ජනපති සහ සිංගප්පූරු අගමැති හමුවේදි දෙරට අතර පුළුල් ආර්ථික හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම පිළිබඳ අවධානය..!

0

කාබන් හර කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබේ

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුන්ග් (Lee Hsien Loong) මහතා අතර නිල හමුව අද (22) දහවල් ඉස්තානා මන්දිරයේ දී සිදු විය.

මෙහිදී සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඉතා සුහදශීලිව පිළිගනු ලැබීය.

නායක දෙපළ අතර සුහද කතා බහකින් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පවතින සහයෝගීතාව ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම පිළිබඳ මෙහිදී නායකයන්ගේ අවධානය යොමු විය.

දෙරට අතර පුළුල් ආර්ථික හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම පිළිබඳව ද නායකයෝ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

එසේම පැරිස් සම්මුතියේ 6 වන වගන්තියට අනුව කාබන් හර කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමට ද මින් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ අත්සන් තැබිණි.


සිංගප්පූරුවේ වෙළෙඳ හා කර්මාන්ත ස්ථීර ලේකම් (සංවර්ධන) බේහ් ස්වන් ජින් මහතා (Beh Swan Gin) සහ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සශිකලා ප්‍රේමවර්ධන මහත්මිය ගිවිසුමට අත්සන් තැබීය.


පැරිස් ගිවිසුමේ 6වන වගන්තිය මඟින් ජාත්‍යන්තර කාබන් වෙළෙඳාම යටතේ හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම අරමුණු කර ගනිමින් ලාභදායී අයුරින් සහයෝගයෙන් කටයුතු කිරීමට රටවලට අවස්ථාව ලබා දී තිබේ. ඒ අනුව පැරිස් ගිවිසුමේ සඳහන් රාමුව තුළ කාබන් හර කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමට මෙලෙස අත්සන් තැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *