ආසියා පැසිෆික් කලාපීය අමාත්‍යවරුන්ගේ සහ පරිසර අධිකාරීන්ගේ සංසදයේ පස්වන සැසිවාරය කොළඹ දී

0

කලාපයේ පාරිසරික ගැටලු සාකච්ඡා කෙරෙන ආසියා පැසිෆික් කලාපීය අමාත්‍යවරුන්ගේ සහ පරිසර අධිකාරීන්ගේ සංසදයේ පස්වන සැසිවාරය (UNEP) මෙම ඔක්තෝබර් 03 වනදා සිට 06 වනදා දක්වා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්වෙන බව පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා පැවසීය.

එහි ප්‍රධාන සැසිය ඔක්තෝබර් 05 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවත් එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සහ පරිසර අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලබන මෙම සැසියේ දී කලාපයේ පරිසරික ගැටලු සාකච්ඡා කිරීමට රාජ්‍යයන්ට, අන්තර් රාජ්‍ය සංවිධානවලට සහ අනිකුත් පාර්ශ්වකරුවන්ට ඉඩ සැලසෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙවර සැසිවාරය සඳහා ආසියා පැසිෆික් කලාපයේ සාමාජික රටවල් 41 ක අමාත්‍යවරුන්, විදේශීය නියෝජිතයින් 300 කට අධික පිරිසක් සහ වෘත්තිකයන් 100 කට අධික පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවත්, 2024 පෙබරවාරි 24 සිට මාර්තු 1 දක්වා නයිරෝබි හි පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ පරිසර සභාවේ (UNEA) හයවන සැසිවාරයට සමගාමීව මෙය සංවිධානය කර තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ ප්‍රධාන සැසිවාරයට සමගාමීව ආසියා පැසිෆික් තරුණ පරිසර සංසදය, ආසියා ශාන්තිකර කලාපීය ප්‍රධාන කණ්ඩායම් සහ පාර්ශවකරුවන්ගේ සංසදය සහ පරිසරය පිළිබඳ ආසියා ශාන්තිකර විද්‍යා, ප්‍රතිපත්ති හා ව්‍යාපාරික සංසදය ඇතුළු සාකච්ඡා වට කිහිපයක් පැවැත්වෙන බවයි.

තිරසර බහුපාර්ශ්වික ක්‍රියාවන් කෙරෙහි අවධානය යොමු කරමින් දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය අහිමිවීම සහ පරිසර දූෂණය යන අර්බුදවලට විසඳුමක් සෙවීමට මෙම සැසිවාරය මනා පිටිවහලක් වනු ඇති බවත් පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා පෙන්වා දුන්නේය.

මෙම අභියෝගවලට එරෙහිව විසඳුම් සෙවීමේ ගෝලීය ප්‍රයත්නයට දායක වෙමින් ආසියා පැසිෆික් කලාපයේ පාරිසරික ගැටලු සාකච්ඡා කිරීමට සහ ප්‍රමුඛත්වය දීමට රජයන්ට, අන්තර් රාජ්‍ය සංවිධානවලට සහ පාර්ශ්වකරුවන්ට මෙම අවස්ථාව වේදිකාවක් සපයනු ඇති බව ද මෙහිදී සඳහන් කෙරිණි.
පරිසර අමාත්‍යංශයේ අතිරේක ලේකම් අංචලී කුමාරගම, අමාත්‍යාංශයේ අන්තර්ජාතික සබඳතා අධ්‍යක්ෂ කුලානි කරුණාරත්න යන මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *