පොදු ප්‍රවාහන රථවාහන ආනයන සීමා ලිහිල් කිරීමේ චක්‍රලේඛය සංශෝධනයට…

පොදු ප්‍රවාහනය සඳහා යොදා ගැනෙන විශේෂයෙන් බස්රථ හා ලොරි රථ සඳහා පනවා තිබූ ආනයන සීමා පසුගියද ලිහිල් කරමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය යළි ඉදිරි දින කිහිපය තුළදී යළි සංශෝධනය කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ඊයේ සවස දෙහිඕවිට ප්‍රදේශයේදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් පොදු ප්‍රවාහන සේවාවන් සඳහා යොදාගැනෙන බස් රථ හා ට්‍රක්රථ සඳහා පනවා තිබූ ආනයන සීමා ඉවත් කරමින් නිකුත් කළ චක්‍රලේඛය මගින් වසර 10 ක් පමණ පැරණි වාහන ගෙන්වීමට අවසර හිමි වූ බවයි.
එහෙත් ක්ෂේත්‍රයේ විශේෂඥයන් ඉදිරිපත් කළ කරුණු අනුව අවුරුදු 10 පැරණි වාහන ගෙන්වීමේදී ඒවායේ මිලගණන් අඩු වුවත්, නඩත්තු වියදම , අමතර කොටස් සඳහා යන මිල ගණන් මෙන්ම ඉන්ධන වලට යන වියදම ආදිය සාපේක්ෂව වැඩි නිසා ඒ පිලිබඳ නැවත සලකා බැලීමක් කිරීමට සිදුවූ බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.
කෙසේ වෙතත් පෙර නිකුත් කළ චක්‍රලේඛය පසුගිය 14 වනදා දක්වා වලංගුව පැවති බැවින් එම කාලය තුළ ණයවර ලිපි නිකුත් කළ අය වේ නම්, පැවති චක්‍රලේඛය අනුව වාහන ගෙන්වීමට අවසර හිමි වන බව අමාත්‍යවරයා පැවසුවා.
එසේම පෙරකී ආකාරයෙන් අනවශ්‍ය නඩත්තු වියදම් , අනවශ්‍ය අමතර කොටස් වියදම් හා අනවශ්‍ය ඉන්ධන වියදමක් ඇති නොවන ආකාරයෙන් බස් රථ හා ට්‍රක් රථ මෙරටට ආනයනය කිරීම සඳහා සුදුස කාලයකට බලපැවැත්වෙන පරිදි නව චක්‍රලේඛය ඉතා කඩිනමින් නිකුත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියා.