අලුත් ලයිසන් එක අරගෙන දේශපාලනය කරන්න.

0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 23 වෙනිදා පාර්ලිමේන්තුව අමතමින් කළ විශේෂ ප්‍රකාශය ආන්දෝලනාත්මක වී තිබේ. ඒ අය වැය තෙවන වර කියැවීමේ විවාදයට සමගාමීවය. ඊට පෙර දින ඔහු විසින් ඉදිරිපත් කරන්නට යෙදුනු අය වැය යෝජනාව දෙවන වර කියවීමේදී ඡන්ද 121 බහුතරයක් රැගෙන අනුමත විය. අයවැය එලෙස අනුමත වන්නෙ ඊට පෙර දිනවල විපක්ෂය සහ ආණ්ඩු පක්ෂයේම කොටස් අය වැය පරාජය කළ හැකි බවට මතයක් වපුරමින් තිබියදීය. අය වැය පරාජය කළ යුතු බවට මතයක් මේ අය ගෙන ගියේ අය වැයෙහි ඇති කරුණු කාරණා මත පදනම් වෙනවාට වඩා ඔවුන්ගේ වෙනත් දේශපාලනික අවශ්‍යතා මතය. ඒ කවරේද යත් අයවැය යෝජනාවලියට එරෙහි වීමට තරම් සාධාරණ සහ කරුනු කාරණා වලින් පොහොසත් විකල්ප අදහසක් විපක්ෂයේ කිසිදු පක්ෂයකට ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසාය.

අය වැයෙන් බදු බර වැඩි කර ඇතැයි මහා ඝෝෂාවක් කළද මේ අර්බුදකාරී මොහොතේ රාජ්‍ය ආදායම් වැඩි කරගැනීමේ අනෙක් විකල්පයක් ඉදිරිපත් කරන ලෙස ආණ්ඩු පාර්ශ්වයෙන් එල්ල වූ ප්‍රශ්නයට පිළිතුරක් විපක්ෂයෙන් නොලැබිණි. බදු අඩු කර පීඩාවට පත් ජනතාවට මේ මොහොතේ සහනාධාර ලබා දෙන ක්‍රමය විපක්ෂය යෝජනා කළේ නැත. අයවැය පරතරය පියවා ගන්නේ කොහොමද යන්න ගැන වගේවගක් තිබුණේ නැත. රාජ්‍ය ව්‍යවසායකයන් ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව කරුණු දැක්වූවත් එය එසේ සිදු නොකර රාජ්‍ය යාන්ත්‍රණය කඩා නොවැටී පවත්වාගෙන යන්නේ කෙසේද යන්න ගැන උත්තරයක් නොතිබිණි.

රාජ්‍ය ආයතන වලට හොඳ කළමණකාරිත්වයක් ඇති කර ලාබ ලබන තැනට පත් කළ හැකි බවට හැමදාමත් කියන ජනප්‍රිය කතාව හැර එය සිදු කිරීමේ ප්‍රායෝගික හැකියාව හෝ අඛන්ඩව එම තත්වයන් පවත්වාගෙන යෑම ගැන හෝ කතාවක් නැත. ලාබ ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම ගැනත් විපක්ෂයේ කෑකෝ ගැසීම ජාතික සම්පත් විකුණන් කනවා කියන පරණ කතන්දරයමය. එහෙත් මේ ආයතන රාජ්‍ය දායකත්වය නොමැතිනම් ඇත්තටම ලාබ ලබනවාද එයින් රජයට විශේෂ වාසියක් තිබෙනවාද යන්න ගැන ප්‍රශ්න කළ විට විපක්ෂය නිහඩය. රජය ව්‍යාපාර නොකළ යුතුය යන්න දශක ගනනාවක් තිස්සේ ආර්ථික විශේෂඥයින් කියන කතාවකි. රාජ්‍ය ඒකාධිකාරයන් පවත්වාගෙන යන චීනය වැනි සමාජවාදී රාජ්‍යයන් පවා රාජ්‍ය ව්‍යාපාර වලින් ඉවත් වෙමින් තිබේ. මෙරට තුළ එම ප්‍රතිපත්තිය අනුගමනය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩු විසිනි. ඊට අමතරව චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේදීය.

රජය බොහෝ ව්‍යාපාර ආරම්භ කරනු ලැබුවේ ඒ වන විට පැවැති සමාජ ආර්ථික අවශ්‍යතාවය වෙනුවෙන් පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමට තරම් මෙරට පෞද්ගලික අංශය වර්ධනය නොවී පැවැති තැනදීය. එහෙත් තරගකාරී පෞද්ගලික ව්‍යාපාර බිහිවන විට රජයට දැරිය නොහැකි නඩත්තුවක් සහිත සහ තවදුරටත් ප්‍රසාරණය කිරීමට තරම් ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි රාජ්‍ය ව්‍යවසායකයන් පෞද්ගලික අංශයට ලබා දී රජය ඒ බරෙන් නිදහස් වී, බදු ආදායම් ආදියෙන් ආදායම් උපයන තැනට පත් විය යුතුව තිබිණි. එමෙන්ම එය මීට බොහෝ කලකට පෙර විය යුතුව තිබුණකි.

මේ නිසා අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් එරෙහි වීමට සාධාරණ කරුණු තිබුණේ නැත. එහෙත් එයට විරුද්ධව ඡන්ද පාවිච්චි කළේ තමන්ගේ පාක්ෂිකයා පිනවීම වෙනුවෙනි. ආණ්ඩුවට විරුද්ධ නොවුණහොත් තමන්ගේ පක්ෂ දේශපාලනය අර්බුදයකට යනවා යැයි සිතන පටු කල්පනාව නිසාය. එසේම විපක්ෂය බලාපොරොත්තු වන මැතිවරණයකදී තමන්ට ලැබෙන ඡන්ද ගොඩ අහිමි වෙතැයි කියන බයය.

අය වැය පරාජය කර මහ මැතිවරණයක් ලබා ගැනීමට උත්සහ කරන බවට ගෙන ගිය ප්‍රචාරය වුවත් ඇත්තක් නොවේ. මහ මැතිවරණයකින් ආණ්ඩුවක් පිහිටුවා අර්බුදය විසැඳීමට තමන්ට කළ හැක්කක් නොමැති බව මේ අය ඉතා හොඳින් දන්නා ඇත්තකි. රනිල් ඉදිරිපත් කර ඇති විසඳුමෙන් එහාට තමන්ට යෑමට නොහැකි බව ඔවුන් සක්සුදක් සේ දන්නා ඇත්තකි. අඩුම තරමින් රනිල්ගේ විසඳුම ඉදිරිපත් නොවෙන්න මේ අයට මේ ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමේ වෙන කුමක් හෝ මගක් ගැන හිතන්නවත් පුලුවන් කමක් නොතිබිණි. පසුගිය කාලයේ මේ පිරිස් රටේ ආර්ථික ප්‍රශ්න විසදීම ගැන වේදිකා ගානේ කියවපු කතා අනුව ගෙදර ආර්ථික ප්‍රශ්නවත් විසඳා ගැනීමේ හැකියාවක් ඔවුන්ට නොමැති බව පැහැදිලි කරගත හැක.

කොහොම නමුත් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව හමුවේ, නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැති බව ස්ථීර කර පැවසීය. ආර්ථික අර්බුදය විසඳාගැනීමට ගෙන තිබෙන පියවර සාර්ථක කරගැනීම සිය මුලික අවශ්‍යතාවය බව ඔහු අවධාරණය කළේය. එසේම තවත් වැදගත් කරුණක් එහිදී මතු කළේය. ඒ මීළඟ පාර්ලිමේන්තුව අලුත් මුහුණු වලින් පිරී යා යුතු බවය. එනම් රටේ දේශපාලනය අනාගතයට ගැලපෙන ලෙස අලුත් විය යුතු බවය. එය නවීකාරක විය යුතු බවය. පරණ හම්පඩ ගැසුණු දේශපාලනය අවසන් විය යුතු බවය. රනිල්ගේ මේ දේශපාලනික වුවමණාව දෙස සැලකිමේදී අද රටේ සිටින තරුණම දේශපාලනඥයා රනිල් විය යුතුය. ඔහු දශක ගනනාවක් ඉදිරිය දෙස බලා දේශපාලනයෙහි නිරත වෙයි.

තාරුණ්‍යයේ බලාපොරොත්තු ඉටුවන දේශපාලනයක් වෙනුවෙන් පෙනී සිටියි. රනිල්ගේ දේශපාලනය කවදත් තිබුණේ එවැනි ඉදිරිගාමී දැක්මක් සහිතවය. ඊට ඉඩ ලබා නොදීම රට මෙතරම් වියපත් වීමට හේතුවක් වුණා යැයි කීවත් වැරදි නැත. ඔහු පෙර යුගවල ගෙන ආ ආර්ථික සහ දේශපාලනික ප්‍රතිසංස්කරණ යෝජනාවලට බාධාකිරීම් නොවුණානම් අද ඉන්දියානු සාගර කලාපයේ වටිනාම රට විය හැකිව තිබුණේ ශ්‍රී ලංකාවය. කොහොම නමුත් ඔහුගේ ඉලක්කය 2048 වන විට රට, සංවර්ධිත රටක් ලෙස හැඳින්විය හැකි නිවැරදි මාර්ගයකට ගෙන ඒමය. ඒ මාර්ගය විවෘත කර දීම අද ඔහුගේ ඒකායන දේශපාලනය වී තිබේ. එහෙත් මේ පරණ හම්පඩ දේශපාලනය සමඟ එතැනට යා නොහැකි බව ඔහු හොඳාකරවම දන්නා නිසා පාර්ලිමේන්තුවට අලුත් නවීන දේශපාලන නියෝජිතත්වයක ඇති අවශ්‍යතාවය මතු කළේය.

මෙමගින් රටක නායකයකු සතුව තිබිය යුතු ස්ථිරසාර, නිවැරදි දැක්ම සහ ඒ වෙනුවෙන් තිබිය යුතු අධිෂ්ඨානය ඔහු මෙම විශේෂ ප්‍රකාශය තුළින් පෙන්නුම් කිරීමට නැවත වරක් සමත් විය. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළින් අත්පත් කරගන්නා ජයග්‍රහණයක් හැරුනු විට ප්‍රචණ්ඩත්වයෙන් ලැබිය හැකි දෙයක් නැති බවත්, නීති විරෝධි ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තකට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතු බවත් විපක්ෂයට අවධාරණය කළේ විපක්ෂය සිය ජනප්‍රිය දේශපාලනය උදෙසා මේ ප්‍රචණ්ඩ කැරලිකරුවන්ට උඩ ගෙඩි දෙමින් සිටින නිසාය. කරන අරගලයක් ලයිසන් අරගෙන කරන්න යැයි කීවේ රටේ සාම්‍යය පවත්වාගෙන යෑමට නොහැකි වුවහොත් අර්බුදය ජය ගැනීමට ගෙන තිබෙන පියවරයන් පවා ආපසු හැරවී පුරවැසියා යළි යළිත් පීඩාවට ගොදුරුවීම විය හැකි බැවිනි.

එසේම තමන් ඒකාධිපතියකු නොවන බවත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට ඇති කැමත්ත ද පෙන්වා දුන්නේ ඔහු විසින් සිදුකළ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයන් ගැන නැවත මතක් කරමිනි. එසේම මෙරට ඩින් ඩියම් පන්නයේ පාලනයකට ඉඩක් නොදෙන බව අවධාරණය කළේය. මේ ඩින්ඩියම් යනු දකුණු වියට්නාමයේ සිටි නරුම ඒකාධිපති පාලකයකි.

ඇමරිකානු පාලනයේ රූකඩයක් වූ ඩින් ඩියම් සිය ආගමික පක්ෂපාතිත්වය නිසා එදා වියට්නාමයේ බෞද්ධ විරෝධී වැඩපිළිවෙලක් ඉතා සාහසික ලෙස ගෙන ගිය අයෙකි. සමස්ත ලෝකයෙහිම විරෝධය ඔහුට එල්ල වී තිබු අතර පසුව ඩින්ඩියම් ඝාතනය කිරීමකට ලක්විය. ජනාධිපතිවරයා මේ උදාහරණය ගන්නේ මෙරට අරගලය නාමයෙන් සිදුවන කටයුත්ත පිළිබඳ තවත් තේරුමකින් බව පැහැදිලිය. ඒ අරගලය තුළ පිටස්තර අදිසි හස්තයන් ක්‍රියාත්මකව ඇති බව ඉඟිකිරීමටය. ඊට ඉඩක් ලබා නොදෙන බව දැඩිව අවධාරණය කිරීම රටේ ආරක්ෂාව, ස්වෛරීභාවය, ජනතා පරමාධිපත්‍යය ගැන කල්පනා කළ යුතු බව විපක්ෂයට මතක් කිරීමක් ලෙස සැලකිය හැකිය. එසේම 24 වන දිනද ජනාධිපතිවරයා මේ ගැන නැවත අවධාරණය කළේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට මුවා වී කරන දේශපාලන සෙල්ලම ගැනද සඳහන් කරමිනි.

එමෙන්ම ජනාධිපතිවරයා තමන් ජාතිවාදී ආගම්වාදී හෝ ඒකාධිපති පාලකයකු නොවන බව අවධාරණය කළ අතර දෙමළ සහ මුස්ලිම් ජනතාව මුහුණ දෙන ගැටළු නිරාකරණය කිරීමට බලය බෙදාහැරීම ගැන තමන්ගේ ඇති කැමැත්ත ප්‍රකාශ කරන ලදී. මේ වෙනුවෙන් පක්ෂ නායකයන්ගේ එකඟත්වය ලබාගැනීමටද ඔහු සමත්ව තිබිණි. පාර්ලිමේන්තුව නියෝජන කරන පක්ෂ බලය බෙදාහැරීමක් ගැන කතාකරන්න කැමැත්ත ප්‍රකාශ කළ පළමු අවස්ථාවත් මෙය විය හැකිය.

කොහොම නමුත් ජනාධිපතිවරයා අපේක්ෂා කරන නව ශ්‍රී ලංකාවක සිහිනය යථාර්ථයක් කිරීමට නම් වත්මන් පාර්ලිමේන්තුවේ සහය අවශ්‍යය. අපි එකතු වී රට ගොඩ නගමු යන්න ජනාධිපතිවරයා නිරන්තරයෙන් විපක්ෂයට අවධාරණය කරන්නේ එසේ නොමැතිව මේ ගමන පහසුවෙන් යා නොහැකි නිසාය. එසෙම රනිල්ගේ මග පෙන්වී, අත්වැල ම නොමැතිව මේ ගමන යන්න විපක්ෂයේ කිසිවකුට මේ මොහොතේ ශක්තියක් නැති බවත් පැහැදිලි කාරණයකි.

නමුත් විපක්ෂයට සිදුව තිබෙන්නේ රනිල්ට සහය ප්‍රකාශ කිරීමට ඇති ලැජ්ජාවද නැතිනම් ඒ නිසා තමන්ට ලැබිය හැකි මොකක් හෝ කොටසක් අහිමි වෙතැයි බිය ද විය හැකිය. පටු කල්පනාවන් ඇති විට එහෙම සිදුවේ. එහෙත් රට මුහුණ දී ඇති අර්බුදය හමුවේ, පුරවැසි ජනතාව වෙනුවෙන්, රටේ අනාගතය වෙනුවෙන් මේ ලැජ්ජාව සහ බිය අත් හැරිය යුතුව තිබේ. ඒ ගැන තමන්ගේ පාක්ෂික ජනතාව දොස් කියනු ඇතැයි බිය විය යුතු නැත. මන්ද දැන් පුරවැසියාට අවශ්‍යව ඇත්තේ පන් ගහේ හෝ එල්ලී ජීවිතය බේරාගැනීමටය නිසාය. එයට පක්ෂ පාට ජාති ආගමික බේදයක් නැත. සියලු දෙනාටම සිදුව ඇත්තේ එකම සන්තෑසියය. පක්ෂයකට නිවැරදි නායකත්වයක්, නිවැරදි දැක්මක් තිබේ නම් පාක්ෂිකයාගේ වුවමණාවන් මත නටන්න වෙන්නේ නැත. පාක්ෂිකයා නිවැරදි මතයට ගෙන එමේ හැකියාව සහිත විය යුතුයි.

කොහොම නමුත් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ගන්නා පොදු සාමුහික ක්‍රියාමාර්ගයකට කිසිවකු හෝ විරුද්ධ වන්නේ නැත. එසෙම අර්බුදය විසඳිමට විසඳුමක් ඉදිරිපත් කර ඇති මොහොතක ඒ මඟ හැර යෑමට යම් පක්ෂයක් කටයුතු කරනවා නම් එය තමන්ගේ දැනුවත්, සිහි බුද්ධියක් ඇති පාක්ෂිකයාවත් අහිමි කරගැනීමක් වෙනු ඇත. තමන්ගේ පක්ෂයට මේ අර්බුද විසඳන්න විසඳුම් නොමැති නම් ඉදිරිපත්ව තිබෙන විසඳුම හෝ ක්‍රියාත්මක කරන්න සහය දී තමන්වත් රටත් රැකගන්න නොහැකි පක්ෂය, පාක්ෂිකයා අත් හරිනු ඇත. එය පැහැදිලිය. මන්ද අද විපක්ෂයේ බොහෝ පක්ෂ මුහුණ දෙමින් තිබෙන ප්‍රශ්නය එය වී ඇති නිසාය.

අද රනිල් මොනව හරි කරල මේ ක ගොඩ දානවා කියා හැම අස්සකම මුල්ලකම ඇහෙන විටත් විපක්ෂය එය කඩාකප්පල් කරන තැනට යාම සියතින් දිවි නහ ගන්නවාට වඩා දෙයක් නොවේ. ඒ නිසා බොරුවට ජනතාව හමුවේ කැමොර දි දී අපි ආවොත් කරලා පෙන්නනවා කියන විහිළු කතාව තවදුරටත් කියා වැඩක් නැත. කරලා පෙන්වන්නේ කොහොමද කියන එක ගැනවත් කියන්න දෙයක් නැතිව ඒ විහිළු කතාවලින් වැඩක් නැත. මේ නිසා තවදුරටත් දේශපාලන පක්ෂ ලෙස බෙදී වෙන්වී කරන පරණ දේශපාලනයේ වලංගුභාවය දැන් අහෝසි වෙමින් තිබේ.

-ඝෝෂක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *