේ පොඩි අමාරුකමක් තියෙනවා. ප්‍රායෝගිකව සාධාරණයි, ඒක පිළිගන්න ඕනේ. නමුත් ඉතින් මේ පවතින ආර්ථික අර්බුදයත් එක්ක අපි මේ ප්‍රශ්නය තේරුම් ගන්න ඕනේ. මේ වෙලාවේ මේ තියෙන ආර්ථික අර්බුදය හමුවේ අපි තවත් ඇමති ධූර වැඩි කරනවද? ඒ නිසා ජනාධිපතිතුමා ඉන්නේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙවෙනි වාරිකයත් එක්ක මේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ යම් වෙනසකට යන්න. ඉතින් එතකන් පොඩි කැපකිරීමක් අපට කරන්න පුළුවන් නං හොඳයි කියලා තමයි මං විශ්වාස කරන්නේ.

■ කතාබහක් යනවා පොදුජන පෙරමුණ මේ වෙනකොට ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් හොයනව කියල?

නැහැ. දැනට පක්ෂය ඇතුළේ එහෙම දේශපාලන සංවාදයක් නැහැ. දැනට අපි වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය පළ කරන්න තීරණය කරලා තියෙනවා. ඊළඟ ජනාධිපතිවරණයේදී අපි දාන්නෙ අපිට දිනන්න පුළුවන් අපේක්ෂකයෙක්. මම දකින්න අපි ආදරේ කරන අපේ හදවතේ ජනාධිපති මහින්ද රාජපක්ෂ. එතුමා තමයි අපිට ඉන්න එකම නායකයා. හැබැයි එතුමට ඊළඟ පාර තරග කරන්න බෑ. ඒ නිසා අපිට දැනට දැනෙන හැටියට නායකයෙක් අපි දකින්නේ නෑ. ඒ නිසා අපිත් එක්ක වැඩ කරන්න පුළුවන් දක්ෂ කෙනෙක් අපි ඊළඟ මැතිවරණයට අඳුර ගන්න ඕනේ. ඒ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙන්න පුළුවන්. නමුත් අවසානයේ අපි පක්ෂයක් විදිහට එකඟතාවයකට ඇවිල්ලා, දිනන්න පුළුවන් අපේක්ෂකයාට තමයි සහය දෙන්නේ හරි අපි ඉදිරිපත් කරන්නේ.


■ එතකොට ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළක් රට ගොඩනැගීමේ අරමුණින් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. මේ වැඩපිළිවෙළ ගැන මොකක්ද ඔබතුමාගේ අදහස?

ඇත්ත වශයෙන්ම ගත්තොත් අපේ රට වගේ දකුණු අප්‍රිකානු රටවල්, අරාබිකරයේ රටවල්වල ආර්ථික කඩාවැටීම් සිදු වුණා. නමුත් ඒ රටවල්වලට නැවත නැගිටින්න අවුරුදු දශක ගණනාවක් ගියා. ඒ අතරතුර ඒ රටවල්වල මිනිස්සු මංකොල්ල කන්න පටන් ගත්තා. මරාගන්න පටන් ගත්තා. රට හැර යන්න පටන් ගත්තා. හැබැයි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වසරක් වැනි කෙටි කාලයක් තුළ මේ ආර්ථිකය නැවත යථාවත් කරන්න කටයුතු කළා. ඒ පිළිබඳව සියලු‍ම ගෞරවය අපි එතුමාට දෙන්න ඕනේ. ඉතින් අද වෙනකොට අපි ගත්තොතින් 67%කට තිබුණු උද්ධමනය
7%කට 8%කට අඩුවෙලා තියෙනවා. අපේ රටේ විදේශ සංචිත තිබුණේ නැහැ. අද වෙද්දි ඩොලර් බිලියන තුනකට වැඩි විදේශ සංචිත අපිට එකතු වෙලා තියෙනවා. ඒ වගේම 13%ට තිබුණු පොලිය 30%ට ගියා. දැන් ඒක නැවත සියයට 12ට 13ට එමින් යනවා. ඒ වගේම විදුලි බිල 100%කින් වැඩි වුණා. ඒ වගේම පහුගිය කාලයේ 55%කින් විදුලි බිල අඩු වුණා. ඒ නිසා අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන, තෙල්, විදුලිය මේ ඔක්කොම දැන් තියෙනවා. භාණ්ඩ මිල සියයට පනහකින්, හැටකින් විතර අඩු වෙලා තියෙනවා. ඒ නිසා මිනිසුන්ගේ ජන ජීවිතය යථාවත් කරන්න මිනිස්සුන්ට අවශ්‍ය පරිසරය හදන්න ජනාධිපතිතුමාට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම රටේ ජනතාවට විශාල විශ්වාසයක් ඇති වෙලා තියෙනවා, වර්තමාන ජනාධිපතිවරයා ගැනත් ආණ්ඩුව ගැනත්. ඒකට හේතුවක් තමයි අපි ගත්තොත් කොටස් වෙළඳපොළ මෑත කාලයේ ඉහළම අගයකට ගියා. ඒ වගේම තමයි විදේශ ප්‍රේෂණ. ඉස්සර එව්වෙ නෑ, රට ගැන විශ්වාසයක් නැති නිසා. දැන් ලැබෙනවා. ඒ වගේම පසුගිය කාලයේ රට අතහැර යාම විශාල වශයෙන් තිබුණ. අද වෙද්දි ඒ ප්‍රවණතාවය විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. ඒ නිසා රට ගැන විශ්වාසයක් ගොඩ නැගිලා තියෙනවා. ඒ නිසා අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙන යන වැඩපිළිවෙළ ගැන රටේ මිනිස්සුන්ගේ යම් ප්‍රසාදයක් තියෙනවා.

■ දැන් ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලනේ යන්නේ. ඒ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ සඳහා මහින්දානන්ද අලු‍ත්ගමගේගේ දායකත්වය ලබා දෙන්නේ කොහොමද ?

මම කකුලෙන් අදින කෙනෙක් නෙමෙයි. දැන් පක්ෂයක් විදිහට පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න තීරණය කළා. මේ වසර දෙක ඇතුළේ එතුමට දෙන්න පුළුවන් උපරිම සහයෝගය මම ලබා දෙනවා. මට අමාත්‍ය ධූරය නෑ කියලා අරෙහෙ මෙහෙ අඬන්නේ නැහැ. මම පාර්ලිමේන්තුව තුළත් එළියෙත් රජය ගෙන යන වැඩපිළිවෙළට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා. මම චන්ද්‍රිකා මැතිණියත් එක්ක හිටිය, සිරිමාවෝ මැතිණියත් එක්ක හිටියා, මහින්ද මහත්තයත් එක්ක හිටියා, ගෝඨාභය මහත්තයත් එක්ක හිටිය, දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට මං සහයෝගය දක්වනවා. ඉතිං මං කවදාවත් නායකයාට එරෙහි වෙන කෙනෙක් නෙමෙයි. එතුමාට සහය දෙන්නේ ඒ ප්‍රතිපත්ති මත. බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දීලා තියෙන වෙලාවක මේ රට ගොඩ ගන්න ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට මම සහයෝගය ලබා දෙනවා. මම දේශපාලන කෝණයෙන් එතුමා දිහා බලන්නේ නෑ.
එහෙම නැත්නම් පහුගිය කාලේ අපි එතුමත් එක්ක බරපතළ ගැටුම් ඇති වුණා. ඒ මහින්දානන්ද කොහොමද මේ වේදිකාවේ ඉන්නේ කියනවා. හැබැයි අපි මේ වෙලාවේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයකින් කටයුතු කරන්නේ නෑ. අපි බැලු‍වේ රට පැත්තෙන්. මේ වෙලාවේ මේ කඩාගෙන වැටිච්ච රට ගොඩගන්න හැකි කෙනා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන එක තමයි අපි තීරණය කළේ. ඒකයි අපි එතුමාට සහයෝගය දුන්නේ.

■ දැන් ජනාධිපතිගේ ඉලක්කය තමයි 2048 දී සංවර්ධිත ශ්‍රී ලංකාවක්. එකිනෙකාට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් ගණනාවක් එකතු වෙලා තමයි මේ වැඩපිළිවෙළ ඉස්සරහට ගෙනියන්නේ. මේක ඇත්තටම යථාර්ථයක් ද?

ඔව්. මෙහෙමයි මේකෙදි ජනාධිපතිතුමත් යම් මැද තැනකට එන්න වෙයි. ඒ කියන්නේ දැන් අපි ගත්තාම ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂයත් එක්ක එතුමාගේ තියෙන දේශපාලන මතය සහ ප්‍රතිපත්ති, අපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ අපි දරපු මතය සහ ප්‍රතිපත්ති, එතකොට සුළු ජාතික පක්ෂ දරන මතය සහ ප්‍රතිපත්ති මේ ඔක්කොම අපි ඉන්නේ එකිනෙකට වෙනස් මත කිහිපයක. ඒ නිසා අපිට ඕකට මැද තැනකට එන්න වෙයි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් බලපු තැනටම අපිට එන්න බැරි වෙයි. දෙමළ සන්ධානය හෝ සුළු ජාතික පක්ෂ ඉල්ලන තැනටම අපිට එන්න බැරි වෙයි. අපි උත්සහ කරන තැනටම අපිටත් යන්න බැරිවෙයි. ඉතින් ඒ නිසා මේ පාර්ශ්ව ඔක්කොම එකට එකතු වෙලා මේ රට ගොඩ ගන්න නම් මැද තැනකට එන්න වෙයි. ඒ කියන්නේ උතුරේ ප්‍රශ්නය මැදි තැනකින් කොහොමද විසඳන්නේ? පෞද්ගලීකරණය කොහොමද මැද තැනකින් විසඳන්නේ. එහෙම මැද තැනකට අපිට එන්න වෙයි. එහෙම වුනොත් තමයි මේක සාර්ථක වෙන්නේ. එහෙම නැත්තං අපි අන්තවාදී ලෙස අන්තයකට මේක ඇදගෙන ගියොත් අපිට මේක කරගෙන යන්න බැරි වෙනවා. අපි ජනාධිපතිතුමාටත් කියලා තියෙනවා, අපේ පක්ෂයත් පක්ෂයක් හැටියට අපි මැද තැනකට එනවා නම් මට හිතෙනවා අපි හැමෝගෙම මතය එකයි.

■ එතකොට ඔබතුමා හිතනවද 2048 යථාර්ථයක් කියලා.

අනිවාර්යෙන්ම මේ රට ගොඩගන්න නම් අපි අනිවාර්යෙන්ම යම් කැප කිරීමක් කරන්න වෙයි. අපි ඒ දවස්වල රාජ්‍ය ආයතන විකුණන්න බැහැ කියන ස්ථාවරයේ හිටියා. හැබැයි රාජ්‍ය ආයතන ටික නඩත්තු කරන්න බිලියන 900ක් යනවා. ඉතින් රටේ සල්ලිත් නෑ. අපි මේක තේරුම් ගන්න ඕනේ. හැමදාම මිලියන විසි දෙකක් ජනතාවගෙන් සල්ලි අරගෙන ආයතන නඩත්තු කරන්න බෑ. ඒ නිසා පාඩු ලබන ආයතන යම් ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න ඕනේ. ඉස්සර අපේ විදුලි බිල අඩු කළේ නෑ අවුරුදු ගාණකින්. හැබැයි ඒකකයක් 44ට අරන් අපි 20ට වික්කා. ඊට පස්සේ පිටරටින් ණය අරන් අපි ඒක ගෙව්වා. හැබැයි ඒවා නවතින්න ඕනේ. අපි ඒක තේරුම් අරන් ඉන්නවා. එදා අපේ විදුලි බිල වැඩි කළේ නෑ. හැබැයි අපි අද විදුලි බිල වැඩි කරන්න ඕනේ කියන තැන ඉන්නවා. එදා අපි තෙල් මිල වැඩි කළේ නෑ. හැබැයි අද අපි තෙල් මිල වැඩි කරන්න ඕනේ කියන තැන ඉන්නව. පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න ඕනි කියන තැන අපි අද ඉන්නවා. මෙය අරගලයත් එක්ක රටේ ජනතාවත් මේ මතවාදයන්ට හැඩ ගැහුණා.

■ ඒ අමතර අදහසක් ඉතින් ඔබතුමා කියන්නේ මේ අරගලය ආව එක හොඳයි කියලද?

නෑ. මම කිව්වේ අරගලයෙන් මිනිස්සුන්ගේ ඇස් ඇරුණා ඇරුණා කියලා. දැන් අපි බැලු‍වොතින් මේ රටට ඉන්ධන ආනයනය කරන්න මාසෙකට ඩොලර් මිලියන 500ක් ගියා. මේ අරගලයත් එක්ක ආපු ූඍ කෝඩ් එකත් එක්ක මේක මිලියන 250කට අඩු වුණා. විදුලි බිල වැඩි කරන්න සිදු වුණා. විදුලි පාරිභෝජනය 18%කින්
අඩු වෙලා. ඉතින් අපේ රටටනේ ඒවා ඉතුරු වෙලා තියෙන්නේ. රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය ගත්තොත් 18%යි. දැන් වෙන ආණ්ඩුවක් ආවා නම් රාජ්‍ය සේවයට බඳවගෙන බඳවගෙන යනවා. දැන් රාජ්‍ය සේවය අඩු කරන්න ඕනේ කියලා මිනිස්සුම කියනවා. මං හිතන්නේ අරගලයත් එක්ක මිනිස්සුන්ගෙ ඇස් ඇරුණා. අපි දරපු දේශපාලන මතය වුනත් අපිට වෙනස් කරන්න වෙනවා. ඉතින් මම කියන්නේ අරගලයේ සුබවාදී දේවල් ගොඩක් තිබුණා. හැබැයි ඒ සුබවාදී දේවල් ඇතුළට අර අන්තවාදියෝ, ත්‍රස්තවාදියෝ, රාජ්‍ය නොවන සංවිධානකාරයෝ, කුඩුකාරයෝ, පාතාලයෝ ඇවිල්ලා ඒක විනාශ කළා. නැත්නම් අනිවාර්යයෙන් අරගලයේ හොඳ යෝජනා ගණනාවක් තිබුණා.

  • රිද්ම අනුරාධ ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *