ඉන්දීය අධිරාජ්‍යවාදීන් ජෙප්පන්ට කළු කෝට් ඇන්දුවේය
මේරටේ දේශපාලන නායකයන් රට රටවල නායකයන් සමඟ සාකච්ඡා කිරීම, සංචාරය කිරීම අමුත්තක් නොවේ. ඒ හරහා ජාත්‍යන්තරය සමඟ සම්බන්ධතා ගොඩනඟා ගැනීම හැම කාලයකදීම සිදුව තිබුණකි.
නමුත් ඊයේ පෙරේදා ජවිපෙ නායක අනුර කුමාර ඉන්දීය නිල ආරාධනයක් හෝ ඉල්ලාගත් අවස්ථාවක් අනුව හෝ සංචාරයක නිරත වීම සුවිශේෂී වී තිබේ. මන්ද මීට පෙර ජවිපෙට මෙයාකාර රාජතාන්ත්‍රික මට්ටමින් නිල ආරාධනා ලැබී නැති බැවිනි. ඊටත් වඩා ජවිපෙ මුලාරම්භයේ සිටම උග්‍ර ඉන්දීය විරෝධයක් අනුගමනය කළ මාක්ස් ලෙනින්වාදී සහ සිංහල ජාතිවාදයට බර පක්ෂයක් වීමය. මේ නිසා ජවිපෙ නායකයා සමඟ සාකච්ඡා කිරීමට ඉන්දීය රජය පියවර ගැනීම අතිශයෙන්ම විවාදාත්මක විය.
අනුරගේ ඉන්දීය ගමන ගැන ඔහුගේ පාක්ෂිකයන් සහ රසිකයන් අති උත්කර්ශයට නංවමින් සිටී. ඒ මෙරට මීලඟ රාජ්‍ය නායකයා වන්නේ අනුර නිසා ඔහුට ජාත්‍යන්තරයෙන් පිළිගැනීමක් ලැබුණාය කියා සුරතාන්තයට පත්ව ඇති නිසාය. ඒ අතර ආණ්ඩු පාක්ෂිකයන් මෙන්ම විපක්ෂයේ අනෙකුත් පාක්ෂිකයන් ද මේ සංචාරය ගැන වික්ෂිප්තව සිටී. ඒ ගැන විවිධ අදහස් පළ කරමින් ඇත. නමුත් ඒ බොහෝ දෙනෙකු කල්පනා කරන්නේ ළිං මැඩියකු ගොඩට පැමිණියා හා සාධනීය බවකිනි. එහෙත් තවමත් මතු නොවු කාරණාව නම් දෙමළ විරෝධයක සිටි සහ යුද්ධයෙදී දෙමළ සංහාරයක් වෙනුවෙන් පෙනී සිටි ජවිපෙ වැනි පක්ෂයක් සමඟ ඉන්දීය රජය ගනුදෙනුවකට යෑම ගැන උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂවල, විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානය කුමක් කල්පනා කරනවාද යන්න ගැන පැහැදිලි අදහසක් තවමත් මතු නොවීමය. ඔවුන් මේ ගනුදෙනුව ගැන දරණ මතයද ඒ ගැන ඉන්දියාව සමඟ කරන සාකච්ඡාවද මෙරට දේශපාලනයට වැදගත්ය.
කොහොම නමුත් දැන් කතාව ගෙතෙන්නේ අනුර රටේ පාලන බලය අතට ගැනීිම, කියන කාරණය මතය. නමුත් ඉන්දියාව පැත්තෙන් කල්පනා කළහොත් ඇත්තම කාරණය මේ රටේ කුමණාකාර කවරෙකුගේ පාලනයක් බිහි වුණත් එය ඉන්දියාවට ප්‍රශ්නයක් නොවන බවය. නමුත් ඉන්දියාව කල්පනා කරන්නේ තමන්ගේ රාජ්‍යයේ ආරක්ෂාව ගැනය. ඒ ආරක්ෂාවට තර්ජනයක් වන පාලනයක් ඉන්දියාවේ දොරකඩ බිහිවීම වළක්වාලීම ඔවුන්ගේ පරමාර්ථයය. මේ වන විටත් මෙම කලාපයේ මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය, පකිස්ථානය වැනි රටවල් කටයුතු කරමින් සිටින්නේ ඉන්දීය විරෝධයක් සමඟය. ඒ ගැටළු බේරාගැනීමට ඉන්දියාවට හැකි වුවත් ශ්‍රී ලංකාව ඉන්දියාවට හිතවත්ව තබාගැනීම
ආරක්ෂාවට මෙන්ම ආර්ථිකමය අතින්ද වැදගත්ය. ඒ මෙරට පිහිටීම මත ගෝලීය භූ දේශපාලන ගැටුම තුළ ශ්‍රී ලංකාව මර්මස්ථානයක් ලෙස පැවැතීමය.
ඉන්දියාව අනුර කැඳවන්නේ ඇතිවිය හැකි අනාගත ගැටළු කළමණාකරණයටය. එනම් අනුර දිනන බව ඉන්දියාව හිතනවා නම් මේ කරන්නේ අනුරගේ බෙල්ලෙන් අල්ලා ගැනීමකි. ඉන්දියානු හිතවාදි පාලකයෙක් මිස ඉන්දියාවට එරෙහි පාලනයක් මෙරට පවත්වාගෙන යෑමට ඉන්දියාව කිසිවිටෙක ඉඩ නොදීමට උත්සහ ගනී. ඒ මෑත කාලීන දේශපාලන අත් දැකීමය.
රනිල් සම්බන්ධයෙන් ඉන්දියාවට ආරෝවක් තිබෙන්නේ අද ඊයෙක සිට නොවේ. ඒ රනිල්ගේ නොබැඳි පිළිවෙත තුළ චීනය සමඟ වන ඇඟෑලුම්කම ඉන්දියාව තේරුම් ගන්නේ තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් ලෙස විය හැකි නිසාය. රනිල්, බටහිර කඳවුරට සමීප දේශපාලනඥයකු ලෙස හංවඩු ගැසුනද ඔහුට එදා සිටම සිටියේ නොබැඳි පිළිවෙතකය. බටහිර කඳවුරු ලේබලය වැදෙන්නේ ඔහු දක්ෂිණාංශික ලිබරල් ආර්ථිකය නැතිනම් නිදහස් වෙළඳපොළ ක්‍රමය, පෞද්ගලික හිමිකාරිත්වය වැනි අදහස් සමඟ කටයුතු කිරීමේ ලැදියාව සහ ජාත්‍යන්තරය සමඟ පවත්වන සමීප සම්බන්ධතා ආදිය නිසාය. නමුත් රනිල් ලිබරල්වාදයේ කෙළවරට ගිය අයකු නොවේ. කොන්සවේටිව් නැතිනම් සාම්ප්‍රදායික දේශපාලන ස්ථාවරයක සිටින අයෙකි. ඔහුගේ පාලනය තුළ වාමාංශික ගතිද පෙන්නුම් කරන්නේ ඒ නිසාය. රනිල් කිසි දිනෙක අන්තගාමිත්වයට තල්ලු වූයේ නැත.
කොහොම නමුත් මෙහිදී ඉන්දියාවට ඇති සැකසහිතභාවයන් නොසලකා හැරිය නොහැක. එමෙන්ම රනිල් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ජාත්‍යන්තරය තුළ අමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුරේ පිළිවෙත් විවේචනයට ලක්කිරීම සිදු විය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි සංවිධානවල ක්‍රියාකාරිත්වයන් වෙනස් විය යුතු බවද නව ලෝක පිළිවෙතක් ගොඩනැගුම විය යුතු බවද ජාත්‍යන්තරයට පෙන්වා දී තිබිණි. ඒ වෙනුවෙන් විශේෂ මැදිහත්වීමක් සිදු කළේය. නමුත් එහිදී කලාපය තුළ ඉන්දියාවේ ප්‍රමුඛතාවය අවධාරණය කළ අතර චීනයේ නැගී සිටීමද අතිශය වැදගත් කොට සැලකීය. ඉන්දියාව චීනය සමඟ මෙම කලාපීය සහයෝගිතාවය ඔහු යෝජනා කළේය.
මෙයද ඉන්දියාව දකින්න ඇත්තේ තමන් කලාපීය සහ ලෝකයේ යම් ආධිපත්‍යයික ස්ථාවරයක් ගොඩානඟා ගැනීමට ගන්නා උත්සාහයට බාධාවක් ලෙසද විය හැකිය. මන්ද ඉන්දියාව සිටින්නේ චීනයේ බලපෑම මෙම කලාපයෙන් ඉවත් කරගැනීමේ සටනකය. ඒ වෙනුවෙන් ඇමරිකාව සහ බටහිර රාජ්‍ය පද්ධතිය සමඟ එකඟව කටයුතු කරයි. කොහොම නමුත් මෙරට දේශපාලනය තුළ ඉන්දීය විරෝධයක් මුල් බැස ඇත්තේ රනිල්ලාගේ දේශපාලනය නිසා නොවේ. වාම ජාතිකවාදය කරපින්නා ගත් ජවිපෙ වැනි කණ්ඩායම් ඊට වැඩිම මැදිහත්වීම කර ඇත. ඉන්දියාවට තිබෙන විශාලම අනතුර එයය.
අනුර කුමාරව ඉන්දියාවට කැඳවීම ඒ අනුව අහම්බයක් නොවේ. හදිසි තීරණයක්ද නොවේ. මෙය කාලාන්තරයක් තිස්සේ කළ සැලසුමකි. මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ජවිපෙ හා සම්බන්ධතා ගොඩනඟා ගැනීමට, අනුර මිතුරකු කරගැනීමට උත්සහ කළේ මීට වසර පහ හයකට කළින්ය. ජවිපෙ යනු චීනයේ කොමියුනිස්ට් පක්ෂය සමඟ සම්බන්ධතා පවත්වන එහි මිතුර අක්ෂයේ කණ්ඩායමක් බව රහසක් නොවේ. මේ අනුව ඉන්දියාවට ඇති ගැටලුව වූයේ ජවිපෙ දේශපාලනික වශයෙන් සාර්ථකව රටේ බලය අත්පත් කරගැනීමේ හෝ තෙවන බලවේගයෙන් ඉදිරියට විත් ප්‍රධාන විපක්ෂය බවට පත්වීම සිදු වුවහොත් එය ඉන්දියාවේ ආරක්ෂාවට බරපතල තර්ජනයක් වීම ගැනය. එමෙන්ම ඉන් පසුව මෙරට තෙවන බලවේගය වන්නේ කවර පාර්ශ්වයද යන්නද ඉන්දියාවට ගැටළුවක් වීම විය හැකි දෙයකි. එය චීනය විසින් ඩැහැගැනීමට ලක්වීමේ විය හැකිභාවය ගැන ඉන්දියාව කල්පනා නොකර සිටින්නේ නැත. අනුරව තමන්වෙත නම්මවා ගැනීමද ඒ අනුව සිදුවන්නකි.
එලෙස ඉන්දියාව කල්පනා කිරීම ඔවුන්ගේ පැත්තෙන් සාධාරණය. තාර්කිකය. එය මීලඟ ආණ්ඩුව හදන්නේ අනුර නිසා, අනුරව ගෙන්වාගෙන අමුතු සැලකීමක් කළා යනුවෙන් කල්පනා කිරීම මෝඩ අදහසකි. භූ දේශපාලනය තුළ තත්වයන්ගේ බරපතලකම මත ඒ කළමනාකරණයට ඉන්දියාව ඉක්මන් පියවරක් ගැනීම මෙහිදි සිදුව ඇති බව පැහැදිලිය. අනුරට මෙහිදී ඩබල් ගේම් ගැසීමේ හැකියාවක් නැත. දෙපැත්තම බේරාගැනීමේ ජාත්‍යන්තර දේශපාලන පරිචයක් ඇත්තේ ද නැත. එමෙන්ම වර්තමානයේ ජවිපෙ ජාත්‍යන්තර සබදතා ගොඩනැගෙන්නේ ජවිපෙට පරිබාහිරව සිටින කිහිප දෙනෙකුගේ වුවමණාවන් මත වීම තත්වයන් තවත් ව්‍යාකූල කරයි. මේ අනුව අනුර එක්කෝ ජවිපෙ-චීන සබදතා අත්හැර ඉන්දියාවේ කීම් බහට අවනතව මාලිමා දේශපාලනය තෝරාගෙන ඉන්දියාවට අවශ්‍ය ලෙස මෙරට දේශපාලනය කළ යුතුය. අනුර ඊට එකඟවුවහොත් ඉන්දියාවේ ගැටලුව අවසන්ය.
අනුර ජවිපෙ සම්ප්‍රදායික මතවාදය අනුව හෝ චීන සම්බන්ධතා ආරක්ෂා කරගැනීමට හෝ එකඟවුවහොත් අනුරගේ මාලිමා දේශපාලනය අවසන් කිරීමට ඉන්දියාව දෙවරක් කල්පනා කරන්නේ නැත. එය සිදු කීරීමට විවිධ හැකියාවන් ඉන්දියාවට තිබේ. කැනඩාවට ගොස් ඉන්දියාවේ ත්‍රස්ත නායකයන් පිරිසක් ඝාතනය කිරීම දක්වා ඉන්දියාවේ හැකියාවන් දියුණුව තිබෙන බවත් අමතක නොකළ යුතුය. පෙර යුගවල මෙවැනි වැඩ කළේ ක්‍ෂ්ල ණඨඊල මොසාඩ් වැනි සංවිධානයන්ය. අද ඉන්දියාවද ඒ තරමට දියුණුව තිබේ. ඉන්දියාවේ රෝ ඔත්තු සේවය ලෝක ව්‍යාප්ත චරපුරුෂ සංවිධානයකි. පාස්කු ප්‍රහාරය ගැන මෙරට බුද්ධි අංශවලට කළින් ඒ තොරතුරු සවිස්තරව දැන සිටියේ ඉන්දියාවය. ඒ අනුව රෝ ඔත්තුකරුවන් මෙරට අහුමුළුවල සැරි සරමින් තිබෙන බව පැහැදිලිය. සමහර විට ජවිපෙ තුළමත් රෝ නියෝජිතයන් සිටිය හැකිය. ජවිපෙම නායකයකු ඊයේ පෙරේදා කියා තිබුණේ රෝ ඔත්තු සේවය මෙරට කරපු සමීක්ෂණකින් අනුර ඉදිරියෙන් බව හඳුනාගෙන තිබෙන නිසා ඉන්දියාව ඔහුව කැඳවූ බවය. ඒ අනුව ජවිපෙ යනු ඉන්දියාවට නැටවිය හැකි රූකඩයක් බවට පත්වෙමින් තිබීමකි. ජවිපෙ ආරම්භක යුගයේදී ජවිපෙ ක්‍ෂ් කෙමනක් විය. දැන් එය රෝ කෙමනක් බවට පත්වෙන්න නියමිත බව පෙනේ. මේ නිසා තමන්ට ඉන්දියාවේ බලපෑමකට යටත්වන්න සිදුවන බව දන්නවා නම් ඉන්දියාවට අවනතව කටයුතු කිරීමට පෙළඹවීම ඇති විය හැකිය.
ඒ කොහොම නමුත් දැන් ජවිපෙට තමන්ගේ දේශපාලනය කුමක්ද යන්න ගැන වඩාත් ගැඹුරෙන් කල්පනා කිරීමට සිදුවෙනු ඇත. දශක 6ක පමණ කාලයක් මුළුල්ලේ තමන් දැරු දෘඩතර දේශපාලන මතවාදය අංශක 180 කින් ආපසු හැරවීමේ ඉඩකඩ සොයා බලන්න සිදුවනු ඇත. එමෙන්ම තමන් ගෙන ගිය ඉන්දියානු විරෝධි දේශපාලනය වෙනුවෙන් දිවි පිදූ දහස් ගණනක සාමාජිකයන්ගෙන් සමාව ඉල්ලීමට සිදුවනු ඇත. එහිදි ජවිපෙ වෙතින් ඝාතනයට ලක්වූවන් ගැන ජවිපෙට සමාව යැදීමට සිදුවෙනු ඇත. බක් මහ විරුවන්, ඉල් මහ විරුවන් සැමරීම තවදුරටත් ජවිපෙට රෙද්දක් ඇඳගෙන කරන්න පුළුවන් දේ නොවේ.
මේ අනුව මෙරට වර්තමාන දේශපාලන වර්ධනයන් තුළ වඩාත්ම අර්බුදයකට මැදිව තිබෙන්නේ ජවිපෙ බව පැහැදිලිය. අනුරට ඉන්දියාවෙන් කැඳවීමක් ලැබීම තමන්ගේ ජයග්‍රණය ස්ථිර වීමකැයි සංතෝසයට පත්ව සිටින පාක්ෂිකයන් මෙම අර්බුදය දකින්නේ නැත. ඔවුන් දැනටම සිටින්නේ ජවිපෙ ආණ්ඩුවක් පිහිටුවා රට සුඛිත මුදිත වෙනු ඇතැයි මායාවකය.
එහෙත් ජවිපෙ නායකත්වය සිටින්නේ සොහොන් ලකුණු පෙනි පෙනීය. ඇතැම් විට ලබන ජයග්‍රහණයට වඩා පරාජය ලැබීම මේ මොහොතේ හොඳම දේ බව කල්පනා කරනවාද විය හැකිය. ඒ තරමට බරපතල දේශපාලන උභතෝකෝටිකයක ජවිපෙ සිරව සිටී. කොහොම නමුත් මෙම නව ගැටළුව ජවිපෙ ඉදිරි මාස කිහිපය තුළ විසඳා ගත යුතුය. එසේ නොමැතිව ජවිපෙට සිදුවන්නේ ප්‍රතිපත්තියක් නැති, අරමුණක් නැති දේශපාලන වංකගිරියක අතරමං වන්නටය. ජනප්‍රිය දේශපාලනයට යාහැකි දුර බොහෝ සීමිතය.
එමෙන්ම අනුරගේ ඉන්දීය සංචාරය ආණ්ඩු පාක්ෂිකයන් හා ප්‍රධාන විපක්ෂය වන සජබයත් යම් කැළඹීමකට පත්ව සිටින බව නොකිව්වොත් ඇතත් මඟහැර යාමකි. ජවිපෙ බලය පිහිටුවීම සිදුවන්නේ නම් තමන්ගේ දේශපාලනයට සිදුවන දේ ගැන ඔවුන් කල්පනා කළ යුතුය. විශේෂයෙන්ම සජබයට, සජිත්ට සිදුවන්නේ දේශපාලන අනාතයන් වන්නය. කොහොමටත් මේ වන විටත් පැහැදිලිව පෙන්නුම් කරන සත්‍යය නම් සජබය, ජවිපෙ නැග්ම හමුවේ පසු බැස ඇති බවය, සජිත්ට පැමිණිය හැකි උපරිමය පෙන්වා අවසන්ය. එය තෙවැනි බලවේගය බවට පත් වුවත් එතැනින් ඉදිරියට යෑමේ සියලු හැකියාවන්ද මෙවර ජනාධිපතිවරණයෙන් පසු අහිමි කරගනු ඇත.
එහෙත් කවර දේශපාලන වර්ධනයන් සිදු වූවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට අමුතුවෙන් අත්පත් කරගන්න දෙයක් නැත. ඉතිහාසයේ රට මුහුණු දුන් දැවැන්තම අර්බුදය විසඳීමේ අභියෝගය භාරගෙන ඔහු එය සාර්ථක කරගෙන ඇත. එයත් සජිත් සහ අනුර මඟහැර සැඟවී සිටියදීය. මේ අනුව ඔහුගේ භූමිකාවට ඉතිහාසයේ හිමි උස් ස්ථානය ඔහු ලියාගෙන අහවරය. අද රනිල් සිටින්නේ පරාජිත තැනක නොවේ. ජයග්‍රහණය ලැබිය හැකිය කියන ස්ථාවරයේය. මන්ද යත් මේ රටේ දේශපාලනය කැරකෙන විදිහ අනුව රනිල්ට ජයග්‍රහණය අපහසු නැත. තරගයකුත් නැත. ඒ සඳහා අවශ්‍ය කරන සාධක ඔහු මේ වන විට ගොඩනඟාගෙන ඇත. තවම ඔහු සටනට අවතීරණය නොවීම මත රනිල්ගේ හැකියාව කුමක්ද යන්න මතුකර පෙන්වන්නේ නැති නමුත් ලබන අප්‍රේල් මාසයේ දී රනිල් දේශපාලන වේදිකාවට නැගීමත් සමඟ බොහෝ දේ වෙනස් වෙනු ඇත. මේ වන විට හීන්සැරයෙන් එකතු කරගෙන තිබෙන දේශපාලන නූල් අගිසි ටික, එක මිටට ඔහු අත තිබෙන අයුරු දකින්න ලැබෙනු ඇත. දේශපාලන නූල් සූත්තර කලාවේ කෙළ පැමිණියකු බව යළි ඔහු ඔප්පු කරනු ඇත. අනුරගේ ඉන්දියානු සංචාරයත් මේ නූල් සූත්තරයක් බවම ඇතැමුන් කියන්නේ එය හොඳින්ම දන්නා නිසාය. මන්ද රනිල්ට ඉන්දියාව සමඟ වන සම්බන්ධතා වැඩි දියුණ කරගැනීමට තිබු විශාලම බාධාව ඉන්දියාව ඉවත් කරන නිසාය.
එමෙන්ම රනිල්ට ඉන්දියාව හෝ චීනය සමඟ තිබෙන සම්බන්ධතාවයන් වෙනස් කරන්න මේ දෙරටටම හැකියාවක් නැත. ඒ ඉඩ රනිල් විසින්ම අහුරා ඇත. ඒ ඔහුගේ ජාත්‍යන්තර දේශපාලනයේ කෘතහස්තභාවය යොදාගෙනය. මේ හැකියාව අනුරට සජිත්ට හෝ මෙරට වෙනත් කිසිදු දේශපාලන නායකයකු සතුව නැත. නමුත් අනුරලාගේ ජාත්‍යන්තර දේශපාලනය වන්නේ තමන්ව නැටවීම ඉන්දියාවට හෝ චීනයට හෝ භාරදී ඉඩ හැරීමය. ඒ හැර ඔහුට වෙන කරන්න දෙයක් නැත. මෙරට දේශපාලනය තුළ කළු කෝට් නොඇන්ද අනුරට ඉන්දියාව කළු කෝට් ඇන්දුවේ අනුරගේ මෙම දුර්වලකම නිසාය. මේ අනුරගේ නවීකාරක බව යැයි මාලිමා පාක්ෂිකයන් සිතුවද ඇත්තටම සිදුව ඇත්තේ දේශපාලන නිවටකමට ගොදුරු වීමකි.
…….’ජයතුංග බණ්ඩාර…….