අනුරට සජිත්ට වඩා රනිල් තවමත් විශ්වාසනීයයි.

0

මැතිවරණ දේශපාලනයේදී ආණ්ඩු බලය අත්පත් කරගැනීම ඕනෑම දේශපාලන පක්ෂයක ප්‍රධානම අරමුණ වෙයි. එහෙත් ඒ වෙනුවෙන් දන්න සෙල්ලම් සියල්ල දමා ආණ්ඩු බලයක් ලබාගත්තත් එය පවත්වාගෙන යෑම විපක්ෂයට වී දේශපාලනය කිරීම තරම් ලෙහෙසි නැත. ආණ්ඩුවකට දේශපාලනය වෙනුවට රාජ්‍ය පාලනය කරන්න වන විට එය අතිශය අසීරු අභියෝග වලට මුහුණ දීමට සිදුවේ. සාමාන්‍ය අත්දැකීම ඒකය. ඊටත් වඩා බංකොලොත් වූ රටක ආණ්ඩු බලය ලබාගෙන ඒ ආණ්ඩු කෙරුවාව කරන්න යෑම ඊටත් වඩා අසීරුය. රට බංකොලොත්භාවයෙන් මුදවා ගන්න ජනප්‍රිය නොවන තීන්දුතීරණ ගැනීමට සිදුවෙයි. රාජ්‍ය ආදායම් වැඩි කරගැනීමට බදු වැඩි කිරීම් මෙන්ම රාජ්‍ය වියදම් අඩුකර ගැනීමට වැටුප් කප්පාදු, සහනාධාර කප්පාදු කිරීම ආදිය විය හැකිය. ඒ නිසාම ජනතාව විශාල පීඩාවකට ලක්වීමත් විය හැකිය. ඒ අනුව ජනතාවගෙන් එල්ලවන විරෝධතා පාලනය කරන්නත් විය හැකිය. ඒ අතරේ ආණ්ඩු බලය රැකගැනීම වෙනුවෙන් වෙහෙසෙන්නටත් සිදුවේ.
එහි අනෙක් පැත්ත කවුරු ආණ්ඩුවක් ගත්තත් විපක්ෂයට එම ආණ්ඩුවට එරෙහි වෙමින් තමන්ගේ දේශපාලන අභිප්‍රාය ඉහළ නංවාගැනීම වෙනුවෙන් ජනතාව අතර ජනප්‍රිය වීමේ අවස්ථාව නිරන්තරයෙන් ලැබීම සිදුවෙයි. ඊටත් වඩා ජනතාව පීඩාවට පත්වෙන තීන්දු තීරණ ආණ්ඩුව විසින් ගන්නා විට විපක්ෂයට රජ මඟුල්ය.
වර්තමාන ශ්‍රී ලංකාව මුහුණ දෙමින් තිබෙන තත්වය අනුව විපක්ෂයට රජ මඟුල් පිට මඟුල් කරන්න තරම් වාතාවරණයකි. වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විසින් ගන්නා තරමක් ගත් තීන්දු ජනප්‍රිය ඒවා වූයේ නැත. විශේෂයෙන්ම බදු වැඩි වීම, ඉන්ධන විදුලි බිල් වැඩි වීම, බඩු මිල වැඩි වීම සිදු විය. මේවායෙන් සාමාන්‍ය ජනතාවට විශාල ආර්ථික දුෂ්කරතා වලට මුහුණ පෑමට සිදු විය. ඒ බව ජනාධිපතිවරයා විසින්ද පිළිගෙන තිබේ. එසේම ඉදිරි වසර දෙක තුනක කාලය තුළත් යම් දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදුවන බවත් පවසා තිබේ. එසේම ජනවාරි පළමු වෙනිදා සිට ක්‍රියාත්මක නව වැට් බදු සංශෝධනය නිසාද යළි භාණ්ඩ හා සේවා මිළ යම් තරමක ඉහළ යෑමක් සිදුවීමට නියමිත බවත් පැහැදිලිය. මේ අනුව විපක්ෂ කණ්ඩායම් වලට හත්දොහේ රජ මඟුල් කෑමේ අවස්ථාව පහසුවෙන් හිමිව පවතී.
එහෙත් මේ මොහොතේ මෙරට විපක්ෂයට සිදුව ඇත්තේ ජනතාව මුහුණ දෙන දුෂ්කරතාවයන්ටත් වඩා අහේනියකි. මෙතරම් අමාරු වාතාවරණයක් රටේ ජනතාවට තිබුණත් විපක්ෂය විදිහට එහි දේශපාලනික වාසියගැනීමට හෝ ඔවුන් මේ මොහොතේත් අපොහොසත් බව පෙන්වීම විශේෂිත තත්වයකි. මේ තත්වය ඇතිවීමට ප්‍රධානතම හේතුව මෙරට ජනතාව මුහුණ දෙන ගැටළු හමුවේ ඒ වෙනුවෙන් පෙනී සිටීමට සාධාරණ යුක්තිසහගත තාර්කික විසඳුම් ඉදිරිපත් කිරීමට විපක්ෂය අසමත් වීමය. විශේෂයෙන්ම ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අර්බුදය විසඳීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල නිවැරදි නොවන බව පෙන්වීම හෝ ඊට විකල්ප වැඩසටහනක් විපක්ෂය සතුව ඇති බව පෙන්වීමට සමත් නොවීමය. ඔවුන්ගේ විසඳුම් නොතකා හැරියත් අඩුම තරමින් ජනතාව මුහුණ දෙන ගැටළු ඉදිරිපත් කිරීම වෙනුවෙන් හෝ ඒවා වහා විසඳීමට මැදිහත් වන ලෙස රජයෙන් කරන ඉල්ලීමක් හෝ ප්‍රබලව දකින්නට නැත. අනෙක් කරුණ වන්නේ විපක්ෂය ජනතාව වෙනුවෙන් යැයි කියමින් මොනවා දෙඩෙව්වත් ඒවා ජනතාව ගනනකට නොගෙන නොතකා හැරීමය.
විපක්ෂ නායකයා පසුගිය අයවැය විවාදය පුරාම පාර්ලිමේන්තුව තුළ කතා කළේ ක්‍රිකට් පාලක මණ්ඩලය ගැනය. දෙස් දෙවොල් තැබුවේ ආණ්ඩුවටය. නමුත් මෙය රාජ්‍ය ආයතනයක් නොවන සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ අධීක්ෂණය සහ එහි නීති රීතිවලට යටත් ආයතනයකි. ඒ නිසා ඒ ගැටළු විසඳිය යුත්තේ ඒ සමඟ බැඳී ඇති නෛතික තත්වයන් අනුව මිස ආණ්ඩුව නොවේ. ආණ්ඩුවට කළ හැක්කේ මෙරට නීති ප්‍රතිපාදන අනුව ඊට පහසුකම් සැලසීමය. ආණ්ඩුව එම පියවරයන් ගත්තේ සජිත්ලා මැදිහත්ව ක්‍රිකට් තහනම් කරගන්නා තැනට වැඩ සිද්ධකරගන්නත් කලින්ය. මේ සජිත් මොන දේ කරන්න ගියත් වල්ගේ පාගගෙන කෑමොර දෙන්නෙක් බවට එක් උදාහරණයක් පමණි මේ ක්‍රිකට් ප්‍රශ්නය.
කොහොමටත් අර්බුදයක කරවටක් ගිලී සිටින විට ක්‍රිකට් වැනි ප්‍රශ්න වහා විසඳාගත යුතු ජනතාවගේ දැවෙන ප්‍රශ්න නොවේ. ක්‍රිකට් රටේ තිබුණත් එකයි නැතත් එකයි යැයි හිතමින් සිටින බහුතරයක් ඉන්නා රටකට ක්‍රිකට් ප්‍රශ්නය විසඳාගැනීම ජනතාවගේ අභිලාශයක් නොවේ. නමුත් සජිත් පෙනී සිටින්නේ එය ආණ්ඩුවේ ප්‍රශ්නයක්, ජනතාවගේ ප්‍රශ්නයක් කරගෙන විසඳිය යුතුය කියන මෝඩචූන් ස්ථාවරයකය. සජිත් මේ ක්‍රිකට් පරිපාලනය වෙන්නෙ කොහොමදැයි කියාවත් තවම දන්නේ නැත. ඒ නොදත් සජිත් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියා දැන් ජනතාව කල්පනා කරනවා නම් එය පුදුම වෙන්න දෙයකුත් නොවේ. පාර්ලිමේන්තුවට වී එහි කාලය කා දමමින් පිස්සු මළවිකාර දොඩවමින් සිටින්නට පුරුදුව ඇත්තෙත් කටපියාගෙන සිටිනතාක්කල් මෝඩයාත් පණ්ඩිතයකු බවට වන කතාව නොදන්නා නිසාද විය හැකිය.
ඊගාවට අනුර කුමාර. වෙන්ඩ ජනාධිපති හීනයක වෙලී සිටින අනුරට ඒ බල පිපාසාව දැන් දිරවාගන්නට නොහැකිව සිටින බව පෙනෙන්නට තිබේ. ජනාධිපතිවරයා රට ගොඩදැමීම වෙනුවෙන් ගන්නා පියවරයන් එකින් එක ඔහුව විශාල පීඩාවකට පත්කරන්නක් බවට පත්ව ඇති බවත් පෙනෙයි.
මේ නිසා පාර්ලිමේන්තුව් වරප්‍රසාද වලට මුවා වී පට්ටපල් බොරු කියන තැනට ඔහු පත්ව ඇත. විටෙක හීනේන බය වී නන්දොඩවන්නකු ලෙස හැසිරේ. තමන් සම්බන්ධයෙන් කාලයක් පුරා පැවැති උපහාසාත්මක විරුදය වූ ‘බොනිකර තරුව’ යළි ඔප්නංවා ගැනීමට මෙන් අනුර මේ දිනවල හැසිරෙමින් තිබීම වෙන්ඩ ජනාධිපතිවරයකුට ඔඹින්නේ නම් නැත. පසුගියදා විදුලි හා බලශක්ති අමාත්‍යංශ ගණුදෙනු සම්බන්ධයෙන් කතා කරන්නට ගොස් කටඋත්තර නැතිවෙන්න ජනාධිපතිවරයාගෙන් සහ කාංචන විජේසේකර ඇමැතිවරයාගෙන් අහගන්න සිදු වුණේ මේ බොරු විදීම හැමදාම කරන්න බැරි බවට පාඩමක් යළි ඉගෙන ගනිමිනි. ඇමැතිවරයා ඔහු කළ චෝදනාවන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන් පිටතදී විවාදයකට ආරාධනා කළ විට අනුර එයින් පැන ගියේය. විවාද වලින් පැන යාම අනුරට අලුත් දෙයක් නොවේ. මීට පෙරද මෙවැනි සිදුවීම් කිහිපයක් සිදු විය. පාළු අම්බලම් වල වළං බිඳීමට දක්ෂ වුවත් අනුර ප්‍රසිද්ධ අභියෝග වලට බයය. එහෙත් මේ අනුරලාට විලි ලැජ්ජාවක් නැත. ඒ නිසා හැමදාම බොරුවෙන්ම ගොඩයන්න කරන දැඟලීම නවත්තන්නේ නැත. අනුර ඇත්තක් කියයිය, වැඩකට ඇති වැඩක් කරයිය, බලය ගත්තොත් රට ගොඩදායිය, වගේ දේවල් ගැන කවුරුවත් බලාපොරොත්තු තබා ගතයුතු නැත. එහෙම දේවල් කරන්න තරම් පරිචයක් නැත. අනුරලා මවලා දෙන සිහින වල සිටින වුන් සුළු පිරිසක් සිටිය හැකි නමුත් රටේ බහුතරය, අනුරලාගේ ඇත්තේ බොනිකර තරුව බව අහලා දැකලා පුරුදු අයය.

කොහොම නමුත් මේ වන විට විපක්ෂයේ සජිත්, අනුර මෙන්ම ඔවුන් සමඟ පූට්ටු වී හෝ ගොඩයන්න බලාගෙන සිටින ඩලස්ලා ජී එල්ලා විමල්ලා ආදීන්ද සිටින්නේ කර කියාගන්න දෙයක් නොමැතිවය. ඒ ජනපති රනිල් ගෙන යන වැඩපිළිවෙල දිනෙන් දිනම අදියරෙන අදියරට සාර්ථක වෙමින් තිබෙන නිසාය. පෙර පැවැසුවා සේ ජනප්‍රිය නොවන තීන්දුතීරණ ගෙන, ජනතාවත් එයින් යම් පීඩාවකට ලක්වෙමින් තිබියදී ජනාධිපති රනිල් යුගයේ අසහාය නායකයා වෙමින් තිබේ. ඒ කිසිවකට වඩා රටේ අනාගතය ගොඩනගන්න, බංකොලොත් රට ගොඩනගන්න, ජනතාව පීඩාවෙන් මුදවගන්න ඔහු ගනිමින් තිබෙන පියවරයන් නිසාය. තවදුරටත් ඔහුව විශ්වාස කරන්න ජනතාව පෙළඹෙමින් තිබීමටත් එක් හේතුවක් වී ඇත්තේ මේ විපක්ෂ කණ්ඩායම් වල දුර්වලතාවයන් සහ ඔවුන් පෙන්වන අවිශ්වාස ජනකභාවයය.

ජනපති රනිල් ජනතාව හමුවේ බොරු කීවේ නැත. ඇත්ත ඇති සැටියෙන්ම පෙන්වා දී එයින් ගොඩ එන්න තිබෙන දුෂ්කර විසඳුමද පැහැදිලිව නිශ්චිතව නොසඟවා ඉදිරිපත් කළා සේම, මේ වන තෙක් සියල්ල සාර්ථකව කර තිබේ. එහෙත් ඒ සියල්ල ඔහුට පහසුවෙන් කිරීමට හැකි වූ දේ නොවේ. විපක්ෂයෙ බරපතල බාධා කිරීම් නිරන්තරයෙන්ම සිදු විය. වැඩ වර්ජන විරෝධතා උද්ඝොෂණ, කඩාකප්පල් කිරීම් නිමක් නැතිව සිදු විය. ඒ සියල්ලට සෘජුව මුහුණ දෙමින් ජනපති රනිල් එඩිතරවත් නිවැරදිවත් කටයුතු කළේය. එපමණක් නොවේ. මෙහිදී ජාත්‍යන්තර බලපෑම් කළමනාකරණය කරගැනීමටද ජනපති රනිල්ට විශේෂ වෙහෙසක් ගැනීමට සිදුවිය. ගෝලීය භූ-දේශපාලනික ගැටුම් නිසා ලංකාව මුහුණ දී තිබෙන ගැටළු ශක්තිමත් නොබැඳි පිළිවෙතක සිට කළමනාකරණය කරගනිමින් සියලු තත්වයන් මේ රටට වාසිදායක ලෙස විසඳාගැනීමට රනිල්ට හැකි විය. විශේෂයෙන්ම අමරිකානු හා බටහිර රජයන් සහ සංවිධාන සමඟ ගැටෙන්න සිදුවූ අවස්ථාවන්ද තිබිණි. ජනපති රනිල්ගේ ඇතැම් දැඩි ප්‍රකාශයන් ජාත්‍යන්තරට හමුවේ ඉදිරිපත් වන විට විපක්ෂයත් තවත් බොහෝ පිරිස් සිතුවේ රනිල් මේ ගමන අමරිකාවෙන්ම පාඩමක් ඉගෙන ගනී කියාය. නමුත් රනිල්ට වැරදුනේ නැත. ඔහු වචන සහ අදහස් පාවිච්චි කළේ එහි ප්‍රතිපලය දැනගෙනය.
මෙරට දේශපාලනයේ හැසිරීම මෙන්ම ජාත්‍යන්තර දේශපාලන හැසිරීම ගැනත් ඔහුට තිබෙන පරිචය නිසා ඔහු සාර්ථකව අද රාජ්‍යය පාලනය කරන්නේ නිදහසෙන් පසුව බිහිවූ විශිෂ්ටතම රාජ්‍ය නායකයා ලෙස බව කීම වැරදි නැත. මන්ද නිදහසෙන් පසුව මෙරට මෙතරම් දුෂ්කරතාවයකට මුහුණ දී තිබුණේ නැත. එසේම රට යළි ගොඩනැඟීම වෙනුවෙන් මෙතරම් දුෂ්කර තීන්දුතීරණ ගැනීමට සිදුවූ වාතාවරණයක් ඉතිහාසයේ තිබුනේ නැත. ඊටත් වඩා බංකොත්භාවය ප්‍රකාශ කළ රටක්, අධිවේගයකින් යළි ගොඩනැඟීමට සමත් වූ වෙනත් රාජ්‍ය නායකයෙක් ලෝකයේ සිටියේ නැති බවත් කීම අතිශයෝක්තියක් නොවේ.
අද රනිල් රටේ ආර්ථික ස්ථායිතාවය වසර එකහාමාරක කාලයකින් තහවුරු කිරීම ලෝකය මවිත කරවන්නක් බව කියන්නේ ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයන්මය. ආර්ථිකමය වශයෙන් කඩා වැටුණු රටක් කෙටි කලකින් නඟා සිටුවන්නේ කොහොමද කියන එකට ලංකාව මොඩලයක් ලෙස පාවිච්චි කළ හැකි බව කියන්නේ ජාත්‍යන්තර සංවිධාන සහ සමාගම් විසින්ය. මීට දසවසරකටත් පෙර යුගවල කඩා වැටුණු ආර්ථිකයන් සහිත එසේම මෙරටට වඩා දියුණුව පැවැති, ස්වභාවික සම්පත් සහ දියුණු මානව ප්‍රාග්ධනයකින් හෙබි රටවල් ගනනාවක් අදත් පවතින්නේ ගොඩඒමක් නොමැතිවය. ග්‍රීසිය වැනි රටකට ජාත්‍යන්තර සහය පවා ඉහළින්ම ලැබී තිබියදීත් තවමත් පවතින්නේ අවිනිශ්චිත තත්වයකය.

මේ නිසා රනිල් කළ වික්‍රමය සදානුස්මරණීය ඓතිහාසික කර්තව්‍යයක් ලෙස අනාගතයේදී ජනතා බුහුමනට ගෞරවයට ලක්වීමත් වැලැක්විය හැකි නොවේ.

එහෙත් එයත් සමඟින්ම මෙරට ඉතිහාසයේ පජාතම විපක්ෂය පැවැතියේ මේ කාලයේදී බවත් ඉතිහාසයේ ලියැවෙනු ඇත. සජිත්ලා අනුරලා එහි පරිච්චේද දැනටම ලියා වෙන් කරගෙන අහවරය. එසේම ඔවුන්ගේ ඉදිරි පරිච්ඡේදයනුත් ඒ පජාත විපක්ෂය නමින්ම ලියවෙනු නොඅනුමාන බවත් ඔවුන් දැන් පෙන්වමින් තිබෙන දේවල් අනුව පැහැදිලිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *