ආර්ථික අර්බුදයට මුහුණදීම යුද්ධයට වඩා අතිශය භයානක තත්වයක් – අමාත්‍ය, ප්‍රසන්න රණතුංග

ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර යම් විරසකභාවයක් ඇති වී තිබෙන බවට පළවන මාධ්‍ය වාර්තාවල සත්‍යතාවයක් තියෙනවද?

අපේ දේශපාලන වෙනස්කම් තියෙන්න පුළුවන්, නමුත් මේ රජය ගෙනියන්න, කොන්දේසි විරහිතව ජනාධිතුමාට සහය දෙන්න අපේ පක්ෂය කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ජනාධිපතිතුමාව, අගමැති ධූරයට පත් කළෙත්, ජනාධිපති ධුරයට පත් කරන්නත් ඒකමතිකව එකතුවෙලා සහයෝගය දීල තියෙනවා. එතුමා තනි මන්ත්‍රීවරයෙක් විදිහට පාර්ලිමේන්තුවේ සිටියදී, එතුමාට තියෙන අත්දැකීම් සහ මේ අභියෝගය භාර ගන්න තියෙන හැකියාව මත මේ ධුරයට පත් වෙන්න අපි උදව් කළා. ඒ අවස්ථාවේ පක්ෂයකට වඩා අපිට අවශ්‍ය වුණේ රට ගොඩගැනීම. ඒ වගේම රටේ පැවති තත්ත්වය සමඟ අද තියෙන තත්වයට ගෙන්න අපි දක්වපු සහයෝගය ගැන පක්ෂයක් විදිහට සතුටු වෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිදුකරන ප්‍රකාශයන් ගැන එළියෙන් බලන කෙනෙකුට පෙන්නේ යම් ගැටුමක් නිර්මාණය වෙලා තියෙන තත්ත්වයක් නේද?

ඇත්තටම අපේ පක්ෂයේ ඇතැමුන්ට සාධාරණ කළකිරීමක් තියෙනවා. මොකද අපි පක්ෂයක් විදියට හැටනම ලක්ෂයක් ඡන්ද අරන් තුනෙන් දෙකේ බලයක් සමඟ ආණ්ඩුවක් පිහිටුව ගත්තා, නමුත් යම් යම් කාරණා නිසා අපිට බලය රැකගන්න බැරි වුණා. එතැනදී ඇතැම් මන්ත්‍රීවරුන්ට ඇමතිකම් අහිමි වුණා, මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියලා තියෙනවා, අපේ මන්ත්‍රීවරු ඝාතනය වෙලා තියෙනවා, එතැනදී ඇතැම් අයගේ බලාපොරොත්තු අහිමි වෙලා තියෙනවා. නමුත් අපි ඒවා බලාපොරොත්තු වෙන්න ඕන.

පක්ෂයක් හැටියට මහලේකම්තුමා ප්‍රකාශයන් සිදු කරන්න ඇති, නමුත් මම දන්නේ නැහැ නාමල් රාජපක්ෂ මැතිතුමා මොනවද කිව්වේ කියලා. හැබැයි මගේ පෞද්ගලික අදහස නම් මේ වෙලාවේ වැදගත් දේ වැටුණු රට මේ අගාධයෙන් ගොඩගන්න එක. මට මතකයි අපි තෙල් ගහන්න පෝලිම්වල හිටියා, ගෑස් ගන්න දවස් ගණන් බලන් හිටියා, කරන්ට් නැතිව දවස තිස්සේ බලන් හිටියා. දැන් මොන යම් ක්‍රමයකින් හරි රට හොද තැනකට ගෙනල්ල තියෙනවා නම් අපේ පෞද්ගලික වාසි වෙනුවෙන් ජනාධිපතිතුමාගේ කකුලෙන් අදින්න හොද නැහැ. එතුමාට වැඩේ කරගෙන යන්න දීලා, ඉදිරි මැතිවරණයකදී අපි එතුමත් එක්ක යනව ද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ රටේ මිනිස්සු ගැන හිතලා ජනාධිපතිතුමාට හයියක් වෙන්න ඕන කියන එක තමයි මගේ මතය.

පහුගිය දොළොස්වනදා ජනාධිපතිතුමා සහ පොදුජන පෙරමුණ එක්ක සාකච්ඡාවක් තිබුණා, අපිට ලැබුණු තොරතුරු අනුව පිරිසක් ඒ අවස්ථාවට සහභාගි උනේ නැහැ නේද?

අපේ වැඩ පිළිවෙලවල් දෙකක් තියෙනවා. එකක් දේශපාලන වැඩපිළිවෙල, අනෙක රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම, දොළොස්වෙනිදා තිබ්බේ රාජ්‍ය යාන්ත්‍රණය පිළිබද සාකච්ඡාව. එතැනදී කැබිනට් මන්ත්‍රීවරු, පක්ෂ නායකයින් සහ දිස්ත්‍රික් මට්ටමේ අය කැඳවලා තිබුණා. ඒ අවස්ථාවේ මතවාද දෙකක් ආවා, කැබිනට් එක, රාජ්‍ය ඇමතිවරු සහ පසුපෙළ මන්ත්‍රීවරු කැඳවන්න ජනාධිපතිතුමාට අයිතියක් තියෙනවා කියන එක. ඒ වෙලාවේ අපේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මැතිතුමා පැහැදිලිවම කිව්වා ඒක කරගන්න. අපි ආණ්ඩුවට උදව් කරනවා කියලා.

සමාජ තුළ රාජපක්ෂ විරෝධයක් මතුව ඇති අවස්ථාවක ඊට මුහුණ දෙමින් ආණ්ඩුව ශක්තිමත් කිරීමට කොහොමද එකතු වෙන්නේ?

පක්ෂය එකක්, රට තව එකක්. ඒ විරෝධයේ ප්‍රතිඵලයක් විදිහට තමයි රාජපක්ෂවරු ජනාධිපති, අගමැති සහ ඇමති ධුරවලින් ඉවත් වෙන්න සිද්ධ වුණේ. නමුත් පක්ෂයක් කියන්නේ රාජපක්ෂලා විතරක්ම නෙවෙයි. අනික මේ රාජපක්ෂ විරෝධය තියෙන්නේ අලුත් පරපුර තුළ බව අපි පක්ෂයක් විදිහට හඳුනගෙන තිබෙනවා.

පොහොට්ටුව හදන්න අපි සෑහෙන්න මහන්සි වුණා, එතන ගම්මට්ටමේ සාමාජිකයින් විශාල පිරිසක් ඉන්නවා, ඔවුන් තීරණය කරලා තියෙනවා, රනිල් වික්‍රමසිංහ මහත්තයට උදව් කරන්න ගත්ත තීන්දුව හොද තීන්දුවක් කියලා. ඒක වසරක් ඇතුළත පෙන්නලා තියෙනවා. ඉතිං පක්ෂයක් කියන්නේ පොදු තීන්දුවක් එක්ක යන ගමනක්, ඒ නිසා ජනාධිපතිවරයාට සහයෝගය දෙන්න ඕන කියන තැනක තමයි ගමේ පාක්ෂිකයින් කටයුතු කරන්නේ.

ඔබ නියෝජනය කරන ගම්පහ වමේ බලකොටුවක්, පසු කාලීනව මේක හම්බන්තොටට මාරුවෙනවා, ඔබ උත්සහ කරන්නේ වමේ බලකොටුව යළි ගම්පහට ගෙන්නද?

අපි කොහොමත් නියෝජනය කරන්නේ වමේ බලකොටුව. ඒකට අපිට දිස්ත්‍රික්කය අදාල වෙන්නේ නැහැ. හම්බන්තොටද, ගම්පහද කියන එක අපිට අදාල නෑ. අපි කොහොමත් ගම්පහට වැඩ කළා, ඒ වගේම ඉස්සරහටත් වැඩ කරනවා, ඒකට තනතුරු තානාන්තර අවශ්‍ය නැහැ.

පහුගිය දවස්වල ජාතික ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය මැතිවරණයක් ඉල්ලමින් සිටියා, ඔබ සූදානම් ද මැතිවරණයකට?

අපි පක්ෂයක් විදිහට ගම්මට්ටමින් දේශපාලන වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා. අපි සූදානම් මැතිවරණයකට. ජනතා විමුක්ති පෙරමුණට හෝ විපක්ෂයට අවශ්‍ය නැහැ මැතිවරණයක්. ඔවුන්ට අවශ්‍ය මේ ආර්ථිකය තව තව බිඳ වට්ටන්න. අපි පහුගිය දවස්වල දැක්කා ජවිපෙ නායකයෝ පිටරටවල ඉන්න සාමාජිකයින්ට කියනවා ලංකාවට සල්ලි එවන්න එපා, උන්ඩියල් ක්‍රමයට එවන්න කියලා. අපි දන්නවා උන්ඩියල් ව්‍යාපාරය කරන්නේ ඔවුන්ගේ සාමාජිකයෝ. ඔවුන් පක්ෂය තරකර ගත්තේ ඒ මුදල්වලින්. ඔවුන්ට අවශ්‍ය රටට එන ඩොලර් නවත්වන්න, සංචාරක ව්‍යාපාරය බිඳවට්ටන්න. ඒ වෙනුවෙන් ඔවුන් මිනිස්සු පාරට බස්සන්න උත්සහ කරනවා. එතකොට සංචාරකයෝ මේ රටට එන්න බය වෙනවා. 88, 89 කාලවල රටින් පැනලා නන්නත්තාර වෙච්චි අය දැන් උත්සහ කරනවා විවධ උපක්‍රම යොදලා යළි රටට එන්න. හැබැයි දැන් මිනිස්සු තේරුම් අරන් තියෙනවා දැන් මේ අය මොකක්ද කරන්න හදන්නේ කියන එක.

දැන් ඔබ කියන්නේ ජාතික ජන බලවේගය මේ වෙලාවේ කරන්නේ රටට හිතැති වැඩපිළිවෙලක් නෙවෙයි, පරාජයේ අඳෝනාව කියන එක ද?

පැහැදැලිවම. ඔච්චර දගළලත් ගත්තේ සීයට තුනයිනේ, අපිත් එක්ක එකතු වෙලා සීයට පහක් ගත්තා, ඕනිම නම් වැඩිම වුණොත් සීයට හත අටක් ගනී. ඔවුන් අරගලයට සම්බන්ධ වෙලා දැන් කියනවා අරගලය අසාර්ථකයි, ව්‍යවස්ථාවට පිටින් අරගල කරලා ජයග්‍රහණයක් නෑ කියනවා. එහෙනම් මිනිස්සු පාරට බස්සලා, ගෙවල් ගිනි තියලා මොකක් ද කළේ? මේ අයට තියෙන්නේ වෙනම න්‍යාය පත්‍රයක්.

පොදුජන පෙරමුණ ගොඩනගන්න උත්සහ දරපු වියතුන් දැන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට සහය දක්වනවා, ඇත්තටම දැන් පොදුජන පෙරමුණේ වියතුන් කියන අය නැද්ද?

වියත්තු කියන්නේ වෙනම කොටසක්, මෙතැනදී වියතුන් කියල ආව පිරිස ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ලොකුවට පිළිගත්ත පිරිසක් වුණා. ඒ අයට බලය දුන්නා, ඒ අය තමයි තීන්දු තීරණ ගත්තේ. අවසානයේ මොකද වුණේ? ඒ අය පොළොවේ පය ගහලා හිටපු නැති අය. ඒ අය දේශපාලන අවබෝධයක් නැති න්‍යායාචාර්‍යවරු පමණයි. ඉතිං විපක්ෂයේ කඩාවැටීම සිදුවන්නෙත් එහෙමමයි. ඒක අපිට වාසියක්.

ජනාධිපතිවරයගේ ආර්ථික වැඩපිලිවෙල සම්බන්ධයෙන් ඔබට විශ්වාසයක් තියෙනවද?

ජනාධිපතිවරයගේ මේ ආර්ථික වැඩපිළිවෙල සාර්ථක කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ ජනතාව පහුගිය වසරක කාලය තුළ කරපු කැපකිරීම් නිසා. ජනාධිපතිවරයා ළමයි වඩා ගන්න ගියේ නැහැ. ජනප්‍රිය තීන්දු තීරණ ගත්තේ නැහැ. රටේ ජනතාව වෙනුවෙන් දැඩි තීන්දු තීරණ ගත්තා. ඒවා සුභවාදීව රටේ ජනතාව දකිනවා.

හිටපු මහ බැංකු අධිපතිවරයා කිව්වා අපි තවම ණය ගෙවන්නේ නැහැ. අපි ණය ගෙවන්න ගත්තාම තත්ත්වය මීට වඩා වෙනස් වෙනවා කියලා, නමුත් වර්තමාන මහබැංකු අධිපතිවරයා ඉන්නේ වෙනත් තැනක, කොහොම ද ඔබ මේ තත්ත්වය දකින්නේ?

ආර්ථික ඔස්තාර්ලට විවිධ ප්‍රකාශයන් කරන්න පුළුවන්. දැන් ඔය කියන කණ්ඩායම් ආර්ථිකය හරියට මෙහෙයවලා සුඛිත මුදිත වෙලා තිබ්බ නම් මිනිස්සුන්ට පාරට බහින්න වෙන්නේ නැහැ නේද? පෙට්‍රල් ටික කෝටා ක්‍රමයට හරි ලැබෙනව නම්, ඩොලර් ටික ලැබෙනව නම්, බෙහෙත් ටික පොහොර ටික ලැබෙනව නම්, ආනයන සීමා ලිහිල් කරනව නම්, මිනිස්සු ඒ ගැන සෑහීමකට පත් වෙනව නම්, ඒ ගැන ධනාත්මකව හිතන්න පුළුවන් වෙන්නත් ඕන නේද? ඉතිං මම හිතනවා මහ බැංකු අධිපතිවරයාත්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාත් ජනාධිපතිවරයත් එක්ක එකතු වෙලා රට හොඳ තැනකට ගෙන යයි කියලා.

අරගලය තුලින් මතු වුණු ප්‍රධානම චෝදනාව තමයි 225ම එපා කියන එක, හැබැයි මේ යන වැඩපිළිවෙලත් එක්ක නැවතත් ගමන් කරන්නේ මේ 225 එක්කම නේද?

මේ සංකල්පය ගෙනාවෙම ජනතා විමුක්ති පෙරමුණ, ඉතිං ඒ අයගේ කිහිප දෙනෙක් හරි මේ 225 තුළ ඉන්නවනේ. ඒ වෙලාවේ මේ අය කරේ වෛරය වපුරවන එක. අරගල මෙහොතේ ජවිපෙ අයගේ හරි සජබෙ අයගේ හරි ගෙවල් ගිනි තිබ්බේ නැහැ නේ. ගමේ තිබුණු ශක්තිය අපිත් එක්ක තියෙද්දි ඒ අය බැලුවා ඒක වෛරයක් දක්වා පතුරවන්න. පැවතුණු සමාජ, ආර්ථික අර්බුදයත් එක්ක ගමේ හිටපු අහිංසක මිනිස්සු පාරට දාලා, කරන්න පුළුවන් කුපාඩිකම් ඔක්කොම ඒ කණ්ඩායම කළා. අරගලය අන්තිමට ගත්ත දේශපාලන තීන්දු තීරණත් එක්ක එතැන හිටපු බුද්ධිමත් ජනතාව ඉවත් වෙනකොට, ඉතිරි වුණු ගණිකාවොයි, කුඩුකාරයොයි එක්ක හිටගත්තේ කව්ද? මෙන්න මේ අය.

විකාශන නියාමන පනත සම්බන්ධයෙන් විපක්ෂය කියන්නේ ආණ්ඩුව මාධ්‍යයේ කටවහන්න හදන්නේ කියන එක. ඇත්තටම ආණ්ඩුව මාධ්‍යයට බය ද?

අපි බය වෙන්න ඕන නැහැ මාධ්‍ය හරි දේ කරනව නම්. මාධ්‍ය බය වෙන්න මේ පනතට ඔවුන් වැරදි දේ කරනව නම්. මම කැමති නැහැ මාධ්‍යට තහංචි දානවට. නමුත් තවම මේ පනත ගෙනල්ලත් නැහැ. සාකච්ඡා මට්ටමේ පමණයි තියෙන්නේ, අරගලය වෙලාවේ සිදු කළ සමහර කාරණා විකාශනය කරපු විදිහ වැරදියිනේ, ඒ කලේ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට උඩගෙඩි දීමක්. ඒ වගේ තත්වයන්ට සහය දක්වනව නම් ඒව නියාමනය වෙන්න ඕන කියන තැනක මම ඉන්නේ.

ඔබතුමා පරම්පරාවෙන් දේශපාලනයට පැමිණි අත්දැකීම් බහුල දේශපාලනඥයෙක්, ඔබට මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග වැඩ කරද්දි දැනෙන අවංක හැගීම මොකක් ද?

මම චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිතුමිය, මහින්ද රාජපක්ෂ මැතිතුමා වගේම ගෝඨාභය මැතිතුමා එක්ක වැඩ කළා, හැබැයි ඒ හැමෝටම වඩා අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන්, අභියෝග භාර ගත්ත නායකයෙක් තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ. මහින්ද මහත්තයා යුද්ධය දිනුවා තමයි. නමුත් ආර්ථික අර්බුදයකට මුහුණ දෙනවා කියන්නේම අතිශය භයානක තත්ත්වයක මුහුණ දීමක්.

ජනාධිපතිතුමා කියනවා 2048 අභියෝග ජයගන්න වකවානුවක් කියලා, ඔබතුමා හිතනව ද ඒ අභියෝගය ජයගන්න පුළුවන් වෙයි කියලා?

මම ඒ වෙනකම් ජීවත් වෙයි ද කියලා දන්නේ නැහැ. ජනාධිපතිතුමාට රැක ගන්න දෙයක් නැහැ, එතුමා ඒ වෙනකන් දේශපාලනයේ ඉන්න නම් අදහසක් තියෙන කෙනෙක් නෙමෙයි. හැබැයි ඒ වෙද්දි රට ගෙනියන්න දරණ උත්සහය ඉතාමත් වටිනා දැක්මක්. ඔහු ඒ වෙනුවෙන් සැළසුම් සකස් කරමින් ඉන්නවා, ඒ සඳහා මිනිසුන් පොළඹවමින් ඉන්නවා, ඒ සඳහා අපි හැමෝම එකතුවෙලා වැඩ කරමු කියන එක තමා මගේ අදහස.

– අසන්ත බණ්ඩාර