අන්තවාදයෙන් ස්වර්ණමය යුගයක් බිහි කළ නොහැකි බව පෙන්වූ පොල්පොට් – (කයිවාරු හැර වමට කිසිවක් බෑ 5 වන කොටස)

0

රාජ්‍ය පාලකයෙක් යනු තමන්ගේ දේශයට පණ මෙන් ආදරය කරන අයකි. ඒ අය කිසි දිනක සිය දේශයට අවැඩක් වන ක්‍රියාමාර්ග ගන්නේ නැත. නමුත් ඉතිහාසය විමසීමේදී සිය දේශය සමෘද්ධිමත් කළ පාලකයෝ මෙන්ම සිය දේශය විනාශ කළ පාලකයොත් ඇත. කාම්බෝජයේ පොල්පොට් යනු තමන්ගේ දේශය විනාශ කළ රුදුරු පාලකයෙකි. ලෝකයේ ජන සංහාරයන් සිදු කළ පාලකයින් අතර මුලින්ම කියැවෙන නමක් වන්නේ පොල්පොට් යන නමය. පොල්පොට්ගේ සුවිශේෂීත්වය වන්නේ ඔහු කොමියුනිස්ට් විප්ලවවාදියෙක් වීමයි.

වසර කිහිපයකට සීමා වුණු පොල්පොට් පාලනය හේතුවෙන් කාම්බෝජයට සිදුවූ හානිය තක්සේරු කළ නොහැකිය. ඔහුගේ පාලන කාලය තුළ සිදු වූ දේපොළ හානිය මෙන්ම ජීවිත හානියත් අප්‍රමාණයි. මේ විනාශය නිසා කාම්බෝජයට සිදු වූ ආර්ථික බලපෑම, නැවත හැරවිය නොහැකි අන්දමේ සුවිශාල විනාශයක් විය.

පොල්පොට් කාම්බෝජය ඒකපාක්ෂික රාජ්‍යයක් බවට පත් කළ පාලකයෙකි. ඔහු විශ්වාස කළේ තමන් ඉදිරිපත් කළ සමාජවාදී කෘෂිකාර්මික ක්‍රමය නිසා කාම්බෝජය කොමියුනිස්ට් සමාජයක් සහිත රාජ්‍යයක් වනු අති බවය. ඒ වෙනුවෙන් ඔහු ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් රටේ ඇති වූ දැඩි මන්දපෝෂණ තත්වය, පැවැති දුර්වල වෛද්‍ය සේවාව නිසා වඩාත් බරපතල තත්වය පත් විය. සංඛ්‍යාලේඛන පෙන්වා දෙන පරිදි පොල්පොට් පාලනය නිසා ඇති වූ මෙම තත්වයෙන් කාම්බෝජයේ මරණයට පත් වූ සංඛ්‍යාව මිලියන 1.5ත් 2ත් අතර ප්‍රමාණයකි. සාමාන්‍ය අගයක් ලෙස ගතහොත් මෙම සංඛ්‍යාව කාම්බෝජ ජනගහණයෙන් හතරෙන් එකකි.

1975 – 1979 වසර තුළ දෙවතාවක් කාම්බෝජයේ පාලන බලය හිමිකරගත් පොල්පොට් ඇතුළු ඔහුගේ කොමියුනිස්ට්වාදී ආණ්ඩුව “කෙමර් රූජ්” ආණ්ඩුව ලෙස නම් කෙරිණි. ඔහු ප්‍රකාශ කළේ කොමියුනිස්ට්වාදී කාම්බෝජය තුළ පන්ති භේදයක් නොතිබිය යුතු බවයි. ඔහුගේ මේ සංකල්පය නිසා කාම්බෝජයේ උසස් පාන්තික පිරිස් මෙන්ම විරුද්ධ මත දරන පිරිස් දැඩි වද හිංසනයන්ට ලක් විය. මේ තත්වය කොයිතරම්ද කියනවා නම් ලොව වඩාත්ම ම්ලේච්ඡ හා භයානකම පාලනය විදියට හැඳින්වෙන්නේ පොල්පොට්ගේ පාලනයය.

“ස්ලොත් සාර්” නමින් 1925 වසරේ දී කාම්බෝජයේ “ප්‍රෙක් ස්බවු” නම් පිටිසර ගමේ උපත ලැබූ මේ දුර්දාන්ත පාලකයා පසුකාලීනව හැඳින්වුණේ “පොල්පොට්” යන නමින්. ධනවත් පවුලක උපත ලැබූ පොල්පොට් බෞද්ධ අධ්‍යාපනය වගේම කතෝලික අධ්‍යාපනයත් හැදෑරුවෙක්. ඔහු වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ ප්‍රංශයේය. ශිෂ්‍යත්වයක් ලබා පැරිස් අගනුවරට ගිය පොල්පොට් එහිදී ගුවන්විදුලි තාක්ෂණය හදාරා ඇත. කොමියුනිස්ට්වාදය සම්බන්ධයෙන් මූලික අඩිතාලම ඔහු ලබා ගන්නේ ප්‍රංශයේදීය.

සිය අධ්‍යාපන කටයුතු නිම කර 1953 වසරේදී කාම්බෝජයට පැමිණි පොල්පොට් කාම්බෝජයේ නිදහස් විමුක්තිකාමී අරගල හා සම්බන්ධ විය. 1959 දී, ඔහු කම්පුචේන් කම්කරු පක්ෂය බවට ව්‍යාපාරය විධිමත් කිරීමට උදව් කළ අතර එය පසුව කම්පුචියා කොමියුනිස්ට් පක්ෂය (CPK) ලෙස නම් කරන ලදී. රාජ්‍ය මර්දනයෙන් ගැලවීම සඳහා 1962 දී ඔහු සහ සගයන් වනගත කඳවුරකට පසුබැස්සේය. පසුව 1963 දී CPK නායකයා බවට පත් විය. 1968 දී ඔහු සිහනුක්ගේ රජයට එරෙහි යුද්ධය නැවත දියත් කළේය. 1970 කුමන්ත්‍රණයකින් ලොන් නෝල් සිහනුක් බලයෙන් පහකිරීමෙන් පසු, මිලීෂියාවේ සහ උතුරු වියට්නාම හමුදාවන්ගේ සහාය ඇතිව, 1975 වන විට කාම්බෝජය පුරා ඉදිරියට ගොස් පාලනය අත්පත් කර ගත්තේය.

පොල්පොට් ප්‍රමුඛ කෙමර් රූජ් පාලනයේ ප්‍රධාන දර්ශනය වූයේ “ලෝකයේ කිසිඳු රටකින් උපුටා නොගත් අපේම සමාජවාදයක් ගොඩනැගීම” යන්නයි. ඒ සඳහා විමුක්ති අරගලයේ දී ලබාගත් අත්දැකීම් භාවිතා කළ අතර, පාසල් හා විශ්වවිද්‍යාල වැනි ආයතන පසුගාමී හා යල්පැන ගිය ආයතන ලෙස නම් කොට ඉවත් කෙරිණි. මුදල් හෝ ආර්ථීකයක් අවශ්‍ය නොවන බව සඳහන් කළ පොල්පොට් නගරය යනු ධනවාදයේ ගොදුරක් බව ප්‍රකාශ කළා. එබැවින් සියලු පුරවැසියන් නගරයෙන් ඉවත් විය යුතු බවට ප්‍රකාශ කළ අතර, ඔවුන් රට වෙනුවෙන් ගොවිබිම් කරා යා යුතු බවට බල කෙරුණා.

ඔහුගේ පාලනය තුළ හඳුන්වා දුන් කෘෂිකාර්මික සමාජවාදී පාලන ක්‍රමය තුළ රජය විසින් සාමූහික ගොවිපලවල වැඩකටයුතු සිදු කිරීම සඳහා නාගරික ජනතාව බලහත්කාරයෙන් ගම්බද පෙදෙස්වල පදිංචි කරවීය. කම්පුචියානු වැසියන්ගේ ඒකායන ජීවිකාව ලෙස පාලක කෙමර් රූජ් විසින් අණකර තිබුණේ වගා කිරීම පමණි. නොම්පෙන්හි විසූ මිලියන 2.5ක් වූ ජනතාව එයින් බලහත්කාරයෙන් ඉවත් කෙරුණු අතර, ඔවුන් මරණයේ ගොවිපල ලෙස පසුව හැඳින්වුණු වගාබිම් වෙත බලහත්කාරයෙන් යොමු කෙරිණි. මෙම වගා බිම්වල අධික ලෙස වෙහෙසට පත්ව කටයුතු කළ ජනතාව නිරාහාරව හා රෝගීව දහස් ගණනින් මියැදීමට ලක් වුවද කැමර් රූජ් පාලනය සිය ක්‍රමය වෙනසකට ලක් කළේ නැත.

මෙම ක්‍රමය තුළ තමන් වෙනුවෙන් එකදු ගසක් හෝ සිටුවීම පුරවැසියාට තහනම් වූ අතර, සියලු ක්‍රියාකාරකම් පොදු ක්‍රියාවලියක් ලෙස නම් කෙරිණි. පොල්පොට්ගේ පාලනයේ බරපතලම තත්වය වූයේ වගා බිම්වල දිනකට පැය දාහතරකටත් වඩා වැඩි කාලයක් ආහාර හෝ නිසි පහසුකම් නොමැතිව ජනතාව විසින් වගාකර නෙළාගන්නා අස්වැන්නේ ප්‍රතිලාභයන්, යළි ජනතාවගේ බඩගින්න නිවන්න යොදවනවා වෙනුවට චීනයට අපනයනය කොට එයින් ලබාගන්නා මුදල්, අවි ආයුධ ආනයනය සඳහා පමණක් යෙදවීමය. මෙය කාම්බෝජයේ තත්වය වඩ වඩාත් දරුණු තත්වයකට ගෙන යාමට සමත් විය.

එසේම එවකට සිටි සමාජ සේවකයින්, වෛද්‍යවරුන්, ගුරුවරුන් ඇතුළු සියළු වෘත්තිකයින් තමන්ගේ වෘත්තියෙන් පහ කෙරුණු අතර, ඔවුන් ද ගම්බද පෙදෙස්වල වගාබිම්හි සේවය සඳහා යෙදවිණි. විශ්වවිද්‍යාල දේශකයන්, ව්‍යාපාරිකයන්, මාධ්‍යවේදීන්, හා නොයෙක් උපාධි ලද උගතුන් සියළු දෙනාම පාහේ ඝාතනය කිරීමට ඔවුන් විසින් ක්‍රියාකරන්නේ කෙමර් රූජ් රජයට එරෙහි වීමට ඔවුන් උත්සාහ කරනු ඇතැයි යන සැකය මතය. තමන්ට තර්ජනයක් යැයි හැඟෙන ඕනෑම අයෙකු මරා දැමීමට වරෙන්තුවක් අවශ්‍ය නොවන අතර, විදේශ භාෂා කතා කිරීම, විදෙස් රටවල් සමඟ සබඳතා පැවැත්වීම, විදෙස් රටවල් සමඟ වෙළඳ ගනුදෙනු කිරීම, රජයේ රැකියාවක නිරත වී සිටීම, ව්‍යාපාර හිමි වී තිබීම, මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කිරීම හෝ කර තිබීම නියත මරණයට හේතු විය.

මෙම ක්‍රියාවලිය පිළිබඳව යම් කිසිවෙකු හෝ සිය අකමැත්ත හෝ විරෝධ පළ කළහොත් ඔවුන් වෙනුවෙන් රජය වෙන්කර ඇති ආහාර සලාක තහනම් කෙරුණි. සලාක තහනම් කිරීමෙන් පාලනය කරගත නොහැකි වූ පුද්ගලයින් ී-21 නම් ලෝක සුප්‍රසිද්ධ වදකාගාරය වෙත යොමු කෙරුණු අතර, එහිදී එකී විරුද්ධවාදීන් ඉතා කෘර වදහිංසාවට ලක් කෙරිණි.

කෙසේ වෙතත් මෙලෙස බලහත්කාරයෙක් ගොවිබිම්වල සේවයට යෙදවුණු ජනතාව වෙත නිසි පරිදි ආහාර නොලැබුණු අතර, බහුතරයක් තුළ මන්දපෝෂණ තත්වයන් දක්නට ලැබිණි. මේ අතර අධික ලෙස වැඩෙහි යෙදීම හේතුවෙන් හා ප්‍රමාණවත් ආහාර හා සෞඛ්‍ය පහසුකම් නොලැබීම හේතුවෙන් බොහෝ දෙනා මිය ගිය අතර, කාම්බෝජයේ සමූහ මිනීවලවල් යන්න සුලබ සිදුවීමක් බවට පත් විය.

මේ අතර, පොල්පොට් පාලනය විසින් රටේ මුදල් භාවිතය තහනම් කළේය. බැංකු කටයුතු හා මුදල් ගනුදෙනු අහෝසි කළ අතර, මේ හේතුවෙන් පුද්ගල නිදහස අහිමි විය. ජනතාවගේ මූලික හා ද්විතීයික සියලු අවශ්‍යතා සපුරාලීම සිදු කරනු ලැබුවේ රජය විසිනි. මුදල් මෙන්ම පෞද්ගලික දේපොළ පරිහරණය තහනම් කෙරුණු අතර, ආභරණ පැළදීම, සූදුව ද තහනම් විය. එසේම පොත්පත් පරිශීලනය හා ආගම ඇදහීම නීතියෙන් තහනම් විය. මාධ්‍යකරණයක් රට තුළ නොවූ අතර, මාධ්‍ය සම්පූර්ණයෙන්ම නිෂ්ක්‍රීය කෙරිණි.

මේ අතර තරුණ තරුණියන් කෙරෙහි බලපාන වෙනම නීති පද්ධතියක් නියම කෙරුණු අතර, තරුණ තරුණියන් බලහත්කාරයෙන් රජයේ හමුදාවන් වෙත බඳවා ගැණිනි. එසේම ලිංගික ක්‍රියාවන් කෙරහි දැඩි නීති පැනවුණු අතර, විවාහය හා ලිංගික සබඳතා සේම දරුවන් බිහිකිරීම කෙරෙහි රජයේ මැදිහත්වීම ඉතා බලවත් විය. එම ක්‍රියා පාලනය කිරීමට හා සීමා පැනවීම වෙනුවෙන් වෙනමම නීති ක්‍රියාත්මක විය. එසේම උපැස් යුවල හෝ අව් කණ්නාඩි පැළඳීම තහනම් කෙරුණු අතර, කණ්නාඩි පැළඳීම බටහිර සිරිතක් ලෙස හැඳින්විය.

මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් පොල්පොට් පාලනයට ජාත්‍යන්තරයේ දැඩි දෝෂ දර්ශනයන් එල්ල වූ අතර, ඇමරිකාවට එරෙහි යුද්ධයට සම්බන්ධවීම හේතුවෙන් රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගෙන ගිය වියට්නාමය පවා කාම්බෝජය සමඟ පැවැති රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා අත්හිටුවීමට තීරණය කළේය. එසේම කාම්බෝජයේ මෙම පාලනය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කළ වියට්නාමය මෙම තත්වය තමන්ට ද තර්ජනයක් වනු ඇති බවට අනුමාන කරමින් කාම්බෝජයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේය.

මේ අනුව වියට්නාම හමුදා සාමාජිකයින් 60,000කට අධික ප්‍රමාණයක් කාම්බෝජය වෙත යැවූ වියට්නාමය, කෙමර් රූජ්වලට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේය. අවසානයේ කාම්බෝජයේ කෙමර් රූජ් පරාජයට පත් කරමින් වියට්නාම හමුදාව විසින් 1979 වසරේදී කාම්බෝජයේ නොම්පෙන් නගරය අල්ලා ගත් අතර, කමෙර් රූජ් ප්‍රධාන පොල්පොට් නැවත වරක් උතුරු වියට්නාමයේ වනගත ප්‍රදේශ කරා පළා ගොස් සැඟවිණි. උතුරු වියට්නාමයේ වනගත ප්‍රදේශවල දී නැවත වරක් සංවිධානය වූ පොල්පොට් ප්‍රමුඛ කෙමර් රූජ් ගරිල්ලන් විසින් වියට්නාම පාලනයට එරෙහිව ප්‍රහාර දියත් කළේය.

1979 දී වියට්නාමය පොල්පොට් පාලනය පෙරළ දමා ඊට විකල්පව වාමාංශික රජයක් කාම්බෝජයේ ස්ථාපිත කළේය. කෙසේ වෙතත් කෙමර් රූජ් ගරිල්ලා සංවිධානය වෙත චීනයේ සහය ලැබුණු අතර, ජාත්‍යන්තර වාර්තා ප්‍රකාශ කරන්නේ ඇමරිකානු දේශපාලන සහය ද කෙමර් රූජ් ගරිල්ලන් වෙත ලැබුණු බවයි. කෙසේ වෙතත් අවස්ථා ගණනාවකදී වියට්නාම් හමුදාවට ප්‍රහාර එල්ල කළ නමුත් එය අසාර්ථක වූ අතර, 1990 දශකයේ මුල් භාගය වන විට කෙමර් රූජ් ගරිල්ලා සංවිධානයේ බලය බොහෝ ප්‍රමාණයකින් බිඳී ගොස් තිබිණි. වියට්නාම් හමුදා සමඟ කමෙර් රූජ් ගරිල්ලන් සටන් විරාම ගිවිසුමක් (පැරිස් සාම ගිවිසුම) 1991 වසරේදී අත්සන් කෙරුණි. 1998 දී පමණ රෝගී වු පොල්පොට් මියගිය බව වාර්තා විය.

පැරිස් සාම ගිවිසුමෙන් පසුව, කාම්බෝජය එක්සත් ජාතීන් (1992-93) විසින් පාලනය කරන ලදී. ලියාපදිංචි ඡන්දදායකයින්ගෙන් 90%ක් පමණ ඡන්දය ප්‍රකාශ කළ මැතිවරණයක් පැවැත්වීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉවත් විය. හිටපු අග්‍රාමාත්‍ය හුන් සෙන් වසර 39ක් පමණ රාජ්‍ය පාලනය කළ අතර ලොව දීර්ඝතම කාලයක් සේවය කළ නායකයන්ගෙන් කෙනෙකි. නමුත් විරුද්ධ පක්ෂ මර්දනය කරමින් ඒක-පක්ෂ රාජ්‍යයක් සේ එම පාලනය ක්‍රියාත්මක විය. ප්‍රධාන විරුද්ධ පක්ෂයට මැතිවරණට මුහුණ දීම වලක්වා හුන් සෙන්ගේ පුත්‍රයා වත්මන් අගමැතිවරයා ලෙස පත්ව සිටී. මේ තත්වයන් මත කාම්බෝජය දූෂිත, අවම සංවර්ධිත රටක් ලෙස බරපතල පීඩාවන්ට ගොදුරුව තිබේ.

රටක් වෙනස් කිරීම යනු ක්ෂණිකව ඇඳුමක් අනෙක් පිට පෙරළන්නාක් මෙන් කළ හැකි දෙයක් නොවේ. ඒවා ක්‍රමිකව හා ක්‍රමානුකූලව සිදු කළ යුතුය. එසේම ලෝකය හා බද්ධ වූ ඊට සමාන්තර ගමනක් යා යුතුය. උද්දච්ඡකමට, හිතුවක්කාරකමට, මෝඩකමට ගත් ක්ෂණික වෙනස්කම්වල ප්‍රතිපල ශ්‍රී ලංකාවේ පුරවැසියන් ද ඕනෑ තරම් භුක්තිවිඳ ඇති අතර, තවමත් භුක්ති විඳිමින් ද සිටී. වාමාංශික මෙන්ම ජාතිකවාදීන් තුළ ආවේණික රෝගයක් ලෙස ඇති මේ ක්ෂණික මෝචන තත්වයන් නිසා විනාශ වූ රටවල් තව ඕනෑ තරම් ලෝකයෙහි තිබේ. අපි ආවොත් පැය 24න් පැය 48න් අරක කරනවා මේක කරනවා කියන දේශපාලන නායකයන්ගෙන්, කණ්ඩායම්වලින් පරිස්සම් වීම විය යුතු බව මේ ලෝක අත්දැකීම් කියා දෙන පාඩමයය.

සමාජවාදී විප්ලවයට පසු සමාජය වෙනස් කිරීම අරමුණු කරගෙන චීනයේ ආරම්භ කළ සංස්කෘතික විප්ලවය අසාර්ථක බව ඔවුන්ම පිළිගෙන තිබේ. දැවැන්ත ජීවිත විනාශයක් හා පළිගැනීමක් එහි දී සිදුවූ බව සැලකේ. චීනය එයින් නැගිට්ටේද නැත. චීනය ඒ අනුව වෙනස් වීම, ධනේෂ්වර ප්‍රතිසංස්කරණයන් වෙත ක්‍රමාණුකූලව මාරු වීම චීනයේ වත්මන් දියුණුවේ මඟ විය.

1975 – 1979 කාලය තුළ කාම්බොජයේ පොල්පොට් පාලනය විසින් සිදු කළේ පැවැති ක්‍රමය එක රැයෙන් අත්හිටුවා, යළි බිංදුවෙන් ආරම්භ කරන්නට වෑයම් කිරීමකි. එය රටේ අලුත් පරිච්ඡේදයක් සේ හිතන්නට බල කළ නමුත් එය සාර්ථක වූයේ නැත. බලහත්කාරය සමග ඇති වූ අරගල මිලියන දෙකක පමණ පිරිසකගේ ජීවිත අහිමි කළේය. වැරැදුන තැන් නිවැරදි කරගැනීමට ඔවුන් සමත් නොවුණි. අන්තවාදී වාමාංශික මතයකම එල්ලී සිටියේය. අන්තවාදයන් මඟින් ස්වර්ණමය යුගයක් බිහි නොකෙරෙන බව කාම්බෝජ අත්දැකීම් ඔප්පු කොට තිබේ.

මතු සම්බන්ධයි

  • රිද්ම අනුරාධ ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *