සැප්තැම්බරයේ ආනයන දොර ඇරෙයි

0

ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කර ඇති භාණ්ඩ අතුරින් වාහන හැර ඉතිරි භාණ්ඩ සියල්ල  ලබන සැප්තැම්බර් මාසය පළමු සතියේදී ආනයනය කිරීමට අවසර ලබාදීමට රජය තීන්දු කර තිබේ.

රජය මෙම තීන්දුවට එළැඹ ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී ය.

ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් සතිපතා සමාලෝචනයක් කිරීමට ද මෙහිදි තීන්දු වී තිබේ. එසේම මේ වන විට භාණ්ඩ 286 ක ආනයන තහංචි ඉවත් කර ඇති අතර වාහන ද ඇතුළුව තවත් භාණ්ඩ 930ක ආනයන තහංචි පෙර පරිදිම ක්‍රියාත්මක වේ.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 500 ක් ආනයන තහනම් කාණ්ඩයේ පැවැති අතර ඉන් 250 ක ආනයන තහනම ඉවත් කිරීමට රජය  පියවර ගනු ලැබීය. 

ඒ අනුව මේ වන විටත් ආනයන තහංචි පනවා ඇති භාණ්ඩ ලබන සැප්තැම්බර් මුල් සතිය වන විට අදියර දෙකකින් ඉවත් කිරීමට මෙම සාකච්ඡාවේදී තීරණය කර ඇත.

ඉන් පසුව වාහන ආනයන තහනම ඉවත් කිරීම ගැන සලකා බැලෙන අතර එයද උපාය මාර්ගික සැලසුමක් අනුව සිදු කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වී තිබේ. 

පළමුව ඉලෙක්ට්‍රික් වාහන ආනයන තහංචි ඉවත් කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *