ජනපතිගේ සාකච්ඡාවලින් පසු මෙරට ආයෝජනයට අමෙරිකානු ව්‍යාපාරිකයන්ගේ අවධානය

0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව වැඩි වශයෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා අමෙරිකානු ව්‍යාපාරිකයන්ගේ අවධානය යොමුව තිබෙන බව අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

පවතින ආර්ථික තත්ත්වයෙන් ඉදිරියට යෑමට වැඩි වශයෙන් විදෙස් ආයෝජන ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය වී තිබෙන බව පෙන්වා දෙන එම තානාපති කාර්යාලය ලොව දැවැන්ත සමාගම් රැසක් අමෙරිකාව නියෝජනය කරන බව ද, එවැනි සමාගම්වල ආයෝජන අවස්ථා ශ්‍රී ලංකාව කෙරෙහි යොමුව තිබීම ඉතා වැදගත් බව ද පෙන්වා දෙයි.

නිව්යෝර්ක් හි පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සමගාමීව අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් සංවිධාන කළ සාකච්ඡාවකින් පසුව එම ආයෝජන අවස්ථා ශ්‍රී ලංකාවට ලැබෙමින් තිබෙන බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අමෙරිකාවේ ප්‍රබලම ව්‍යාපාරිකයන්ගේ සහභාගීත්වයෙන් නිව්යෝර්ක් හි පියරේ හෝටලයේදී ‘ශ්‍රී ලංකාවේ ආර්ථික අවස්ථා’ මැයෙන් මේ වටමේස සාකච්ඡාව පවත්වා තිබේ.

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සහ නිව්යෝර්ක් හි BCIU ව්‍යාපාර කවුන්සිලය මේ හමුව සංවිධාන කළ අතර, ඊට එරට ප්‍රබලම සමාගම් 45ක් පමණ එක්ව තිබේ. මේ අතර ශ්‍රී ලංකාවේ ප්‍රබල සමාගම් 18ක් ද ඊට එක්වීම විශේෂත්වයකි.

වටමේසය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික පසුබිම, දැනට ගෙන ඇති හා ඉදිරියේදී ගැනීමට අපේක්ෂා කරන පියවර සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන පැහැදිලි කර තිබේ. ව්‍යාපාරිකයන්ගේ පාර්ශ්වයෙන් මතු වූ ගැටලු රැසකට ද පිළිතුරු දුන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස සහ ආයෝජන හරහා ලංකාවේ සංවර්ධනයට හවුල් වන ලෙස ද ආරාධනා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *