ජනපතිගෙන් මාලදිවයින් නව ජනපතිට සුබපැතුම්

0

මාලදිවයිනේ නව ජනාධිපති ලෙස තේරි පත් වූ මොහොමඩ් මුයිසු මහතා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (01) සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය.

මොහොමඩ් මුයිසු මහතා වෙත දුරකථන ඇමතුමක් දෙමින් ජනාධිපතිවරයා තම සුබපැතුම් පළ කළේය.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් දෙරට අතර පවත්නා සමීප සහ සුහද ද්විපාර්ශ්වික සබඳතා නව ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ පාලන කාලය තුළ තවදුරටත් ශක්තිමත් සහ බහුවිධ හවුල්කාරිත්වයක් බවට පත් කර ගැනීම සම්බන්ධයෙන් තමන් තුළ ඇති කැමැත්ත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයින් ජනාධිපතිවරයාට ප්‍රකාශ කළේය.

එසේම අධ්‍යාපන, සෞඛ්‍ය මෙන්ම ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආයෝජන යන ක්ෂේත්‍ර ආවරණය කරමින් ආර්ථික සහයෝගිතාව ඉහළ නංවා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී නව ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා සමඟ සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද පැවසීය.

නව ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ පාලන කාලය තුළ මාලදිවයිනට සමෘද්ධිය උදාවනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බව වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයින රජයට සහ එරට සියලු සහෝදර ජනතාවට ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ හෘදයාංගම සුභාශිංසන පළ කරන බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාල දිවයිනේ හිටපු ජනාධිපති ඉබ්‍රහ්ම් මොහොමඩ් සෝලී සහ හිටපු ජනාධිපති සහ වත්මන් කථානායක මොහමඩ් නෂීඩ් මහත්වරුන්ටද දුරකතනයෙන් අමතා සුවදුක් විමසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *