2027 මාර්තු වෙද්දි වරාය නගරයේ අවන්හල් ඉවත් කිරීමට පියවර

0

2027 වසරේ මාර්තු වනවිට කොළඹ වරාය නගරයේ අවන්හල් ඉවත් කරන බව කොළඹ වරාය නගර ආර්ථික කොමිසම,රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ ප්‍රකාශ කර ඇත.

කොළඹ වරාය නගරයේ ඉදිකොට ඇති අවන්හල් සියල්ල කොළඹ වරාය නගර ආර්ථිකයට අනුබද්ධිත විනෝදාස්වාදී ක්‍රියාකාරකම් යටතේ පවත්වාගෙන යනු ලබන අතර එසේ ඉදිකර ඇති බවද එම කොමිෂම අනාවරණය කර ඇත.

කොළඹ වරාය නගරය ප්‍රධාන වශයෙන් විදේශ ආයෝජන ඉලක්ක කර නිර්මාණය කර තිබියදී මෙවැනි අවන්හල් පිහිටුවීමේ නීත්‍යානුකූලභාවය කුමක්ද යන්න ගැන රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යොමුකළ ප්‍රශ්න හමුවේ ඊට පිළිතුරු දෙමින් නිලධාරීහු මේ බව ප්‍රකාශ කළහ.

වරාය නගරය සංවර්ධනය කිරීමේදී රටේ අනෙකුත් ප්‍රදේශවල පවතින අවිධිමත් මලාපවහන සහ අපජල කළමනාකරණය සම්බන්ධයෙන් පවතින ගැටලු මඟ හරවා ගතයුතු බවද කමිටුව විසින් අවධාරණය කර ඇත.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වය යටතේ පසුගිය12 වැනිදා රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් අනාවරණය විය. ලබන 19 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ඇති රෙගුලාසි සලකා බැලීමට කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්විය.

මෙහිදී කමිටුව විසින්,වරාය නගරයේ එවැනි අවන්හල් පිහිටුවීමට අවසරදීමට අදාළ බලධාරීන් තීරණය කර ඇත්තේ කුමන නීතිමය පදනමක් මතද යන්න සහ 2027 වර්ෂය වන විට ඒවා ඉවත් කිරීමේ නෛතිකභාවය පිළිබඳවද කොමිසමේ සාමාජිකයන්ගෙන් වැඩිදුරටත් විමසා සිටියේය. එමෙන්ම කමිටුව මෙහිදී කොමිසමේ සාමාජිකන්ගෙන් විමසා සිටියේ මේ අවසර ලබාදීම සහ ඉවත් කිරීම් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ගෙන ඇත්දැයි යන්නයි. ඒ අනුව මේ සම්බන්ධයෙන් වන තොරතුරු හැකි ඉක්මනින් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස කමිටු සභාපතිවරයා කොළඹ වරාය නගරය ආර්ථික කොමිසමට සහ නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

වරාය නගරයේ සිදු කෙරෙන කටයුතුවලින් රජයට ලැබුණු ප්‍රතිලාභ පිළිබඳව කමිටුව වැඩිදුරටත් විමසා සිටියේය. ඒ අනුව කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ඇති රෙගුලාසි සඳහා අනුමැතිය ලබාදීමට පෙර වරාය නගරය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා මේ පිළිබඳ දත්ත සමඟ විස්තර ඉදිරිපත් කරන ලෙස කමිටුව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

තවද ස්මා(ර්)ට් සිටි සංකල්පය යටතේ වෙනම භුමි ප්‍රදේශයක් ලෙස වරාය නගරය ඉදි කෙරෙන බැවින් අපජල කළමනාකරණය, පුනර්ජනනීය බලශක්තිය, විධිමත් මලාපවහන යාන්ත්‍රණය වැනි ස්මා(ර්)ට් නගර ඉදිකිරීමේදී භාවිතා වන සංකල්ප මත මේ නගරයේ සංවර්ධන කටයුතු සිදුවනවාදැයි කමිටුව,කොමිෂන් සභාවේ සාමාජිකයන්ගෙන් ප්‍රශ්න කළේය.

වරාය නගරය ඉදිකිරීම සහ සංවර්ධනය කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ජල සම්පාදන මණ්ඩලය වැනි රාජ්‍ය ආයතන විසින් සැලකිය යුතු මුදලක් වැය කර ඇති බවද මෙහිදී අනාවරණය විය. මේ සියලු මුදල් බදු ගෙවන්නන්ගේ මුදල් වන බැවින් රටේ බදු ගෙවන පුරවැසියන්ට මින් ලැබෙන ප්‍රතිලාභය කුමක්දැයි කමිටුව කොමිසමෙන් ප්‍රශ්න කළේය. ඒ අනුව, වරාය නගරය සහ යටිතල පහසුකම් සඳහා වන රජයේ වියදම් පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරන ලෙසත්, කොළඹ වරාය නගරයේ වැඩ කටයුතු ආශ්‍රිත ආදායම් මාර්ග පිළිබඳ විස්තර ද ඉදිරිපත් කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, කොමිෂන් සභාවේ සාමාජිකයන්ට උපදෙස් දී ඇත.

රාජ්‍ය ඇමැති (වෛද්‍ය) සීතා අරඹේපොල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (නීතීඥ) චන්දිම වීරක්කොඩි, නිමල් ලාන්සා, (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ, (නීතීඥ) ප්‍රේම්නාත් සී. දොලවත්ත, (නීතීඥ) මධුර විතානගේ, යූ. කේ. සුමිත් උඩුකුඹුර මහත්ම මහත්මීහු මේ කාරක සභා අවස්ථාවට සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *