ශ්‍රී ලංකාව ඉන්දීය සාගර කලාපයේ ඉහළට ගෙනයෑමට අවශ්‍ය වැඩපිළිවෙළ සකසනවා

0

ශක්තිමත් ආර්ථික ප්‍රතිසංස්කරණ හා පුනර්ජීවන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකාව ඉන්දීය සාගර කලාපයේ ඉහළට රැගෙන යෑමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරමින් පවතින බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.

ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාවේ නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ ආර්ථික ස්ථාවරත්වය ඉතා වැදගත් බව පෙන්වා දුන් සාගල රත්නායක මහතා රටක් ලෙස ස්ථාවර සහ විශ්වසනීය ප්‍රතිරූපයක් පවත්වා ගැනීම ලෝකය තුළ ශ්‍රී ලංකාවේ අභිමානය රැකගැනීමට ඉවහල් වන බව ද සඳහන් කළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ ‘මෑතකාලීන ඉහළ පෙළේ සංචාරයන් සහ ඉන්දියන් සාගරයේ දර්ශනය’ මැයෙන් පසුගියදා පැවැති සාකච්ඡාවට එක්වෙමිනි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේ දී ඩිජිටල් මූල්‍යකරණය සහ බලශක්ති සුරක්ෂිතභාවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද සාගල රත්නායක මහතා එහිදී පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ සාකච්ඡාවට හිටපු කථානායක කරු ජයසූරිය සහ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු විද්වත් පිරිසක් එක්ව සිටියහ.

ආසියානු කලාපයේ අනාගතය හැඩ ගැස්වීමේදී උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් ස්ථානයක පිහිටි ශ්‍රී ලංකාවේ භූමිකාව පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.

මේ සාකච්ඡාවේ දී වැඩිදුරටත් සාගල රත්නායක මහතා මෙසේ ද පැවසීය.

ඉන්දියන් සාගර කලාපයේ එකමුතුකම වෙනුවෙන් සූදානම් වන ශක්තිමත් ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම මඟින් ඉන්දියානු සාගරය සමුද්‍රීය වෙළෙඳ මාර්ගයක සිට ගෝලීය සම්බන්ධතාවක් දක්වා විශාල පරිවර්තනයක් කළ හැකියි. එක් එක් රාජ්‍යයන්ගේ ජාතික අවශ්‍යතා ජාත්‍යන්තර පද්ධතියට සැලකිය යුතු ලෙස බලපෑමක් සිදු කරනවා.

කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව, මුහුද පතුලේ ඇති අන්තර්ජාල රැහැන් ආරක්ෂා කිරීම, නීති විරෝධී මසුන් ඇල්ලීම, මිනිස් ජාවාරමට විසඳුම් සෙවීම, සමුද්‍ර දූෂණය වැළැක්වීම ඇතුළු පාරිසරික ගැටලු විසඳීම මෙන්ම ආපදා සහන සේවා සැපයීම මඟින් නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපය ප්‍රවර්ධනය කිරීම ශ්‍රී ලංකාවේ කේන්ද්‍රීය ප්‍රතිපත්තිවලට අයත් වෙනවා.

ඒ වගේම මානුෂීය ආධාර සහ ආපදා සහන (HADR) සැලසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වගකීම් කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ප්‍රතිසංස්කරණ සිදු කිරීම හරහා ස්ථාවරත්වය සහ වර්ධනයක් අත්කර ගැනීම ඉතා වැදගත් වෙනවා.

ජාත්‍යන්තරයේ සහයෝගීතාව ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලීන් සහ ආර්ථික ස්ථාවරත්වය ඉතා වැදගත්. ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය මේ වන විට අවසන් අදියරට ළඟා වෙමින් තිබෙනවා. එය ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ උත්සාහයන්ගේ සුවිශේෂී සන්ධිස්ථානයක්. ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියේ ආරම්භක අදියරේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර හවුල්කරුවන්ගෙන් සහතික කිරීම සහ සහාය ඉල්ලා සිටියා. ඉන්දියාව, චීනය හා පැරිස් සමාජය එක්ව ඒ සම්බන්ධව සහාය දුන්නා. ඔවුන්ගේ මේ සහාය ණය ප්‍රශස්තකරණයේ ඉදිරි කටයුතු සඳහා ද අපේක්ෂා කරනවා.

ඒ වගේම ගුවන්, මුහුද, ගොඩබිම් මාර්ග, භාණ්ඩ ප්‍රවාහනය, බලශක්ති සුරක්ෂිතතාව සහ විදුලිබල සම්බන්ධතා සංවර්ධනය ඇතුළු විවිධ ආකාරවලින් සම්බන්ධතාවන් තවදුරටත් තහවුරු කර ගැනීම අවශ්‍යයි. ශ්‍රී ලංකාව සිය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසය ගොඩනඟා ගැනීමට සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ජපානය වැනි රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරනවා.

දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමේදී ප්‍රංශය කළ කාර්යභාරය ද අවධානයට ගත යුතුව තිබෙනවා. ඒ වගේම කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ අධ්‍යයනය කිරීමට ත්‍රිකුණාමලය කේන්ද්‍ර කර ගනිමින් ඊට අදාළ පාසලක් පිහිටුවීම කළ යුතුයි. මීට අමතරව, ආර්ථික වර්ධනයේදී සහ රැකියා අවස්ථා උත්පාදනය කිරීමේදී වරාය නගරය සහ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ඇතුළු ශ්‍රී ලංකාවේ චීන ආයෝජන ඉතා වැදගත් බව කිව යුතුයි.

ඉන්දියන් සාගරයේ ප්‍රධාන තරගකරුවකු ලෙස ශ්‍රී ලංකාවේ දැක්ම ඉදිරියට ගෙන යෑමේදී පෞද්ගලික අංශය සතු කාර්යභාරය සම්බන්ධව ද අවධානය යොමු කළ යුතුයි.

ශ්‍රී ලංකාවේ පමණක් නොව අසල්වැසි රටවල් සමඟ ද සම්බන්ධ වූ විදුලිබල ජාලයක් සහ ඉන්ධන නළ මාර්ග පද්ධතියක් ඉදිකිරීම දක්වා වැඩි දියුණු කරන ලද සම්බන්ධතාවක් වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටිනවා. ශ්‍රී ලංකාවේ සහ අසල්වැසි රටවල බලශක්ති අවශ්‍යතා සපුරාලීමේදී වැඩි නම්‍යශීලී බවක් සහ විශ්වසනීයත්වයක් ලබාදීම මේ ප්‍රවේශයේ අරමුණයි.

තවද, අධිතාක්ෂණික කෘෂි කර්මාන්තය සහ කිරි නිෂ්පාදන ආශ්‍රිත පශු සම්පත් ක්ෂේත්‍රයේ දියුණුව, ආහාර සුරක්ෂිතතාව සඳහා ද ප්‍රමුඛත්වයක් දිය යුතුයි. ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනයේ ස්වයංපෝෂිතභාවය තහවුරු කිරීම සහ ආනයන මත යැපීම අවම කිරීම මේ මුලපිරීම්වල අරමුණ වෙනවා.

මේ ආර්ථික පැතිකඩවලට අමතරව, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් ඉන්දියාවේ කාර්යභාරයේ වැදගත්කම හඳුනාගෙන තිබෙනවා. අධ්‍යාපනයට ප්‍රමුඛත්වයක් දී ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දර්ශනය අනුව, පුහුණු ශ්‍රම බළකායක් බිහි කිරීම වෙනුවෙන් ඉන්දියාව සහ අනෙකුත් රටවල් සමඟ ද හවුල්කාරිත්ව ඇති කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස චීනයේ කළ සාර්ථක සංචාරය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වූ අතර, නුදුරේදීම තුන්වන වරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.

චීන – ශ්‍රී ලංකා සබඳතා ගත් විට, චීන ආයෝජන දෙකකින් ශ්‍රී ලංකාවට සැලකිය යුතු ප්‍රතිලාභ ලැබී තිබෙනවා. මින් එකක් වන්නේ වරාය නගර ව්‍යාපෘතියයි. වරින්වර මුහුණ දුන් අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුව ද එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය නව නීති රාමු සකස් කිරීමට අදාළ උපදේශන සේවා ලබාගැනීම මේ වන විට සිදුවෙමින් පවතිනවා. මේ ආකාරයට කටයුතු සිදු කිරීම ඉදිරියේදී ආයෝජකයන්ගේ විශේෂ ආකර්ෂණය සඳහා හේතු වනු ඇතැයි ද අපේක්ෂා කෙරෙනවා.

මීට අමතරව, හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ වැඩිදුර ආයෝජන අවස්ථා පිළිබඳව ද අවධානය යොමු කර තිබෙනවා. ආයෝජන කලාපය සංවර්ධනය කිරීමේ ප්‍රමාදය හේතුවෙන් හම්බන්තොට වරාය සඳහා ප්‍රමාණවත් නාවික ගමනාගමනයක් නැතිවීමේ අභියෝගයට මුහුණදීමට සිදුවී තිබෙනවා. මේ ගැටලු කඩිනමින් විසඳීම හරහා හම්බන්තොට වරාය ව්‍යාපෘතිය මඟින් රැකියා උත්පාදනය, අපනයන කර්මාන්ත ආරම්භ කිරීම සහ රටට ලැබෙන ආදායම් ඉහළ නංවා ගැනීම යන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට ද හැකියාව ලැබෙනවා.

ජපානයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවේ කළ සංචාරය අතරතුර කළ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ කෙරෙහි විශ්වාසය පළ කරමින් දේශගුණික විපර්යාස සහ අධ්‍යාපනය ක්ෂේත්‍රයන්ට අදාළව සහයෝගයෙන් කටයුතු කිරිමට අවධානය යොමු කළා.

එම කටයුතුවලදී පෞද්ගලික අංශයේ වැඩි දායකත්වයක් ලබා ගැනීම පිළිබඳව ද අවධානයට ලක් වුණා. ව්‍යාපාර සඳහා වඩා හිතකාමී පරිසරයක් ඇති කිරීම මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ සෞභාග්‍යය ඇති කිරීමට දායකවීමට ජපාන ආයෝජකයන්ගේ දායකත්වය ලබා ගැනීමට ද මෙහිදී අවධානය යොමු වුණා.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ (Gopal Bagley), ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොංග් (Qi Zhenhong), ප්‍රංශ තානාපති ජීන් ෆ්‍රැන්කොයිස් පැක්ටෙට් (Jean-Francois Pactet) සහ ජපානයේ තානාපති හිදෙයාකි මිසුකොෂි (Hideaki Mizukoshi) යන මහත්වරු ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මඟ හැරුණු පුවත්