ජනපති ත්‍රිකුණාමලය LIOC ඉහළ තෙල් ටැංකි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක

දශක ගණනාවක සිට භාවිතයට නොගත් තෙල් ටැංකි පද්ධතිය නවීකරණය කොට ත්‍රිකුණාමල සංවර්ධනය ඇරඹීමට පියවර
ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය නැවත සක්‍රීය කොට ජාතික ආර්ථිකයට එක් කිරීමේ කඩිනම් වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විෂයභාර අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ අද (03) දහවල් ත්‍රිකුණාමලය ලංකා IOC තෙල් ටැංකි හා ගබඩා පර්යන්තයේ සහ තෙල් ටැංකි 61කින් සමන්විත ඉහළ තෙල් ටැංකි සංකීර්ණය නිරීක්ෂණයට එක් වූ අවස්ථාවේදී ය.

දශක ගණනාවක සිට භාවිතයට නොගත් ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය නවීකරණය කරමින් ත්‍රිකුණාමල සංවර්ධන වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ත්‍රිකුණාමලය ඉන්දියානු ඔයිල් සමාගමේ තෙල් ටැංකි සහ ගබඩා පර්යන්තය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළමනාකරණ අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා විසින් පිළිගනු ලැබීය. එහි ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමට එක් වූ ජනාධිපතිවරයා වෙත පර්යන්තයේ මෙහෙයුම් ක්‍රියාවලිය පිළිබඳව කෙටි දැනුවත් කිරීමක් ද සිදු කෙරිණි.

ඉන්දියානු ඔයිල් සමාගමේ ලිහිසි තෙල් මිශ්‍ර කිරීමේ කම්හල ද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වු අතර වසරකට කිලෝ ලීටර් 18000ක ධාරිතාවකින් සමන්විත මෙමගින් රටේ ලිහිසි තෙල් ඉල්ලුම සපුරාලයි. තෙල් ගබඩා පර්යන්තයේ පිහිටි අති නවීන විද්‍යාගාරය වෙත පැමිණි ජනාධිපතිවරයා එහි කටයුතු නිරීක්ෂණය කළ අතර මෑතකදී සංවර්ධනය කර ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම දේශීය ග්‍රීස් නිෂ්පාදන කම්හල නැරඹීමට ද එක් විය.

වාර්ෂිකව මෙට්‍රික් ටොන් 3000ක ධාරිතාවයකින් යුතු මෙම ග්‍රීස් නිෂ්පාදන කම්හල මගින් මෙරට සමස්ත ග්‍රීස් ඉල්ලුම සපුරාලීමට හා ග්‍රිස් ආනයනය සඳහා දැනට වැය වන විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකියාව පවති. රටේ බලශක්ති අවශ්‍යතාවය සෑම විටම ඵලදායීව සපුරාලීම සහතික කරමින් අවශ්‍ය සෑම අවස්ථාවකදීම අඛණ්ඩව ක්‍රියාත්මක වන ඉන්දියානු තෙල් සමාගමට අයත් බවුසර් රථ පිරවීමේ අංගණයේ පහසුකම් ද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

අනතුරුව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා IOC සමාගම ඒකාබද්ධව පවත්වාගෙන යනු ලබන තෙල් ටැංකි 61කින් සමන්විත ඉහළ ටැංකි සංකිර්ණය වෙත පැමිණි ජනාධිපතිවරයා එහි කටයුතු ද නිරීක්ෂණය කළේය. මේ අතර දෙවන ලෝක යුද සමයේ දී බෝම්බ ප්‍රහාරයට ලක්වූ තෙල් ටැංකි සංකීර්ණය දැක බලා ගැනීමට ද ජනාධිපතිවරයා එක් විය.

අර්බුදකාරී කාලසීමාව තුළ රටට ඉන්ධන සැපයීම විධිමත්ව පවත්වාගෙන යාමට ඉන්දියානු ඔයිල් සමාගම කළ කැපවීම මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇගයීමට ලක් වු අතර ජනාධිපතිවරයාගේ චාරිකාව සනිටුහන් කරමින් සමරු තිළිණියක් ද පිළිගැන්විණ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ඩී.වී චානක, පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ඉන්දියානු ඔයිල් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩී. මුකර්ජි, උප සභාපති බී.කේ මන්ඩල්, හිටපු නාවික හමුදාපති අද්මිරල් රවීන්ද්‍ර විජේගුණරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.