ඉඩම්වල නිසි අයිතිය නොමැතිව රටකට ජයග්‍රහණය කළ නොහැකිය.

0

නුස්සයකුගේ ආර්ථික වටිනාකම් මැනීමේදී එක් ප්‍රධාන සාධකයක් ලෙස සලකන්නේ ඉඩකඩම් දේපොළ තිබෙන තරමය. ඉඩමක් කඩමක් නැති මිනිහා ආර්ථික වශයෙන් දුර්වලයකු ලෙස සැලකීමක් තිබේ. නමුත් මේ ආකල්පයන් හැම රටකටම පොදු නැත. සමාජ සංස්කෘතික වශයෙන් ශ්‍රී ලංකාව වැනි රටකදී ඉඩමක් කඩමක් තිබීම මහ ලොකු දෙයකි. එය ආර්ථික හා දේශපාලනික වශයෙන්ද වැදගත් වන්නේ ඒ හරහා ගොඩනැගෙන මුල්‍යම සහ සිවිල් බලය නිසාය. එය මේ රටේ තිබෙන ක්‍රමයකි. සමාජවාදය වැනි ආර්ථීක ක්‍රමයක් තුළදී පෞද්ගලික දේපොළ ක්‍රමයක් ක්‍රියාත්මක නොවන බැවින් ඉඩකඩම් වල සින්නක්කර අයිතියක් එම රටවල පුරවැසියාට හිමි නොවේ. ඒ නිසා ඉඩම් නඩු ඒ රටවල නැත.

කොහොම නමුත් ශ්‍රී ලංකාවේ ඉඩම් පිළිබඳ ප්‍රශ්නය සියවස් ගණනාවක් තිස්සේ නොවිසඳුන නඩුවකි. මෙය විසඳීම තවදුරටත් සංකීර්ණ සහ අවදානම් සහගත ගැටළුවක් ලෙස රජය හමුවේ තිබේ. යටත් විජිත යුගයට පෙර තත්වයන්, යටත් විජිත යුගය සහ පසු යටත් විජිත යුගය ලෙස මෙම ඉඩම් ප්‍රශ්නයේ ස්වරූප වෙනස්කම් දකින්නට ලැබේ. එමෙන්ම 1977 විවෘත්ත ආර්ථිකයට මාරු වීමේදී ඒ තවත් මුහුණුවරක් ගෙන තිබේ. කෙසේ නමුත් යටත් විජිත යුගයට පෙර සිටම පැවැති අවුල් සහගත ක්‍රමය වර්තමානය දක්වාම බල පැවැත්වෙමින්ද තිබේ. එසේම මෑත යුගය තුළ මෙම ඉඩම් ප්‍රශ්නය විසඳීම කෙරෙහි ගෝලීය භූ-දේශපාලනික බලපෑමත් තිබෙන බව පිළිගත යුතුය. මේ සියලු ගැටළු සහගත තත්වයන් හමුවේ මෙරට ඉඩම් වල කාර්යක්ෂමතාවය ඉහළ නංවා එහි මුල්‍යමය අගයන් රටේ සංවර්ධනය වෙනුවෙන් යොදාගැනීම අද අභියෝගයකි. කොටින්ම ලංකාවේ භූ පිහිටීමේ වාසියේ සිට නිකම් තිබෙන ඉඩම් ටිකෙන්ද මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමේ අවස්ථාව තිබියදී මෙතුවක් කල් ඒ මඟහැරගෙන තිබේ.

2024 අය-වැය යෝජනාවලියේ දී ඉඩම් සම්බන්ධයෙන් වැදගත් යෝජනා කිහිපයක්ම ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබිණි. 1897 දී ලංකා මුඩුබිම් ආඥා පනත මඟින් රට පුරා ග්‍රාමීය ඉඩම් අක්කර දසදහස් ගණනක් බි්‍රතාන්‍ය රජය අත්පත් කරගෙන පසුව, 1935 දී ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ගොවියන්ට බලපත්‍ර ක්‍රම මඟින් එම ඉඩම් කොටස් ලබාදීමට කටයුතු කර තිබූ නමුත් මේ ගොවි බිම්වල නිසි අයිතිය එම ජනතාවට යළි පවරා දීමක් සිදු වුයේ නැත. මෙවර අය-වැය යෝජනාවක් ලෙස ඒ ඉඩම් යළිත් ජනතාවගේ පුද්ගලික අයිතියට පවරා දීමට කටයුතු සම්පාදනය වෙයි. ඒ අනුව පවුල් ලක්ෂ විස්සකට (2,000,000) මෙමඟින් ඉඩකඩම් හා ගොවිබිම් අයිතිය ලැබෙනු ඇත.

වතුකරයේ ජීවත් වන බහුතර ජනතාවකට නිවාස තනා දීම සඳහා ඉඩම් අයිතිය හිමි කරදීමට අවශ්‍ය පියවරද මෙවර ගෙන ඇත. මෙවර අනෙක් වැදගත්ම යෝජනාව වන්නේ ‘බිම්සවිය’ වැඩපිළිවෙල නැවත ආරම්භ කිරීමය.
1998 වර්ෂයේ ආරම්භ කරන ලද බිම්සවිය වැඩසටහන යටතේ මිලියන 12 ක් පමණ වූ ඉඩම් කට්ටි බෙදාදීමට අපේක්ෂා කළත් මේ වන විටත් එලෙස පවරා ඇත්තේ ඉඩම් කට්ටි මිලියනයකට ආසන්න ප්‍රමාණයක් පමණි. ඊට බලපෑ නෛතික හේතු ගණනාවක් වන අතර මෙම යෝජනාව සමඟ එම ගැටළු විසදෙනු ඇත. ඒ අනුව මෙම වැඩපිළිවෙල මඟින් විශාල පිරිසකගේ ඉඩම් පිළිබඳ ගැටළු විසඳීම සිදුවන අතර එහි වැදගත්ම දේ එය රටේ ආර්ථිකය යළි සක්‍රීය කිරීමට දායක වීමය.
ඒ කෙසේ නමුත් රට මුහුණ පා තිබෙන ඉඩම් ගැටළුව මීට වඩා සංකීර්ණය. එය ආර්ථික හා දේශපාලනික වශයෙන් විසඳා ගත යුතුව තිබෙන්නකි. මෙරට ජනවාර්ගික ගැටළුව විසඳාගැනීම සම්බන්ධයෙනුත් මෙම ඉඩම් අයිතිය පිළිබඳ ගැටළුව බරපතල විය. 13 වන සංශෝධනය මඟින් පළාත්සභා වෙත ඉඩම් අයිතිය පැවැරීය යුතු නමුත් මෙතෙක් එය මධ්‍යම රජය විසින් සිදුකර නොමැත. මේ සඳහා වන එකඟතාවය වත්මන් ජනාධිපතිවරයා ලබා දී තිබුණත් එම ප්‍රශ්නය මෙතෙක් අවසන් කරගෙන ද නැත.

මෙහිදී වැදගත්ම ගැටළුව වන්නේ ඉඩම්වල හිමිකාරිත්වය කවුරු සතුව තිබුණත් එය රටේ ආර්ථිකය නංවාලීම වෙනුවෙන් යොදාගැනීම සිදු නොවීමය. ඒ අනුව අද අවශ්‍යව ඇත්තේ ඉඩම්වල මුල්‍ය වටිනාකම ඉහළ දමන හා රටේ ආර්ථිකයට දායක වන විසඳුමක් සොයාගැනීමය. එය තාක්ෂණිකව පවසන්නේ නම් නිශ්ක්‍රීය වත්කමක්ව පවතින ඉඩම්, ආදායමක් උත්පාදනය කරන ගනුදෙනුවක් බවට පරිවර්තනය කිරීමය. ඛ්බා ඵදබැඑස‘්එසදබ ලෙස මේ හැඳින්වෙන්නේ මෙයය. මෙම ක්‍රීයාමාර්ගය ගැනීමට අද බලකරන තත්වයක් ඇතිව තිබේ.

ඕනෑම ව්‍යාපාරයක් ගොඩනැගීමට ඉඩම (භූමිය), ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය යන ප්‍රධාන සාධක හතරට, ‘ඉඩම’ යන සාධකය ඇතුළත් වීම මත රටක ආර්ථික සමෘද්ධිය වෙනුවෙන් ඉඩම් හිමිකාරිත්වය තිබෙන්නේ කා අතද යන්න වැදගත්ය. අනෙක් කාරණය ශ්‍රී ලංකාවේ භූමිය ඉතාමත්ම සීමිත සම්පතක් වීම මත රටේ ආර්ථික අවශ්‍යතාවන් වෙනුවෙන් ඉඩම් භාවිත කිරීමේ පියවරයන්ද සංකීර්ණය.

වර්ග කිලෝමීටර 65,610 ක් නැතිනම් හෙක්ටයාර මිලියන 6.56 ක් පමණ වන ලංකාවේ සමස්ථ භූමියෙන් සියයට 20 පුද්ගලික අයිතියෙහි ඇති අතර සියයට 80ක් පමණම අයිතිය ඇත්තේ ශ්‍රී ලංකා රජයටය. එයින් සියයට 30ට අඩු ප්‍රමාණයක් වනාන්තරය. සියයට 4.5 ක් පමණ වැව් අමුණු ජලාශ විසින් අත්පත් කරගෙන ඇත. ඒ අනුව සමස්ත භූමියෙන් සියයට 65 ක් :හෙක්ටයාර මිලියන 4.25 ක්* පමණ ප්‍රයෝජනයක් ගත හැකි ඉඩම් ලෙස පවතින අතර මෙම ප්‍රමාණයෙන් හතරෙන් එකක් පමණ ග්‍රාමීය නිවාස, ගෘහස්ථ වගා හෝ වගාවක් නොකර අත්හැර තිබෙන ඉඩම් ලෙස පුද්ගලික පරිහරණයේ පවතී. වී,තේ,පොල්,රබර් ආදි වතුවගා අත් හැරුණ විට හෙක්ටයාර මිලියන 1.5 ක් පමණ ප්‍රයෝජනයක් නොගෙන ඇත. මේ අනුව යම් ලෙසකින් හෝ කෘෂිකාර්මික, කර්මාන්ත හෝ වෙනත් සංවර්ධන කටයුත්තකට තවත් ඉතිරිව ඇත්තේ මෙම ඉඩම් හෙක්ටයාර මිලියන 1.5 ය. මෙම ඉඩම් ප්‍රමාණයම පාහේ රජය සතුව රට පුරා විසිර තිබෙන්නකි. ලංකාවේ නාගරික ප්‍රදේශ ලෙස සලකුණු වන භූමිය යනු සියයට 1 කටත් වඩා අඩු ප්‍රමාණයකි.

කෙසේ නමුත් දැනට ආදායම් උපදවන ක්ෂේත්‍ර ලෙස සලකා බැලුවිට වැඩිම ඉඩම් ප්‍රමාණයක් භාවිතාවන්නේ කෘෂිකර්මය වෙනුවෙනි. නමුත් මෙම කෘෂි ඵලදාව ගණනය කළහොත් එය දළ දේශීය නිෂ්පාදනයට දායකකරන්නේ සියයට 8ක කුඩා අගයකි. එසේම ශ්‍රම බළකායෙන් සියයට 25 කට වැඩි ප්‍රමාණයක් කෘෂිකර්මාන්තයේ නියැළෙයි. මේ අනුව රටේ වැඩි ඉඩම් සහ ශ්‍රම සම්පත් ප්‍රමාණයක් යොදවා කරන කෘෂිකර්මාන්තයෙන් රටේ ආර්ථිකයට අවශ්‍යතරම් සේවාවක් නොවන බව පැහැදිලිය. නමුත් මේ ඉඩම්වල හෝ ගොවියාගේ හෝ ගැටළුවක් නොවේ. මේ ඉඩම් පළදායක ලෙස යොදා නොගැනීමේ අවුලය. ඊට බාධාකරණ හේතු ගණනාවකි.

මේ සමඟ වන අනෙක් ප්‍රශ්නය මෙරට ජනගහණය ශීඝ්‍රයෙන් වර්ධනය වීමය. ඊට සරිලන ලෙසින් ඉඩම් ප්‍රමාණය වැඩි කරගැනීමේ හැකියාවක් නැතිනමුත් එම ජනගහනයට සරිලන පරිදි ආහාර නිෂ්පාදනයට, නිවාස සහ රැකියා වෙනුවෙන් කර්මාන්ත ආදිය වෙනුවෙන් වන අවශ්‍යතාවන් සඳහා ඉඩකඩම් හොයාගැනීම ගැටළුකාරීමය තත්වයකි. ඒ අනුව සීමිත සම්පත්වලින් අසීමිත අවශ්‍යතාවන්ස පුරාගැනීම යන මූලික ආර්ථික විද්‍යා ප්‍රශ්නයට පිළිතුරක් හොයාගැනීම යුගයේ අවශ්‍යතාවයක්ව තිබේ. එනම් මේ සදහා විසඳුම වන්නේ මෙරට ඉඩම්වල ඵලදායිතාවය වැඩිකිරීම පමණක් බව පැහැදිලිය.
ගැටළුව ඇත්තේ මෙතැනය.

ඉන් ප්‍රධාන බාධකය, ප්‍රයෝජනයට ගතහැකි ඉඩම් වලින් වැඩිම ප්‍රමාණයක් රජය සතුව තිබීමය. ඇතැම් විට රජය මෙම ඉඩම් විවිධ කටයුතු වෙනුවෙන් නිදහස් කිරීම් කර ඇතත් එහි අයිතිය පැවැරීමක් බොහෝවිට සිදු කරන්නේ නැත. එසේම රජය සතු ඉඩම් ජනතාවට පැවැරීම හිතු මනාපෙට කළ නොහැක. මේ ඉඩම් සුද්දාගේ කාලයේ සිටම පවතින නීති රීති රැසකින් බැඳී පවතින අවුල් ජාලයක් වී තිබීම මත මෙය නඩු ගොඩකි.

එමෙන්ම ඉඩම් අයිතිය රජය සතුව තබාගෙන සිටීම රටේ ස්වෛරීභාවය පිළිබද අත්‍යාවශ්‍ය කාරණයක් ලෙස ද සැකකේ. එමෙන්ම රජයක ආධිපත්‍යය පවත්වාගෙන යෑමේදීත් මෙම ඉඩම්වල වැඩි අයිතිය රජයට අවශ්‍යය. ඉඩම්වල අයිතිය පුද්ගලයන් වෙත පැවැරීම නිසා ඔවුන්ට අවශ්‍ය නම් ඉඩම් ඔවුන්ගේ හිතුමනාපෙට විදේශ සමාගම් හෝ පුද්ගලයන් වෙත පැවැරීමේ හැකියාවක් ඇතිවීමේ අනතුරක්ද තිබෙන බවට හේතු සහිත තර්කයක්ද තිබේ. මේ නිසා රජයේ ඉඩම් පුරවැසි ජනතාවට සින්නක්කරව පැවැරීමට මීට පෙර ගත් තීන්දුවලට එරෙහිව අධිකරණ හමුවේ ලබාගත් නියෝගයන්ද ඇත. මේ තත්වයන් හමුවේ රජයට ගත හැකි තීන්දුතීරණද සීමා කර ඇත. නමුත් මෙයට විසඳුමක් අත්‍යාවශ්‍යය.

ඉඩම්වල නිසි අයිතිය ජනතාවට නොමැතිවීම මත ඉඩම් උපරිම ඵලදායී ලෙස යොදාගැනීමට ජනතාව යොමු නොවීම සිදුවේ. සාමාන්‍ය මිනිස් චින්තාවෙන් බැලුවත් තමන්ට අයිති නැති ඉඩමක් දියුණුකර එහි උපරිම ප්‍රතිලාභ ලැබෙන ලෙස කටයුතු කිරීමට අවශ්‍යතාවක් බොහෝ විට කිසිවකුට ඇති වෙන්නේ නැත. ඒ අනුව භාවිතයට ගත හැකි භූමි ප්‍රමාණයෙන් වැඩි පංගුව රජය සතුවන විට රටක සංවර්ධනය ඒ අනුව සීමාවීම පුදුමයක් නොවේ.

අනෙක යම් වගා කටයුතු වෙනුවෙන් නිදහස් කරන රජයේ ඉඩම් එම කටයුත්ත හැර වෙනත් දෙයක් වෙනුවෙන් යොදාගැනීමේ අවසරය ලෙහෙසියෙන් හිමි වන්නේ නැත. අත්හැර තිබෙන කුඹුරු විශාල ප්‍රමාණයක් තිබුණද වී වගාව වෙනුවට වෙනත් වගාවක් කිරීමටත් අවසරයන් ගැනීමත් කළ නොහැකිය. එමෙන්ම කුඩා කොටස් වශයෙන් තිබෙන ඉඩම් ලැබීම සිදුවන විට ඒ සදහා විශාල ආයෝජනයන් හෝ තාක්ෂණය යෙදවීම අධෛර්මත් කරන්නකි. මෙවැනි ගැටළු නිසා ගොවිතැන් සඳහා ලබා දී ඇති ඉඩම් පවා බොහෝ විටම ඇත්තේ හිස්වය.

මේ තත්වයන් මත කෘෂිකර්මය නවීකරණය හෝ පුළුල් කිරීමට යැයි කියා කවර නවීන ක්‍රීයාමාර්ග ගත්තත් ඒ භාවිතාවේ යෙදවීමේ හැකියාව ලැබෙන්නේ සීමාසහිතවය. ඉඩම්වල පූර්ණ අයිතිය ජනතාවට නොමැති නිසා සංවර්ධන කටයුත්තක් සඳහා ඉඩම ඇපයට තබා බැංකු ණයක් හෝ ලබාගැනීම සිදු කළ නොහැක. මේ නිසා සමස්ථයක් ලෙස මෙරට ගොවිතැන අකාර්යක්ෂම, පාඩු ලබන සහ ණය වෙන ක්ෂේත්‍රයක් වීමට මෙම තත්වයන් බලපා ඇත. එසේම තවත් ගැටළුවක් මතුව තිබේ. ඒ රජයෙන් කුඩා ඉඩම් ලැබීම් නිසා වගාකරුවන් ආසන්න රක්ෂිත වනාන්තර එළිපෙහෙළි කරමින් ඉඩම් අත්පත් කරගැනීම වලටද පෙළඹීමය. ඒ අනුව නිවැරදි ඉඩම් ප්‍රතිපත්තියක් නොමැති වීම වනාන්තර විනාශයටද හේතු වී ඇත.

කෘෂිකාර්මික පැත්තෙන් මෙන්ම කාර්මිකකරණය පැත්තෙන්ද තත්වයන් එසේමය. කර්මාන්තයට සුදුසු ඉඩම් සොයාගැනීම පහසු නැත. අවශ්‍ය ප්‍රමාණයෙන් නොලැබේ. ලැබුණත් ඇතැම්විට නිදහස්කර ගැනීමට දහසක් නීති රීතිවලට යටත් වන්නට සිදුවේ. එසේම ඇතැම් රජයේ ඉඩම් වනාන්තර ආශ්‍රිත ප්‍රදේශ වුවහොත් ඒවා ලබාගැනීමේදී පරිසරවේදී සංවිධානවල විරෝධයන්ට ලක්වේ.

එමෙන්ම මේ වන විට වරාය, ගුවන් තොටුපොළ, දුම්රිය, නාගරික සංස්ථා යනාදී ප්‍රධාන රාජ්‍ය අංශයේ ආයතන සතුව ප්‍රයෝජනයක් නොගෙන ඇති ඉඩම් ආර්ථික සංවර්ධනය කටයුතු වෙනුවෙන් යොදාගැනීමේදී වෘත්තීය සමිතිවල විරෝධයට ලක්වේ. ඒවා ජාතික සම්පත් විකුණා දැමීම් ලෙස අර්ථකථනයවේ.

මේ නිසා මෙම ගැටළු විසඳීමට නිවැරදි ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් සැකසීම විය යුතුය. විශේෂයෙන්ම ඩිජිටල් ක්‍රමයක් ඔස්සේ රටේ සමස්ත ඉඩම් සිතියම්ගත කිරීම සහ ඉඩම්වල අයිතිය පැවැරීම් වලට අදාළ කටයුතු කළ හැකි ආකාරයට තාක්ෂණික ක්‍රමවේදයක් සකස් කිරීම විය යුතුය. පසුගිය යහපාලන සමයේදී අමරිකානු ආධාරයක් ලෙස පැමිණි එම්.ස.ීසී ගිවිසුමෙහි එක් ප්‍රධාන කටයුත්තක් වූයේ මෙම ගැටළුව විසඳීමය.

නමුත් එයට එල්ල වූ පදනම් විරහිත චෝදනා අනුව එය හකුලාගැනීමට සිදු විය. එමගින් සිදුකිරීමට නියමිතව තිබුණේ, 1.‘ඉ-රාජ්‍ය ඉඩම් තොරතුරු කළමනාකරණ පද්ධතිය’ට දත්ත සැපයීම, ඉඩම් කැබලි සිතියමක් සහ රජයේ ඉඩම් පිළිබඳ සම්පූර්ණ ඉන්වෙන්ටරි සකස් කිරීම. 2. තක්සේරු දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම සඳහා පරිගණක ගත පුළුල් ඇගයීම් පද්ධතියක් සඳහා දත්ත රැස්කිරීම, වැඩිදියුණු කිරීම මගින් රාජ්‍ය හා පෞද්ගලික ඉඩම් තක්සේරු කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීම. 3. රජයේ විද්‍යුත් ඉඩම් ලියාපදිංචිය, පවතින වාර්තා ඩිජිටල්කරණය කිරීම සහ ඔප්පු ලේඛනය වැඩි දියුණු කිරීම. 4. රජයේ බිම් සවිය වැඩසටහන ව්‍යාප්ත කරමින් එම ඉඩම් විධිමත් සහ ව්‍යාපාර කළ හැකි හිමිකම් ලෙෂ සුරක්ෂිතභාවය වැඩි දියුණු කිරීම 5. ඉඩම් පරිපාලනය වැඩිදියුණු කරන යාන්ත්‍රණ සහ ක්‍රියාවලි පිළිබඳ පර්යේෂණ සඳහා සහාය වීමය. එදා මෙම කටයුත්ත සිදුවුවා නම් මේ වන විට ඉඩම් ගැටළු සියල්ල විසඳී අවසන්ය.

අසල්වැසි ඉන්දියාවද මෙවැනිම සංකීර්ණ ගැටළුවකට පසුගිය කාලයේ මුහුණ දී තිබිණි. නමුත් ඉන්දිය රජය එඩිතර තීන්දුවක් ගෙන ඉඩම් මුල්‍යකරණය සඳහා විශේෂ වැඩපිළිවෙලක් දියත් කරන ලදී. ඒ අනුව ඉන්දියාවට විශාල ආර්ථික පිම්මක් පැනීමට හැකි විය. මෙම කටයුතු හරහා වසර 5 ක් තුළ ඉන්දීය රුපියල් ටි්‍රලියන 111 ක දැවැන්ත මුල්‍යමය වටිනාකමක් අත්පත් කරගැනීමට ඉන්දීයාව සමත්ව ඇත. මේ අනුව ශ්‍රී ලංකාව තවමත් මඟ හැරගෙන ඇත්තේ සුවිසල් අවස්ථාවක් බව කිවයුතුය. නමුත් දැන්වත් ඒ වරද නිවැරදි කර ගත යුතුය.

……..ජයතුංග බණ්ඩාර……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *