පිරිවෙන් ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් ගැටලුව කඩිනමින් විසඳනවා

0

පිරිවෙන් ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා පැවසීය.

ඒ සඳහා විශ්‍රාම වැටුප් පනත සහ පිරිවෙන් අධ්‍යාපන පනතේ ද සංශෝධන සිදු කළ යුතු බවත්, ඊට අදාළ යෝජනා සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇති නිර්දේශ අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනිමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (24) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත බේරුගොඩ මහතා මෙසේ ද පැවසීය.

ගම සහ පන්සල ගහට පොත්ත මෙන් එකට බැඳි පවතිනවා. අපේ රටේ මුරදේවතාවන් ලෙස සලකන උගත්, වියත් මහ සංඝයා වහන්සේ බිහි කළේ පිරිවෙන් අධ්‍යාපනයයි. මහා විහාර අධ්‍යාපන ක්‍රමය මත පදනම්ව ඇරඹුණු පිරිවෙන් අධ්‍යාපනය අපේ රටේ කිර්ති නාමය දෙස් විදෙස්හි පතළ කළ දැවැන්ත අධ්‍යාපන ක්‍රමයක් බව සිහිපත් කිරීමට කැමතියි.

දිවයිනේ දිස්ත්‍රික්ක 25න් 22ක් පුරා විහිදුණු මූලික, මහා, විද්‍යායතන, ද්වි භාෂා සහ සීල මාතා වශයෙන් ප්‍රධාන අංශ 5කින් සමන්විත පිරිවෙන් 822ක ප්‍රමාණයක් පවතිනවා. ඒවා තුළ සාමණේර ස්වාමීන්වහන්සේලා 40941ක් සහ ගිහි ශිෂ්‍යයන් 36990ක් අධ්‍යාපනය ලබමින් සිටිනවා, පිරිවෙන් ආචාර්ය මණ්ඩලයේ ගුරුවරුන් 7591 ක් ද ඇතුළුව සමස්ත කාර්ය මණ්ඩලයේ 8000කට අධික පිරිසක් සේවය කරනු ලබනවා.

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ වූවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙම කාලය තුළ මෙරට අධ්‍යාපනය වෙනුවෙන් සුවිශේෂ කාර්ය භාරයක් ඉටු කළා. ඒ අනුව ගැටලු රැසකට මුහුණ දෙමින් සිටි පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය නැවත සක්‍රීයව ඉදිරියට ගෙන යාමට අපේ අමාත්‍යාංශයට හැකිව ලැබී තිබෙනවා.
පිරිවෙන් ගුරුවරුන්ගේ මාසික වැටුපෙන් 12% මුදලක් විශ්‍රාම වැටුප් සඳහා මාසිකව අය කරගන්නා නමුත් අනෙකු පාසල් ගුරුවරුන් හෝ රජයේ සේවකයින්ගෙන් එවැනි මුදලක් විශ්‍රාම වැටුප සඳහා අය කරගන්නේ නැහැ. අපි මෙම ගැටළුව විසඳීම සඳහා කටයුතු කරමින් සිටිනවා.
නමුත් ඒ සඳහා විශ්‍රාම වැටුප් පනත සහ පිරිවෙන් අධ්‍යාපන පනත යන පනත් දෙකෙහිම පවතින සැලකිය යුතු මට්ටමේ අනනුකූලතාවයන් සංශෝධනය කළ යුතු බවට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් අපට උපදෙස් ලැබී තිබෙනවා. ඒ අනුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇති නිර්දේශ අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයත් අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ව ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමේ කටයුතු දැනට සිදු කෙරෙමින් පවතිනවා.

වාර්ෂික විසර්ජන පනතෙන් සැලසෙන ප්‍රතිපාදන අනුව සියලුම පිරිවෙන්හි භෞතික, සනීපාරක්ෂක සහ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු ද සිදුකෙරෙමින් පවතිනවා. එම කටයුතු සඳහා බෞද්ධ රටවල තානාපති කාර්යාල සහ ශ්‍රී ලාංකික බෞද්ධ දානපතියන්ගේ ද සහයෝගය ලැබෙමින් පවතිනවා. ඒ අනුව අප පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ අරමුණින් පිරිවෙන් අරමුදලක් පිහිටුවීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.
සාමාන්‍ය රජයේ පාසල්වල ක්‍රියාත්මක වන ආකාරයටම පිරිවෙන් සඳහා ද අවශ්‍ය සියලු පහසුකම් නොඅඩුව සැපයීමට අමාත්‍යාංශය වශයෙන් අප කටයුතු කර තිබෙනවා වගේම පිරිවෙන් තුළ සුහුරු අධ්‍යාපන ක්‍රමය හඳුන්වාදීම ද අප කටයුතු කර තිබෙනවා.
ඒ වගේම වැවයි දාගැබයි – ගමයි පන්සලයි යන සංකල්පය මේ වන විට තරමක් දුරස් වෙමින් පවතින නිසා දුරස් වී ඇති ගමත් පන්සලත් නැවත එක් කිරීමට “සිල් සුවඳයි – හෙළ දිවියයි” නමින් වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. සාමණේර ස්වාමීන්වහනසේලා රැක ගනිමින් පිරිවෙන් අධ්‍යාපනය ක්‍රමය ශක්තිමත් කිරීමට එම වැඩසටහන දායක වනු ඇතැයි අපේක්ෂා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *