සඳ ජයගත් අසල්වැසියාට ජනපතිගෙන් සුබපැතුම්

0

චන්ද්‍රයාන් 3 යානය ඉතා සාර්ථක ලෙස සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබස්සවා ඉන්දියාව ලැබූ ඓතිහාසික සුවිශේෂ ජයග්‍රහණය පිළිබඳ අසල්වාසි සහෝදර රාජ්‍යය ලෙස ශ්‍රී ලංකාව ආඩම්බරයට පත් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රමුඛ එරට ජනතාව වෙත සිය උණුසුම් සුබපැතුම් පිරිනමමින් සඳහන් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අගමැතිවරයා වෙත නිකුත් කළ සම්පූර්ණ සුබපැතුම් පණිවිඩය මෙසේය:

චන්ද්‍රයාන් 3 යානය ඉතිහාසයේ ප්‍රථම වරට චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයේ ඉතා සාර්ථක ලෙස ගොඩබැස්සවීමෙන් ඉන්දියාව ලැබූ සුවිශේෂ ජයග්‍රහණය පිළිබඳ ඔබටත්, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ (ISRO) කණ්ඩායමටත්, ඉන්දීය ජනතාවටත් මාගේ සහ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ හෘදයංගම සුබ පැතුම් පිරිනමමි.

අසල්වැසි සහෝදර රාජ්‍යයන් ලෙස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙරටට ආවේණික වූ දීර්ඝකාලීන මිත්‍රත්වයක් පවතින අතර, දකුණු ආසියානු පවුලේ සාමාජිකයන් ලෙසද මේ ඓතිහාසික සහ විශිෂ්ට ජයග්‍රහණය අප සමරන්නේ ඉමහත් ආඩම්බරයෙනි.

සියලු මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් සිදු කළ මේ කැප කිරීම ඔබගේ මහත්මා ගතිගුණය ලෝකයට මැනවින් පිළිබිඹු කරන අවස්ථාවක් බවද කිව යුතුය. එය විද්‍යාත්මක හා තාක්‍ෂණික අංශයවල අඛණ්ඩ ප්‍රගතියක් අත් කරගැනීම සඳහා ඉදිරි පරම්පරා දිරිමත් කරන්නක් බව නොඅනුමානය. සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහලෝක ගවේෂණය කිරීමේ ඔබගේ අනාගත දැක්ම සාක්ෂාත් ක ගැනීමට ඔබටත්, ඔබේ සියලු විද්‍යාඥයන්ටත් සුභ ප්‍රාර්ථනා කිරීමටද මම මෙය අවස්ථාවක් කරගනිමි”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *