අර්බුදයෙන් රට ගොඩගැනීම ප්‍රාතිහාර්යයක් වුණු හැටි
“අර්බුද ක්‍රමිකව ගොඩනැගෙන නමුදු කඩාවැටීම සිදුවන්නේ ක්ෂණිකවය”. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන කතාව එහෙමය. කාලාන්තරයක් තිස්සේ විවිධ පාලකයන් ගන්නා ලද අදූරදර්ශී ක්‍රියාමාර්ගවල එකතුවක් ලෙස ක්‍රමිකව ගොඩනැගුණු ලංකාවේ ආර්ථික අර්බුදය ගෝඨාභය පාලන සමයේ ගත් අමනෝඥ තීන්දු හේතුවෙන් උග්‍රවී පුපුරා යෑම සිදු විය.
මෙම ආර්ථික අර්බුද හඳුනාගැනීම් වේලාසන සිදුව තිබුණද එය නිවැරදිව කළමනාකරණයකර කඩාවැටීමට පෙර වළක්වා ගැනීමේ හැකියාව ගෝඨා පාලනයට නොතිබිණි. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා 2003 වසරේ අග්‍රමාත්‍යවරයාව සිටියදී ඉදිරිපත් කළ “යළි පුබුදමු ශ්‍රී ලංකා” වැඩපිළිවෙල තුළ වූයේ අනාගත අර්බුද ඇතිවීමට ඉඩනොදී ආර්ථිකය නිසි මඟ ගෙනියන වැඩපිළිවෙලකි. නමුදු රටේ අවාසනාවට මෙම වැඩපිළිවෙල රට බිලිගැනීමට පැමිණි යක්ෂයෙක් ලෙස හුවාදක්වා වාමාංශික බලවේග හා විපක්ෂ කොටස් කළේ රට තුළ විෂම මතවාදයන් නිර්මාණය කර රනිල් පාලනය පෙරළා දැමීය. එහි ප්‍රතිඵලය වූයේ ක්‍රමිකව වර්ධනය වූ ආර්ථික අර්බුදය, රට බංකොලොත් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන තැනට පත්වීමය.
කෙසේ වෙතත් මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවයන්ට අනුව නව දැක්මකින් යුත් ක්‍රියාමාර්ග අනුගමනය
කිරීමෙන් රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට සමත් වී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ සමඟ ආර්ථික ප්‍රතිසංස්කරණ හා නිවැරදි ක්‍රියාමාර්ග හේතුවෙන් අරමුදලේ දෙවන වාරිකය ද ලෝක බැංකුව ඇතුළුව තවත් ජාත්‍යන්තර ආයතනවල සහයද ලබාගැනීමට සමත් විය. මෙම ගමන මලින් පිරි, සුන්දර ගමනක් නොව අසීරු වැල් පාලමේ ගමනක් බව ජනාධිපතිවරයාම පෙන්වා දී තිබිණි. නමුත් ජාත්‍යන්තර අත්දැකීම් විමසා බැලීමේදී මෙම වැල්පාලමේ ගමනත් සොඳුරුය. ආර්ථික අර්බුදයට පත් වූ රාජ්‍යයන් බොහොමයක් ඉන් ගොඩ ඒමට සිදුකරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ ඒ ඒ රාජ්‍යයන් තුළ ජනතාව තවත් අසීරුතාවයට පත්කර තිබිණු අතර තවමත් ගොඩ ඒමක් නැති වීමත් විශේෂ තත්වයකි. විශේෂයෙන් ග්‍රීසිය, වෙනිසියුලාව සහ ලෙබනනය පිළිබඳ තොරතුරු විශ්ලේෂණයේදී මේ බව මනාව පැහැදිළි වේ.
ග්‍රීසියේ අත්දැකීම
2009 දී, යුරෝපා රටවල් අතරින් දරුණු ආර්ථික අර්බුදයකට ලක් වූයේ සංවර්ධිත රාජ්‍යයක් වූ ග්‍රීසියයි. ග්‍රීසියානු රජයට වැටුප් ගෙවාගැනීමට පවා නොහැකි විය. පොදු සමාජයට විශාල පීඩාවක් ගෙන ආවේය. රාජ්‍ය ණය හා අයවැය පරතරය පිළිබඳ ප්‍රකාශිතව තිබූ දත්ත වැරැදි සහගත බව හෙළිදරව්වීමත් සමඟ විශ්වසනීය බව පිළිබඳ ගැටළුවක්ද ඇතිවිය. 2012 වර්ෂය වනවිට ග්‍රීසිය ඉතිහාසයේ වැඩිම ණය පැහැරහැරීම් සහිත රාජ්‍ය බවට පත්ව තිබිණි.
2015 වසර වනවිට ග්‍රීසිය යුරෝ බිලියන 1.6ක ණය වාරිකයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගෙවීමට නියමිතව තිබුණද එය හිඟ වාරිකයක් ලෙස සටහන් විය. මූල්‍ය අරමුදලේ ණය වාරිකය ගෙවාගත නොහැකි වූ පළමු සංවර්ධිත රාජ්‍යය බවටද ග්‍රීසිය පත්විණි. 2015 වන විට ග්‍රීසියේ මුළු ණය ප්‍රමාණය යුරෝ බිලියන 323ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
යුරෝපීය මහ බැංකුව (ෑක්‍ඊ) මඟින් ගන්නා ලද ක්‍රියාමාර්ග හේතු කොටගෙන එරට බැංකුවලටද බලපෑමක් ඇතිවිය. ඒවා වසා දැමීමට සිදුවූ අතර, විශ්‍රාම වැටුප ලබාගන්නා ග්‍රීක ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත මුදල් ආපසු ගැනීමට පවා සීමා පැනවූ අතර එය වරකට යුරෝ 120ක් විය. මාසික විශ්‍රාම වැටුප් ගෙවීමට පමණක් එක් දිනකට බැංකු විවෘත විය. ග්‍රීක රජය සංචාරකයන්ට බැංකු කාඩ්පත් වෙනුවට මුදල් රැගෙන එන ලෙස ඉල්ලීම් කළේය. ස්වයංක්‍රීය මුදල් ලබා ගැනීමේ යන්ත්‍ර ඉදිරිපිට දිගු පෝළිම් දැකිය හැකි විය. එක් ගනුදෙනුකරුවකුට දිනකට ආපසු ලබාගත හැකි මුදල් ප්‍රමාණය යුරෝ 60 දක්වා සීමා කෙරිණි.
ග්‍රීසියට මෙම අර්බුදයෙන් ගැලවීමට ණය ගෙවීමේ හැකියාව පළමුව වර්ධනය කරගත යුතු විය. ඒ සඳහා දළ දේශීය නිෂ්පාදනයේ නැඟීමක් ඇතිවිය යුතුය. ද.දේ.නි.ට අනුපාතිකව, ණය බර විශාල වශයෙන් ඉහළ ගිය බැවින් ආදායම හා වියදම අතර පරතරය අවම කරගැනීමද තවත් අවශ්‍යතාවකි. මේ සඳහා ග්‍රීසිය කළයුතු වූ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉතා බැරෑරුම් ඒවා විය.
විශ්‍රාම වැටුපටත් බද්දක්
මෙම ආර්ථික අර්බුද ඇති වූ මුල් කාලයේදී බලය හෙබවූ ජෝර්ජ් ප්‍රපැන්ජියෝ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කළ අතර, එම ප්‍රතිංස්කරණවලට අනුව සියලු සේවකයින්ගේ නිවාඩු දීමනාව 30%කින් හා ප්‍රසාද දීමනා 12%කින් අඩු කිරීමට කටයුතු කළේය. මීට අමතරව රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම වැටුප් 7%කින් කප්පාදු කළ අතර, වැට් බද්ද 21% දක්වා ඉහළ නැංවීය. ඉන්ධන සඳහා 15%ක බද්දක් පැනවූ අතර, ඉතිහාසයේ පළමු වරට විශ්‍රාම වැටුපට ද බද්දක් නියම කළේය.
පසුව බලයට පැමිණි ලුකාස් පැමඩෝස්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වෙනස්කර තමන්ගේ අභිමතය පරිදි කටයුතු කිරීමට පියවර ගත් අතර, මේ හේතුවෙන් ග්‍රීසිය නැවත වරක් බංකොලොත්භාවයට පත් විය. පසුව නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට සිදුවිය. එහිදී ඇති කරගත් එකඟතා අනුව රාජ්‍ය සේවක වැටුප් 30%කින් හා විශ්‍රාම වැටුප් 20% කින් කප්පාදු කිරීම සිදු විය. බරපතලම තත්වය වූයේ අධ්‍යාපන වැය ශීර්ෂ කප්පාදු කිරීම වෙනුවෙන් පාසල් වසා දැමීමට හා පාසල් ඒකාබද්ධ කිරීමට පියවර ගැනීමය. එසේම සෞඛ්‍ය හා ආරක්ෂක වියදම් කප්පාදු කිරීමට සිදු වූ අතර, නිවාඩු දීමනා හා ප්‍රසාද දීමනා අවලංගු කිරීමට පියවර ගැනිණි. රාජ්‍ය සේවය 15,000කින් අඩු කළේය. 2015 වෙද්දී ග්‍රීසියේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් 18,167 දක්වා 2008 මට්ටමේ සිට 40%කින් පමණ පහත වැටුණු අතර, විරැකියා අනුපාතය පොදුවේ 27% මට්ටමටත්, තරුණයන් අතර 58% මට්ටමටත් ඉහළ නැගුණි.
අර්බුදය තීව්‍ර කළ වාමාංශික පැළැස්තරය
2015 දී පැවැති මහ මැතිවරණයෙන් වැඩිබලයක් හිමිකරගත් වාමාංශික සිරිසා පක්ෂය පාලන බලය ගත් අතර, නායක ඇලෙක්සි සිප්රාස් අගමැති විය. සිප්රාස් පාලනය යළි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීම නවතා දැමූ අතර, සිරිසා පක්ෂය ප්‍රකාශ කරසිටියේ තමන්ගේම
ක්‍රමයකට මෙම අර්බුදය අවසන් කිරීමට කටයුතු කරන බවයි. මෙහිදී සිරිසා පක්ෂය උත්සාහ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු වෙනත් ජාත්‍යන්තර නිර්දේශවලට එකඟනොවී කෙසේ හෝ ඔවුන්ගෙන් ණය ගැනීමයි. නමුත් මේ ක්‍රියාමාර්ග මගින් ග්‍රීසියේ අර්බුදය අවසන් කිරීමට හැකියාවක් නොලැබුණි. අවසානයේදී වාමාංශික ප්‍රතිපත්තිවලින් ග්‍රීසිය ගොඩ නැගීමට නොහැකි බව තහවුරු විය. පසුව මෙම වාමාංශිංක පාලනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කිරීම ආරම්භ කළ අතර, එම ගිවිසුම් ප්‍රකාරව ඒ වන විට 27.5%ක්ව පැවැති ගොවි ආදායම් බද්ද 55%ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කළේය. සමස්ත වැට් බද්ද 24%ක් දක්වා ඉහළ නැන්වුණු අතර, සමස්ත පෞද්ගලික අධ්‍යාපනය වෙනුවෙන් 23%ක වැට් බද්දක් ඇති කළේය.
කෙසේ වෙතත් වාමාංශික ප්‍රතිපත්තිවලින් බැහැරව, නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට හෝ පැසොක් පක්ෂයට ක්‍රියාත්මක කළ නොහැකිව තිබූ අමාරු හා ජනප්‍රිය නොවන ප්‍රතිසංස්කරණ යෝජනා සිරිසා පාලනය ක්‍රියාත්මක කිරීම ආරම්භ කළේය. මෙම අතිශය දුෂ්කර ප්‍රතිසංස්කරණ අඛන්ඩව ක්‍රියාත්මක කිරීම නිසා වසර දහයක පමණ ඉතා දීර්ඝ කාලයකට පසු ආර්ථික අර්බුදයෙන් යම් සුබවාදී තැනකට පැමිණීමට ග්‍රීසියට හැකි විය. මේ වෙනුවෙන් දීර්ඝ කාලයක් දරාගත නොහැකි අන්දමේ දැඩි පීඩාවන් රැසකට එම ජනතාවට මුහුණ දීමට සිදුවිය.
ලෙබනනයේ අත්දැකීම
සිරියාවට සහ ඊශ්‍රායලයට මායිම්ව පිහිටි බටහිර ආසියාවේ රටක් වන ලෙබනනය අතීතයේදී හැඳින්වූයේ “මැදපෙරදිග
ස්විට්සර්ලන්තය” යනුවෙනි. දහසයවන සියවසේ සිට 20වන සියවස දක්වා ඔටෝමාන් අධිරාජ්‍යයට අයත් වූ ලෙබනනය, පළමු ලෝක යුද සමයේ එම අධිරාජ්‍යය බිඳවැටීමෙන් පසු, ප්‍රංශ පාලනයට යටත්ව යළි 1943 දී නිදහස ලබා ගත්තේය. ඉතා සමෘද්ධිමත් රාජ්‍යයක් ලෙස පැවැති ලෙබනයේ අර්බුදය ශ්‍රී ලංකාවේ අර්බුදයට යම් තරමකින් සමානකමක් දක්වයි. දූෂිත පාලනය, 30 වසරක දිගු කාලයක් තිස්සේ පැවැති වාර්ගික අර්බුද හා සිවිල් යුද්ධය, 2022 බීරූට් පිපිරුම වැනි කරුණු ලෙබනනයේ ආර්ථික අර්බුදයට හේතු කරණා විය. ලෙබනනයට ත්‍රස්තවාදී ප්‍රශ්නයට අමතරව වෙනත් රටවල ආක්‍රමණයන්ද ප්‍රබලව බලපානු ලැබීය.
දූෂිත පාලනය හා දූෂිත ගනුදෙනු
කොහොම නමුත් ලෙබනනය කාලයක් පුරා පාලනය කළ රාජ්‍ය නායකයන්ගේ දූෂිත බව ද මෙම අර්බුදය සඳහා මඟ පාදන ලදී. සිවිල් යුද්ධය පැවැති සමයේදී ලෙබනනය පාලනය කළ අගමැතිවරුන් දෙදෙනකු, මහා පරිමාණයේ දූෂණ, වංචා සිදුකළ බව හෙළි වී ඇත. 2005 සිට 2013 දක්වා දෙවරක් එරට අගමැති ධුරය දැරූ නජීබ් මිකාටිට එරෙහිව මූල්‍යමය වංචා රැසක් සම්බන්ධ චෝදනා එල්ල වී ඇත. ලෙබනනයේ දියුණුව උදෙසා විදේශ රටවලින් ලබාදුන් මූල්‍ය ආධාරවලින් කොටසක් තමන්ගේ සහ පවුලේ සාමාජිකයන්ගේ සුඛවිහරණය සඳහා ලබාගෙන ඇත. රටේ සංවර්ධන ව්‍යාපෘති වලින් ඩොලර් මිලියන ගණනින් සොරකම් කරඇත. නජීබ් මිකාටිගේ මුදල් වංචා කෙතරම් ප්‍රබලදයත් රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් තිබියදී ඇමෙරිකාවේ එම්.ටී.එන්. ටෙලිකොම් ආයතනය ඩොලර් බිලියන 5.5කට මිලට ගැනීමට තරම් ධනයක් ඔහු සතුව තිබීම ජාත්‍යන්තර අවධානයට ද ලක් විය. නජීව් මිකාටි ලෙබනනයේ ඉතිහාසයට අනුව එරට බලයට පත්වූ දූෂිතම රාජ්‍ය නායකයා ලෙස සැලකෙන අතර, ගැටළු සහගත කරුණ නම් මොහුට හෝ මොහුගේ පවුලේ කිසිවෙකුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවීමයි.
නජීව් මිකාටිට අමතරව මෙම අර්බුදයට වගකිව යුතු තවත් දේශපාලකයකු වන්නේ 1992 සිට 2004 දක්වා අගමැති ධුරය දෙවරක් දැරූ රෆීක් හරීර්ය. ඔහුද අතිශය දූෂිත නායකයකු වූ අතර, එරට සම්පත් රැසක්
කොල්ලකෑ බවට වාර්තා පළවිය. මොහු අගමැති ධුරයට අමතරව එරට ප්‍රධානතම අමාත්‍යාංශ 05ක ඇමැති ධුරයන්ද දැරීය. එම අමාත්‍යාංශ හරහා වංචා දූෂණයන් රැසක්
සිදුව තිබිණි. මොහුට එරෙහිව ජනතා උද්ඝෝෂණය අඛන්ඩව සිදුවුණු අතර, පසුව විරුද්ධවාදී පාර්ශ්වයක් විසින් 2005 පෙබරවාරි 14 වැනිදා බීරූට් අගනුවරදී ඔහු සහ ඔහුගේ අනුගාමිකයන් විසිදෙදෙනකු ඝාතනය කරනු ලැබීය. කෙසේ වෙතත් මොහු මියයන විට ඔහුගේ වත්කම ඩොලර් බිලියන 11ක් බව වාර්තා විය.
අර්බුදයට මහ බැංකුවේ සහය
ලෙබනනයේ ආර්ථික සහ මූල්‍ය අර්බුදය මතුවන්නේ 2019 වසරේ අගෝස්තු මාසයේදී සිටය. ඊට වසර දෙකක පමණ කාලයකට පෙර සිට අර්බුද තත්වයක් උද්ගතව වන බවට ඉඟි පලව තිබුණ ද පැවැති රජය බොහෝ සූක්ෂ්ම ලෙස එය වසන්කිරීමට ලෙබනනයේ මහබැංකුව හරහා කටයුතු කරතිබිණි. මහබැංකුව මුල්‍ය සම්පත් නිසි ලෙස කළමනාකරණය නොකිරීම මඟින් අර්බුදය ක්‍රමයෙන් උග්‍ර විය. මේ හේතුවෙන් 2022 මැයි මාසය වන විට ලෙබනනයේ විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 43කට ආසන්න විය. පොලිය සමඟ මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 60කට ආසන්න විය. මෙම තත්වය ශ්‍රී ලංකාවේ පසුගිය සමයේ මහ බැංකුවේ ක්‍රියාකලාපයට අතිශයින්ම සමානය.
ආර්ථික අර්බුදයට පෙර ඉතා සමෘද්ධිමත් රාජ්‍යයක් වූ ලෙබනනය තුළ බැංකු කර්මාන්තය ඉතා ඉහළ මට්ටමක පැවැති අතර, කලාපීය මුල්‍ය මධ්‍යස්ථානයක් ලෙස ද ලෙබනනය ක්‍රියාත්මක විය. එමෙන්ම සංචාරක කර්මාන්තය ඉතා ශක්තිමත්ව පැවැති අතර, විදේශ ප්‍රේෂණ, කෘෂිකර්මාන්තය, ප්‍රතිඅපනයනය හා අධ්‍යපානය ලෙබනනයේ ආර්ථික ක්‍රියාකාරකම් අතර මුල් තැනක් ගෙන තිබිණි. විදෙස් ශ්‍රමික ප්‍රේෂණ එරටේ අපනයන ආදායම මෙන් දෙගුණයකට වඩා විශාලවීම සුවිශේෂී තත්වයක් විය.
කෙසේ වුවද සියල්ල උඩුයටිකුරු කරමින් ලෙබනනයේ ආනයනයන්, අපනයන මෙන් හතර පස් ගුණයකින් වැඩිවිය. එහි ප්‍රතිඵලය වූයේ දැවැන්ත වෙළෙඳ හිඟයකට මුහුණ දීමට සිදුවීමයි. රටේ අයවැය හිඟයද දිගින් දිගටම, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6ක හෝ 8ක මට්ටමේ පැවතිණ. එරටට වූ ඍජු විදේශ ආයෝජන අල්ප වුවද රටේ විදේශ ණය ගැනුම් දැවැන්ත මට්ටමෙන් සිදුවිය. දිගින් දිගටම ණය ලබාගත් ලෙබනනයේ සමස්ත ණය, දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 150ක් විය.
ප්‍රමාණවත් ලෙස අපනයන වර්ධනය සිදු නොවුණු අතර, ලෙබනනයේ විදේශ විනිමය ඉපැයුම් වඩාත්ම රැඳී පැවතුණ, සංචාරක කර්මාන්තය හා විදෙස් ප්‍රේෂණ ආදායම් වලට මෙම විශාල වෙළඳ හිඟය පියවාගන්න සමත් වූයේ නැත.
ආණ්ඩුවේ අයවැය මුළුමනින් අවුල්ව යද්දී, මැතිවරණය ඉලක්ක කරගෙන දේශපාලකයෝ 2018 දී රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීමක් හඳුන්වා දුන් නමුත් පැවැති උද්ධමනය හමුවේ එය ඵලදායී ක්‍රියාවක් නොවිණි. එහෙත් අපනයන ආදායම් උත්පාදනය කිරීමේ කිසිඳු ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් හෝ ඵලදායී ලෙස ආයෝජන වැඩි කිරීමක් සිදු වුණේ නැත. විදේශ විනිමය අර්බුදය හේතුවෙන් සැපයුම්වල මහා හිඟයක් දේශීය වෙළෙඳ පොළේ ඇතිවිය. ඒ අතර විදුලි සැපයුමද අඩාල විය. කොවිඩ් වසංගතය පැතිර යාමත් සමඟ උද්ධමනය සියයට සියයකින් අහස උසට නැංගේය.
බීරූට් පිපුරුම
මේ අතර 2020 අගෝස්තු මාසයේදී, 250 දෙනකුට මරු කැඳවමින් හා දහස් ගණනකට තුවාල සිදුකරමින් බීරුට් වරායේ දැවැන්ත පිපිරීමක් සිදුවිය. එම සිදුවීම පාදක කරගනිමින් බීරුට් නුවර දැවැන්ත විරෝධතා ආරම්භ වූ අතර, මෙම පිපිරීම ආරක්ෂක අංශවල නොසැලකිල්ල නිසා සිදු වූ පිපිරුමක් බවට චෝදනා එල්ල විය. මෙය පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ සිදු වූ පාස්කු දින බෝම්බ ප්‍රහාරය මෙන් වූ අතර, එවැනිම විරෝධතාවයන් ලෙබනනයේද ඇති විය.
2020 මාර්තු මාසයේදී, කල්පිරෙන විදේශ ණය ගෙවාගැනීමට නොහැකි බවට ලෙබනන ආණ්ඩුව නිවේදනය කළේය. මෙම නිල නිවේදනය ලෙබනනයේ ආර්ථික අර්බුදය තවත් දරුණු අතට හැරවූයේය. විදේශ විනිමය අනුපාතික කඩා වැටිණි. උද්ධමනය ඉහළ ගියේය. මුදල් හුවමාරු යන්ත්‍රවලින් මුදල් නිකුත් නොකෙරිණි. තැන්පතුකරුවන් වෙත මුදල් ගෙවාගන්නට බැංකුවලට නොහැකි විය. ආර්ථිකය හැකිලීමේ ප්‍රතිඵලයක් ලෙස, රජයේ ණය, 2021 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 500 ආසන්න විය.
ජනතාව වීදි බැසීම
මෙම තත්වය යටතේ ලෙබනන් ජනතාව පවතින පාලනයට එරෙහිව අරගල කිරීම ආරම්භ කළේය. ජනතාව වීදි බැස දැඩි ප්‍රකෝපකාරී උද්ඝෝෂණවල නිරතවන්නට වූ අතර, ලෙබනන් තරුණ පිරිස් මෙහි ප්‍රමුඛතාවයක් ගැනීම සුවිශේෂී විය.
මේ අතර ලෙබනන් මුදල් ඒකකය 90%කින් පමණ අවප්‍රමාණ වී ආහාර උද්ධමනය තියුණු ලෙස ඉහළ නැග්ගේය. බොහෝ මිනිසුන්ට එදිනෙදා ආහාර වේලක් ලබා ගැනීමට මුදල් නොමැති වූ අතර, භාණ්ඩ හා සේවා මිල ගණන් ජනතාවට දරාගැනීමට නොහැකි විය. මෙම තත්ත්වය යටතේ මධ්‍යම පාන්තිකයන් ලක්ෂ 15ක් පමණ දරිද්‍රතාවයට පත්විය. ඉන්ධන ලබා ගැනීම සඳහා දින ගණන් පෝලිම්වල සිටින තත්ත්වයක් උදාවිය. ජනතාව ඉන්ධනහල් අසල කැරැලි ගැසුවේය. විදුලිය, ඉන්ධන පමණක් නොව පානීය ජලය ලබාගැනීමද දුෂ්කර විය. ඒ අතර ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව රෝහල් වසාදමන තත්ත්වයකට පත්විය. ඉතා දුප්පත් මිනිසුන් සරණාගත කඳවුරුවලට යවනු ලැබීය. විදෙස් සංචිත අවසන් විය. මේ අතර ජනතා විරෝධය මත එවක සිටි පාලන තන්ත්‍රය (අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය) ඉල්ලා අස්වී අන්තර්වාර ආණ්ඩුවක් පත්වූයේය.
මූල්‍ය අරමුදලේ සහය
2022 අප්‍රේල් මාසය වන විටදී ලෙබනනයේ සමස්ත වාර්ෂික උද්ධමනය 123%ක් දක්වා ඉහළ ගිය අතර, එය ලෝකයේම රටවල් අතරින් 03 වැනි ස්ථානය විය. (මෙම කාලය තුළ ශ්‍රී ලංකාවේ උද්ධමනය 57%ක් දක්වා වාර්තා වී තිබුණු අතර එය ලෝකයේ රටවල් අතරින් 05 වැනි ස්ථානයයි.) මෙවැනි තත්වයක් තුළ මෙම අර්බුදයෙන් ගොඩඒමට ඇති එකම විකල්පය වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීමයි. ඒ අනුව, 2022 වසර ආරම්භයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඩොලර් බිලියන 03ක ණය මුදලක් ලබාදීම සඳහා මුලික එකඟතාවය පළ කළේය.
2022 මැයි මාසයේදී, ලෙබනනය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, සිව් අවුරුදු විස්තීරණ අරමුදල් පහසුකම් (ෑත්‍ත්) වැඩසටහනකට එකඟ විය. නමුත්, ඒ සඳහා කොන්දේසි ගණනාවක් පනවන ලදි. පාර්ලිමේන්තුව විසින් විස්තීර්ණ ආර්ථික ප්‍රතිසංස්කරණ සැලැස්මක් අනුමත කිරීම, අයවැය හිඟය අඩු කිරීම සඳහා මූල්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම, නව මහ බැංකු නීතියක් සම්මත කිරීම සහ බැංකු අංශය ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කිරීම ඇතුළු පූර්ව ක්‍රියාමාර්ග ගතයුතුව තිබිණි. මෙම වැඩසටහන හරහා තිරසර ආර්ථික වර්ධනයක් මෙන්ම ආර්ථික ස්ථාවරත්වයක් අපේක්ෂා කළ නමුත් දේශපාලන අස්ථාවරත්වය හා සමාජ නොසන්සුන්තාවය හේතුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. පසුගිය අප්‍රේල් මාසයේදී මෙම ණය මුදල ලෙබනනයට ලබාදීමට නියමිතව තිබිණි. කෙසේ වුවද මෙතෙක් මෙම මුදල ලබා දී නොමැත.
වෙනිසියුලාවේ අත්දැකීම
ඉතා සෞභාග්‍යවත් රාජ්‍යයක් ලෙස පැවතුණු වෙනිසියුලාව සාරවත් ඉඩම්, ඛනිජ සම්පත්, ජල විදුලිය, සුන්දර වෙරළ තීරයන් සහ ප්‍රසන්න දේශගුණයක් සහිත රාජ්‍යයක් විය. එරටින් 1914දී තෙල් සම්පත සොයාගත් අතර, 1928 වන විට වෙනිසියුලාව එක්සත් ජනපදයට පසුව ලෝකයේ ඉහළම තෙල් අපනයනකරු සහ දෙවන විශාලතම තෙල් නිෂ්පාදකයා විය. මේ හේතුවෙන් 1950 දශකයේ සිට 1980 දශකයේ මුල් භාගය දක්වා වෙනිසියුලාවේ ආර්ථිකය සමෘද්ධිමත් වූ නමුත්, 1980 දශකයේ මැද භාගයේ සිට එරට ආර්ථිකය කඩාවැටීම ආරම්භ විය. 1980 දශකයේ මැද භාගයේ දී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළ බැසීම මෙයට ප්‍රධාන හේතුව විය.
අර්බුදයේ ආරම්භය
එවකට වෙනිසියුලාවේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ජේමි ලූසින්චිගේ දුර්වල ආර්ථික කළමනාකරණය මත ආර්ථික කඩාවැටීම පාලනය කිරීමට නොහැකිවීම හේතුවෙන් 1986 දී අමෙරිකානු ඩොලර් බිලියන 60.39ක් බවට පත්ව තිබුණු දළ දේශීය නිෂ්පාදිතය, 1989 වන විට අමෙරිකානු ඩොලර් බිලියන 43.53ක් දක්වා අඩු විය. එසේම 1986 දී 6.51% ලෙස පැවති ආර්ථික වර්ධන වේගය 1989 වන විට ඍණ 8.57ක් දක්වා පහත වැටිණි.
පසුව 1999 දී බලයට පැමිණි හියුගෝ චාවේස්ටද වෙනිසියුලාවේ ආර්ථික අර්බුදයට ස්ථීර විසඳුමක් ලබාදීමට නොහැකි වූ අතර, නිවාස හිඟය, භාණ්ඩ හිඟය, උද්ධමනය, විරැකියාව, අත්‍යවශ්‍ය ඖෂධ හිඟය වැනි අර්බුද දිගටම පැවතිණි. එකල වෙනිසියුලා රජය අනුගමනය කළ, වාමාංශික කියුබන් ගැති විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් බලවත් රටවල්වලින් ලැබුණු ආධාර ද බොහෝ සෙයින් අඩු විය. චාවේස් පාලන සමයේ ඔහුට එරෙහිව එල්ල වුණු වංචා දූෂණ චෝදනාවලට එරෙහිව ජනතාව අරගල කළ අතර එම නොසන්සුන්තාවන් ආර්ථික අර්බුදය තව තවත් උග්‍ර අතට ගෙනයෑමට හේතු විය.
චාවේස්ගේ අභාවයෙන් පසු වෙනිසියුලාවේ ඇති වූ දේශපාලන අස්ථාවරත්වය හා 2014-2015 කාලය තුළ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් වෙනිසියුලාවේ ආර්ථික අර්බුදය තවත් උත්සන්න විය. රටේ වියදම සඳහා අධික ලෙස මුදල් අච්චු ගැසීම හේතුවෙන් වෙනිසියුලා බොලිවාර් මුදල් ඒකකය අසාමාන්‍ය ලෙස අවප්‍රමාණය විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස එරට ජනතාව මුදල් නෝට්ටු කුණු ගොඩවල්වලට විසිකරන තත්ත්වයකට පත් වූ අතර, පාලකයන්ගේ දුර්වල ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් අද වන විට වෙනිසියුලාව ලොව දුප්පත් ම රටවල් අතුරින් එකක් බවට පත්ව ඇත.
උද්ධමනය ඉහළ යාම
උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ යෑම සිදුවන අතර, රට තුළ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රමාණවත් තරම් මුදල් නොමැතිවීම හේතුවෙන්, අපනයන සීමාකිරීමට සිදු වූ අතර, මේ හේතුවෙන් රට තුළ දැඩි භාණ්ඩ හිඟයක් ඇති විය. විසඳුමක් ලෙස රජය විකුණුම් මිල පාලනය කෙරෙන මිල පාලන නීති ගෙන ආවේය. නමුත් එම උත්සාහයද අසාර්ථක විය. තෙල් ආදායම නොමැති වෙනිසියුලාවේ අයවැය පරතරය වැඩි විය.
1990 දශකයේ මැද භාගය වන විට උද්ධමනය 60% දක්වා ඉහළ ගිය අතර, දරිද්‍රතාවයේ ජීවත් වන පුද්ගලයන්ගේ ප්‍රතිශතය 66% දක්වා ඉහළ ගියේය. එපමණක් නොව බැංකු පද්ධතිය කඩාවැටීම හේතුවෙන් විශාල අර්බුදයක් රට තුළ නිර්මාණය විය.
අර්බුදය සමනය වෙයිද?
ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළයාම හා රටේ මුදල් හුවමාරුව තාවකාලික ඩොලර්කරණයට ලක්කිරීම නිසාවෙන් වෙනිසියුලාව මේ වන විට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් මිදීමේ මඟට අවතීර්ණ වී ඇත. තෙල් මිල ඉහළ යාමට, ඇමරිකාව හා යුරෝපා සංගමය සමඟ රාජතාන්ත්‍රික මට්ටමෙන් සම්බන්ධතා ආරම්භ කිරීම ද මෙයට හේතු වී ඇත.
වසර 4ක් පුරා අඛණ්ඩව පැවති අධිඋද්ධමන තත්වය එනම් 600%ක් වූ උද්ධමනය අවම කරමින් ආර්ථිකය යම් ස්ථාවරභාවයකට පත්ව ඇති බවත් 2021 වසරේදී ආර්ථික වර්ධන වේගය 4%ක්
ලෙසත් අවසාන කාර්තුවේදී එය 7%ක්
දක්වා වර්ධනය කරගැනීමට සමත් වූ බවත් ජනාධිපති මාදුරෝ පසුගියදා පාර්ලිමේන්තුවට පවසා තිබිණි. මේ වන විට වෙනිසියුලාව දිනකට තෙල් බැරල් 400,000ක් ලෝක වෙළඳපොළට ලබාදෙන අතර 2022 දී එය තෙල් බැරල් මිලියන දෙකක් දක්වා වර්ධනය කරගැනීමට අපේක්‍ෂා කරයි.
කෙසේ වෙතත් නිරන්තරයෙන් ඇමරිකානු අධිරාජ්‍යවාදය ගැන කියමින් කියුබානු හිතවාදී පාලනයක නියැලූණු චාවේස් තෙල් මිලේ වාසිය හේතුවෙන් සුබසාධනවාදී පාලනයක් ගෙන ගිය අතර, ජාතිකවාදී ප්‍රතිපත්ති හේතුවෙන් අඩුආදායම් ලබන ජනකොටස් අතර ජනප්‍රිය වූවා මිස නිවැරදි පාලනයක් ගෙන ගියේ නැත. චාවේස්ගේ අනුගාමිකයා වූ මදුරෝ ද මුලදී මෙම තත්වයම පවත්වාගෙන ගියේය. එහෙත් රටේ ආර්ථිකය වළපල්ලට යමින් තිබුණත් ඉහළින් පැවති තෙල් මිලේ වාසිය හේතුවෙන් ආර්ථික අර්බුදය සැඟවී පැවතිනි.
කෙසේ වෙතත් පසුව හෝ මදුරෝ පාලනය විසින් නැවත ඇමරිකාව හා යුරෝපා සංගමය සමඟ කටයුතු කිරීම ආරම්භ කරඇති අතර, චාවේස්ගේ ජනප්‍රිය වාමාංශික පාලන ක්‍රමය වෙනස් කිරීම හේතුවෙන් යම් ආර්ථික පිබිදීමක් ඇතිව තිබේ. නමුත් වෙනිසියුලාව තවමත් මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩට පැමිණ නොමැති අතර, තවමත් වෙනිසියුලාවේ අනාගතය ඇත්තේ අවිනිශ්චිත තත්වයකය.
අපේ අනාගතය කොයිබටද?
ඉහත දක්වා ඇත්තේ ලෝක අත්දැකීම්වලින් කිහිපයක් පමණි. කෙසේ වෙතත් මෙම අර්බුද මතුවීමට පැවැති පාලන ක්‍රමවේදයන් කෙතරම් සිය දායකත්වය දක්වා ඇත්ද යන්න මනාව පැහැදිළිය. දූෂිත පාලනය, මහබැංකු ක්‍රියාකාරකම්, අනාගත දැක්මකින් තොර ආර්ථික වැඩපිළිවෙල, මෙන්ම වාමාංශික ව්‍යාපාරවල අදූරදර්ශී හා ලෝකය පිළිබඳ අවබෝධයකින් තොර අදහස් නිසා මෙම රටවල් ආර්ථික අර්බුදය කරාගෙන යාම සිදුව ඇති බව පැහැදිලිය. ලංකාවේ තත්වයත් මීට අසමාන නැත. ජනප්‍රියවාදී වැරදි ආර්ථික ප්‍රතිපත්ති, රාජ්‍ය යාන්ත්‍රණයේ දුෂිත බව, අකාර්යක්ෂම බව, අසීමාන්තික ණය ගැනීම්, ණය හා ආධාරවලින් සොරාකෑම්, ඕනෑ තරම් හෙළිදරව් වී ඇත. එසේම පාලකයින්ගේ අත්තනෝමතික නියෝග හමුවේ මහ බැංකුවේ නොමනාකම්, අසීමාන්තික මුදල් අච්චු ගැසීම්, විනිමය අනුපාත බලහත්කාරයෙන් පවත්වාගෙන යාම වෙනුවෙන් විදෙස් සංචිත වැය කිරීම් බදු ආදායම් කළමනාකරණයේදී අසමත් වීම් සම්බන්ධ කතන්දර ඕනෑවටත් වඩා අසා ඇත.
මේ වන විට ලංකාවේ ආර්ථිකය අර්බුදකාරී තත්වයෙන් ගොඩගැනීමට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ වත්මන් රජය සමත්ව ඇත. මෙම අර්බුදයෙන් ගොඩ ඒමට කළ දෑ සුළුපටු නොවේ. නමුත් ඒවා වෙනත් රාජ්‍යයන් අනුගමනය කළ තරමේ ජනතාවට දරාගත නොහැකි අන්දමේ ඒවාද නොවේ. ජනතාව පීඩාවට පත්කරන පිළිවෙත් රජය ක්‍රියාත්මක කරන බවට විපක්ෂය එල්ල කරන චෝදනා පුස්සක් බව ලෝක අත්දැකීම් විමසීමේදී පැහැදිළි වේ. අර්බුද හමුවේ බොහෝ රාජ්‍යයන් 20%-30% ප්‍රමාණයේ වැටුප් කප්පාදු කරද්දී මෙරට රජයේ සේවකයින් වෙනුවෙන් වැටුප් වැඩි කළේය. 25%-30% මට්ටමට වැට් බදු වැඩිකරද්දී මෙරට 18%ක මට්ටමේ පවත්වා ගැනීමට සමත්ව ඇත. බොහෝ රටවල් විශ්‍රාම වැටුපට ද බදු අය කරද්දී මෙරට විශ්‍රාම වැටුප් ඉහළ නංවා ඇත.
එසේම ග්‍රීසිය ආර්ථික අර්බුදයෙන් මිදීමට වසර දහයක් ගතවත්දී, ලෙබනනය, වෙනිසියුලාව තවමත් වසර ගණනාවක් ආර්ථික අර්බුදයේ ගිලෙමින් සිටියදී වසර එකහමාරක් තරම් ඉතා සුළු කාලයකින් හා ජනතාව වෙත අවම පීඩනයක් ඇති කරමින් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට මෙරට සමත්ව ඇත. මෙය සුළුපටු ජයග්‍රහණයක් නොවේ. එක් අතකින් එය ප්‍රාතිහාර්යයකි.
බංකොළොත් රාජ්‍යයක් යනු අති දුෂ්කර රාජ්‍යයකි. අති දුෂ්කර කාලයකි. රටක සංවර්ධනයක් ගැන සිතා ගැනීමටවත් නොහැකිය. සැලසුම් ගැන සිතාගැනීමටවත් නොහැකිය. මන්ද බංකොලොත් රටක මූලික අරමුණ වන්නේ බංකොලොත්බවින් මිදීමයි. නමුත් මේ වන විට එම ගමනේ අවසන් අදියරට පා තබමින් සංවර්ධනය ගැනද මුලික පියවර ද මෙරට තුළ ක්‍රියාත්මක කර ඇත.
එහෙත් ආ මග කෙටිය. තවත් යා යුතු දුර බොහෝය. 2048දී සංවර්ධිත රාජ්‍යයක් වීමේ අරමුණ රටට ඇත. එය සිහිනයක් නොව යථාර්ථයක් විය යුතුමය.
……..රිද්ම අනුරාධ ගමගේ…….