ඉඩමක් කියන්නේ භූමියක් පමණක් නොවේ “උරුමයක්“

1

“මේවා දිසාපතිතුමාට අයිති ඉඩම්, උඹලට මේවයේ හිතුන හිතුන දේවල් කරන්න බැහැ….”

“මේවා අපේ සින්නක්කර ඉඩම් මේවා අපේ උරුමය… උඹලට තියා මහ ඒජන්තයටවක් බෑ… මේවයෙ ඇඟිලි ගහන්න…”

සමාජීය මිනිසාට ජීවත් වන පරිසරය තුළ ආත්ම අභිමානයකින්, සිවිල් බලයකින් යුතුව වැජඹීමට නම් ඔහුටම හිමි, ඉඩකඩම් දේපොළ තිබීම වැදගත්කොට සලකයි. එසේම එය ඔහුගේ දියුණුවට ද හේතුවන ප්‍රධානම කාරණයක් වේ. දේශපාලන ආර්ථික ලෙස සැලකූවිටද පෞද්ගලික දේපොළ ක්‍රමය වර්තමාන සමාජ ක්‍රමයේ පදනම වෙයි.

කොහොම නමුත් ඉඩමක හිමිකාරිත්වය සියළු පුරවැසියන් අපේක්ෂා කරන වත්කමක්. ජීවිතය හැරුණු විට අප වැඩි දෙනෙකුට බෙහෙවින්ම වැදගත් වන්නේ ඉඩම් කිවුවත් වැරදි නැත. එමෙන්ම ඉඩමක් යනු කිසිදා තමන්ට වැඩි නොවන දෙයක් සේම වටිනාකම දිනෙන් දින වැඩි වන වත්කමකි. මන්ද ඒ සීමාසහිත දුර්ලභ දෙයක් වීම නිසාය.

මෙරට ඇති ඉඩම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්තය. ඉන් එක් කොටසක් වන්නේ සින්නක්කර ඉඩම්ය. මේවා පරවේණි ඉඩම්, පුද්ගලික ඉඩම්, සන්නස් ඉඩම්, නින්දගම් ඉඩම් ලෙසද හැඳින්වෙයි. මීට අමතරව තවත් සින්නක්කර ඉඩම් වර්ග දෙකක් පවතී, එනම් විහාරගම් ඉඩම් සහ දේවාලගම් ඉඩම් යන්නයි.

අනෙක් ඉඩම් වර්ගය වන්නේ රජයේ ඉඩම් ය. සාමාන්‍ය ව්‍යවහාරයේ පැවසෙන ආකාරයට දිසාපතිගේ ඉඩම් ලෙස ද මේවා හැඳින්වේ. මෙරට භූමියෙන් වැඩිම පංගුව රජයේ ඉඩම් ලෙස පවතී.

මෙරට ඉඩම් ඉහත ආකාරය කොටස් දෙකකට බෙදීමට හේතු වූයේ, මුඩුබිම් ආඥා පනතෙන් හා ඉන්පසුව ගෙන ආ ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනත නිසාය. ඉංග්‍රීසීන්ගේ කාලයේදී හඳුන්වාදුන් මේ පනත්වලින් රටේ තිබුණු ඉඩම් පිළිබඳව කළ අධ්‍යයනයන්ගෙන් ඉඩම්වල අයිතිය ඔප්පු කිරීමට හැකිවුණු ඉඩම් එම හිමිකරුවන්ට සින්නක්කර ඉඩම් ලෙසත්, එලෙස ඔප්පු කිරීමට නොහැකි වුණු ඉඩම් රජයේ ඉඩම් ලෙසත් බෙදා වෙන්කරන ලදී.

ඉන්පසු රජය සතු ඉඩම් පිළිබඳ අයිතිය වෙනස් කිරීමේ මුල් පියවර තබන ලද්දේ 1933 වසරේ දීය. ඒ කෘෂිකර්ම ඇමති ඩී.එස්. සේනානායකගේ ප්‍රධානත්වයෙනි. රජයේ ඉඩම් අයිතිය ජනතා සන්තක කිරීමේ වැඩසටහන් පුළුල් කරමින් 1934 මින්නේරිය ගොවි ජනපද ව්‍යාපාරය ආරම්භ කළේය. ජනතාවට ගොඩින් සහ මඩින් ඉඩම් බෙදාදීම ආරම්භ විය. ඒ ආණ්ඩුවේ ඉඩම් කොමසාරිස් වරයා වූයේ සී.එල්. වික්‍රමසිංහ ය.

සී.එල්. වික්‍රමසිංහ රජරට ගොවිජනපද පිහිටුවීම සඳහා මූලික වී ක්‍රියා කළ අතර නිදහස් ශ්‍රී ලංකාවේ ඉඩම් ප්‍රතිපත්තිය පිළිබඳව එවකට ඩී.එස්. සේනානායකයන්ට උපදෙස් ලබා දුන්නේය. මෙරට පළමු සිංහල දිසාපතිවරයා වශයෙන් සී.එල්. වික්‍රමසිංහ සබරගමු දිසාව භාරව කටයුතු කළ අතර ඔහුගේ දරුවන් පස් දෙනාගෙන් එක් අයෙකු වූයේ එඩ්මන්ඩ් වික්‍රමසිංහය. ඒ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පියාය. වික්‍රමසිංහ පරම්පරාවෙන්ම රැගෙන ආ ජනතා සේවය පිළිබඳ උරුම භාවිතාව අද රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරියට ගෙන යමින් තිබේ.

මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුකළ විශාලම පුද්ගලීකරණය මේ අයවැයෙන් සිදු කෙළේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා මාධ්‍ය ප්‍රධානීන් අමතා කියා සිටියේ ය. ඒ “‍උරුමය” වැඩ සටහන ප්‍රමුඛව ක්‍රියාත්මක කරන රජයේ ඉඩම් හා නිවාස ජනතා සන්තක කිරීමේ වැඩ පිළිවෙළට අදාළවය.

මේ අතර කොළඹ ගාලු මුවදොර ෂැංග්‍රිලා හෝටලයේ හිමිකාරිත්වය විදේශීය වුවත් එම ඉඩම සින්නක්කරවම පැවරීමට හැකියාව එදා තිබුණේ නම් පරම්පරා ගණනක් රටේ ගොවිතැන් කළ ජනතාවට සින්නක්කර ඔප්පු ලබා දීමේ වරද කුමක්දැයි ජනාධිපතිවරයා නොච්චියාගම දී ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ ෂැංග්‍රිලා සතු ඉඩමෙන් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙනවා සේම නවීන කෘෂි කර්මාන්තයෙන් ද මේ ගොවි ජනතාවට අපනයන ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවයි.

රටේ ගොවිතැන් කරන ජනතාවට සින්නක්කර ඔප්පු ලබා දීම ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ උරුමය යළි ලබා දීමක් මෙන්ම ඔවුන්ට ශ්‍රී ලංකා රජයේ ස්තුතිය පුද කිරීමක් බවද ජනාධිපතිවරයා එහිදී අදහස් දක්වා සිටියේය.

ඉදිරි වසර කිහිපය ඇතුළත පවුල් ලක්ෂ විස්සක් සඳහා “‍උරුමය”‍ වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම මෙවර 2024 සඳහා වූ අයවැයෙහි ප්‍රධාන කාරණයක් විය. ඒ සඳහා අයවැයෙන් රුපියල් බිලියන දෙකක් වෙන් වන අතර අදියර තුනක් යටතේ එම ඉඩම් ලබාදීම සිදුකරනු ලබයි.

ඉහත කී ආකාරයට පවුල් ලක්ෂ විස්සක් සඳහා උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමත් සමඟ ඔවුන්ටම හිමි වත්කමක් ලැබෙන අතර මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා එම ජනතාවට කලින් නොතිබුණු අවස්ථාවක් උදාවේ. එනම් මින් පෙර ඔවුන්ට හිමිව තිබූ රජය සතු ඉඩම් භාවිතයේ දී ඇති වූ ගැටළු, සින්නක්කර ඉඩම් අයිතිය ලැබීමත් සමඟ පහව යෑමයි.

මෙලෙස ලබා දෙන ඉඩම්හි වටිනාකම රුපියල් බිලියන ගණනක අගයකින් යුක්ත විය හැකි අතර ලක්ෂ 20ක පවුල් වෙත මෙම ඉඩම් ලැබීමෙන් එම ජනතාවගේ ආර්ථික හැකියා ඉහළ යනවා මෙන්ම මෙරට ජාතික ආර්ථිකයට ඉදිරි පිම්මක් අත්පත් කර ගැනීමේ විශාල ශක්තියක් හිමිවෙයි.

විපක්ෂයේ ඇතැමුන් මෙවර අය වැය යෝජනා දෙස බලමින්, එහි රාජ්‍යයේ ආදායම් උපදවන ක්‍රමයක් හෝ ආර්ථිකය ගොඩනැංවීම සඳහා විධිමත් ක්‍රමවේදයක් නොමැති බව සඳහන් කළ ද “‍උරුමය” වැඩසටහන යනුම මෙරට ආර්ථිකය ගොඩ දැමිය හැකි ප්‍රධානම මෙවලමක් ලෙස සඳහන් කළ හැකි වැඩපිළිවෙලකි.

මීට පෙර ස්වර්ණ භූමි ඔප්පු, ජය භූමි ඔප්පු, නැතිනම් බලපත්‍ර ක්‍රමයයන් යටතේ රජය සතු ඉඩම් පරිභෝජනය සඳහා පුරවැසියාට ලබා දී තිබුණ ද ඉඩමේ සින්නක්කර හිමිකාරිත්වයක් පවරා නොතිබිණි. මේ නිසා මෙම ඉඩම සම්බන්ධව යම් කටයුත්තක් සිදු කිරීමේදී ඉක්මවා යා නොහැකි කොන්දේසි ගණනාවකට යටත් විය. ඇතැම් විට ඉඩම ඇපයට තබා බැංකු ණයක් හෝ ලබා ගැනීමේ හැකියාව නොතිබිණි. ඒ වගේම ඉඩමට අදාළ යම් ගැටළුකාරිත්වයක් විසඳා ගැනීම සඳහා ග්‍රාමයේ ග්‍රාම නිලධාරිවරයා, ඉඩම් නිලධාරීන්, සහකාර ප්‍රාදේශීය ලේකම් හෝ ප්‍රාදේශීය ලේකම් දක්වා රාජ්‍ය නිලධාරීන් පසුපස ගොස් රස්තියාදු වීමට සිදු වීමද සුලබ අත්දැකීමකි. උරුමය වැඩසටහන මඟින් මේ පීඩාකාරිත්වයෙන් ජනතාව මුදවාගැනීම සිදු වන අතර තම තමන්ට සින්නක්කර අයිතිය හිමි වන ඉඩම සම්බන්ධයෙන් ඕනෑම තීන්දුවක් ගැනීමේ හැකියාව එම ජනතාවට හිමිවේ. ඒ අනුව මේ ලැබෙන අස්වැසිල්ල අනිවාර්යයෙන්ම එම ජනතාවගේ සහ රටේ ආර්ථිකයට සුබවාදී විම වැලැක්විය නොහැක.

මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙරට ගොවි ජනතාවට අහිමි වුණු උරුමය නැවත ලබාදීම සඳහා ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවට, ඉඩම් අමාත්‍යාංශයට, නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව 2024 වර්ෂයේ ජනවාරි මස උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීම ආරම්භ වන අතර එළැඹෙන නිදහස් උළෙලට සමගාමීව මෙම ඉඩම් කට්ටි ජනතාව අතර බෙදාදීමේ වැඩසටහනද ආරම්භ කිරීමට නියමිත බවත් වාර්තා වී තිබිණි. ජනතාවට සැබෑ නිදහස උරුමකරදීමක් මේ අනුව සංඛේතවත් කෙරේ. ජනාධිපතිවරයාගේ අපේක්ෂාව පරිදි වසර තුනක් හෝ හතරක් ඇතුළත එම කාර්යය අවසන් කිරීමට නියමිතය.

උරුමය වැඩසටහන අදියර 3 ක් යටතේ ක්‍රියාත්මක වන අතර එහි පළමු අදියර ලෙස ඉඩම් අමාත්‍යාංශය සතුව ඇති මාර්ගගත තොරතුරු ජාලයට මේ වන විටත් දොළොස් දහසකට අධික ඉල්ලු‍ම් පත්‍ර සංඛ්‍යාවක් ලැබී ඇති අතර ඉන් 10,000 ක ප්‍රමාණයට ලබන 2024 වර්ෂයේ පළමු කාර්තුව ඇතුළත “‍උරුමය” සින්නක්කර ඔප්පු පිරිනැමීමට නියමිතය.

රජය මඟින් ලබා දුන් ඉඩම් නීතියක් බවට පත් වී නීත්‍යානුකූල ලියවිල්ලක් බවට පත් වන්නේ ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබීමෙන් පසුව ය. එහි ඇති කොන්දේසි ලිහිල් කිරීමට ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාට, අමාත්‍යාංශ ලේකම්වරයාට හෝ අමාත්‍යවරයාට නොහැකිය. එහි ද හැකියාව ඇත්තේ ජනාධිපතිවරයාට පමණි. ඉඩමක අතුරු බෙදීම් සඳහා ඉල්ලීමක් ආවිට එය ජනාධිපතිවරයා වෙත යවන අතර ජනාධිපතිවරයා එම දීමනාපත්‍රය අවලංගු කර අතුරු බෙදීම්වලට හැකියාව ඇති අවසර පත්‍රයක් නිකුත් කරන ලෙස අවසරය ලබා දුන් පසු එයට සරිලන ආකාරයේ අවසර පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කරයි.

මේ අනුව දැනට රජයේ ඉඩම් හිමි ජනතාව ස්වකැමැත්තෙන් තමන්ගේ ඉඩමේ අතුරු බෙදීමක්, නැතිනම් යම් ගැටලු‍වක්, කොන්දේසි ඇති දීමනාපත්‍ර අනවශ්‍ය බව ප්‍රකාශ කර තමන්ට “‍උරුමය”‍ යටතේ නිදහස් ස්වෛරී දීමනාපත්‍රය නැතිනම් සින්නක්කර ඔප්පුව ලබාගැනීමට හැකිය.

ඒ අනුව 1947 දී නිකුත් කරමින් අනුමත කර ඇති රජයේ ඉඩම් ආඥා පනතේ දෙවන වගන්තිය යටතේ නිදහස් දීමනා පත්‍රයක් ලබා දීමේ හැකියාව ඇත. එය ද ජනාධිපතිවරයා සතුව ඇති බලයකි.

ඒ ආකාරය වටිනා දීමනාපත්‍රයක් ලැබුණු පසු ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම්, ඉඩම් කොමසාරිස් ජෙනරාල්වරයා, ඉඩම් අමාත්‍යවරයා කිසිදු පාර්ශ්වයක් වෙත ගොස් අවසර ගැනීමකින් තොරව ස්ව අභිමතය එම ඉඩම භුක්ති විඳීමේ හැකියාව මෙම ඉඩම් හිමි ජනතාව සතු වනු ඇත.

දෙවන අදියර යටතේ රජයෙන් ලබාදුන් බලපත්‍ර කිසිඳු ගැටලු‍වකින් තොරව පවත්වාගෙන යන ගොවීන් වෙත “‍උරුමය”‍ ඉඩම් ඔප්පු ප්‍රදානය සිදු වේ.

ගැටලු‍ සහිත එනම් දරුවන් අතර බෙදා ගැනීමට නොහැකි, ආරවුල් සහිත, දෙමව්පියන් මියගොස් ඇති වැනි ගැටලු‍, දෝෂ සහිත ඉඩම් සඳහා ගම් මට්ටමින් කමිටු පත් කර ඒවායේ ගැටලු‍ නිරාකරණය කර, පසුව උරුමය තුන්වන අදියර යටතේ අවසන් සින්නක්කර ඔප්පු ලබා දීමට නියමිතය.

මේ ආකාරයෙන් විධිමත් ක්‍රමවේදයක් අනුව දැනට ඇති ගැටළු නිරාකරණය කරගනිමින් මෙම වැඩසටහන විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය සැලසුම් සකස්කර අවසන්ය. මෙරට දේශපාලන ඉතිහාසය සලකා බැලු විට මේ රටේ පුරවැසියන් වෙත රජය විසින් යමක් ප්‍රදානය කරන යම් වැඩපිළිවෙලක් වුවා නම් ඒ සියල්ලට වඩා මෙම උරුමය වැඩසටහන ප්‍රමාණයෙන් වටිනාකමින් සහ වැදගත්කමින් විශාලම ව්‍යාපෘතිය ලෙස සැලකිය හැකිය. මෙහි ඇති අනෙක් කාරණය නම් රට ආර්ථික වශයෙන් බංකොලොත් වී ඇති මොහොතක රටේ ආර්ථිකය යළි නංවාලීම සඳහා ජනතාවගේ සහභාගිත්වය අන්තර්ග්‍රහණය කරගන්නා අවස්ථාවක් ලෙසද මේ හැඳින්විය හැකිය. මේ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට ගොඩනැගුම සඳහා ගෙන යන දැවැන්ත වැඩපිළිවෙලට ජනතාවද තමන්ට හැකි අයුරින් සහභාගී වෙමින් ඊට දායක වීමක් මෙහිදී සිදුවේ. රටවල් හැදෙන්න ඕන එහෙමය. සාමුහික ප්‍රයත්නයන්ගෙනි. රටට වටිනාකම් එකතුවන්නේ එසේය. රටට ආදරය ඇති වන්නේ එසේය. රටට ආදරය කරන මේ මිනිසුන් මේ රට ගොඩනගනවා. ඒ විශ්වාසය අද ජනපති රනිල් රටට ඇතිකරමින් තිබේ.

නිහජ ජයසිංහ

1 thought on “ඉඩමක් කියන්නේ භූමියක් පමණක් නොවේ “උරුමයක්“

  1. මගේ ඉඩමේ අයිති මට ඇත්තේ1865ටත් කලින් සිටය 1867.ලියන ලද ඔප්පු මා සතුව ඇත ..මා එහි පදිංචි වී වසර 57 කි
    එ මගේ නිජ බිමය මගේ සියලා ඩ්ස් සේනානායක මහත්තයා සමග මේ රට සන්වර්දනය කල පලමු පිරිසය ඌව වෙල්ලස්ස නැවත අස්වද්දන්නේ ඔවුන් ය මා සතුව ලේඛන ඇත…එහෙම මේ රට හැදු මගේ පව්ල සතු ඉඩම මේ පනත් වලට මුවාවි බලහත්කාරයෙන් රජ්‍ය නිලධාරින් එකව අල්ලාගනිමින් සිටී මා ළඟ තාම ඈත්තේ පරන සිංහල අකුරින් ලිවු ඔප්පුවක් එය හතර දෙනෙකුට ලියා ඇති නිසා එය කටවත් ඔප්පුලිවිය නොහැක..මේ මගේ පරම්පරාවෙන් එන බූදලයකි එත් ජනාදිපති ලේකම් වරයා කියන්නේ එම ඔප්පු දැන් වලන්ගු නොවන බවයි එත කොට මගේ සින්නක්කර අයිතියට මොකද වෙන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *