”විපක්ෂනායකතුමාගේ අම්මා හේමා පේ‍්‍රමදාස මහත්මිය ජනාධිපති කාර්යාලයට ලියුමකින් දැනුම්දීලා ඉල්ලලා තියෙන දේවල් ගැන මම කියන්නම්. මදුරුකොයිල්, නිල් පැන් 02, ගම් බෝතල්. ඇමරිකාවේ කතා හොයනවට වඩා තමන් වදාපු අම්මට මදුරු කොයිල් යවන්න කියන්න. මදුරු කොයිල් ආණ්ඩුවෙන් ගන්න විපක්ෂ නායක, ඇමරිකා ගියපු හැටි කතාකරන්න එනවා. ඉස්සරලා අම්මගේ මදුරුකොයිල් එක දීලා ඊට පස්සේ ඇමරිකා ගමන ගැන කතාකරන්න කියලා කියන්න”

මේ ප‍්‍රකාශය පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදු කළේ මහින්දානන්ද අලූ‍ත්ගමගේ ය. මන්ත‍්‍රීවරයාගේ ඒ ප‍්‍රකාශය අසන  ඕනෑම අයෙකුට නැගෙන පොදු ප‍්‍රශ්නය නම්, හිටපු ජනාධිපති ආර්යාවක් මෙන්ම වත්මන් විපක්ෂ නායකයාගේ අම්මට මේ පොඩි දේවල් ටිකත් ජනාධිපති කාර්යාලයෙන් ගන්න තරම් ඇති අහේනිය මොකක්ද? කියාය. තමන්ට බලය නැතුවත් ජනතාවට බෙදන බෙදිල්ල ගැන පම්පෝරි ගහන විපක්ෂ නායක තම අම්මා ගැන හොයන්නේ බලන්නේ නැද්ද? කියාය. අම්මට සළකන්නේ නැති පුතා රටට කරයිද? වැනි ප‍්‍රශ්නත් මෙතැනදී අහන්න පුළුවන. නමුත් අපේ ප‍්‍රශ්නය එය නොවේය. අපේ ප‍්‍රශ්නය විපක්ෂ නායක පාසල් දේශපාලන වේදිකා බවට පත්කර ගැනීමය. එසේත් නැත්නම් පාසල් දරුවන්ව තම දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීමේ තක්කඩි හැසිරීම ගැනය.

පාසල යනු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඉගෙනීම සඳහා ගුරුවරුන්ගේ මගපෙන්වීම යටතේ ඉගෙනුම් පරිශ‍්‍රයන් සහ ඉගෙනුම් පරිසරයන් සැපයීමේ අරමුණින් සැලසුම් කරන ලද ආයතනයක් ය. එහි ඇති විශේෂත්වය නම්, රටක ජනතාවගේ ඊළඟ පරම්පරාවට දැනුම ලබාදෙන සහ ශික්ෂණය ද කරන විශේෂ නිල සමාජ සංස්ථාව පාසල වීමය. එනිසා ”‍අධ්‍යාපනය සහ විනය”‍ සම්බන්ධව මිස, වෙනත් වැඩවලට පාසල ගාව ගන්නේ නැත. වෙන වැඩ සඳහා පාසල විවෘත කළහොත්, ”පාසල”‍ නම් සැලසුම්කරණ ලද ආයතනය අර්බුදයට යන එහි සමාජ හානිය සුළුපටු නැත. අන්න ඒ නිසාම මෙරට පමණක් නොව ලෝකයේ කොහේ වුවත් එවැනි උත්සාහයන් ඉවසන්නේ ද නැත.

 මෙරට ඉතිහාසයේ පාසල් සිසුන් දේශපාලනය සඳහා සෘජුව යොදාගත් දෙදෙනෙකු ගැන ප‍්‍රසිද්ධ වාර්තා ඇත. ඉන් එක් අයෙකු නම් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක ප‍්‍රභාකරන් ය. අනෙකා රෝහණ විජේවීර ය. ඔවුන් සිය දේශපාලන කටයුතු වෙනුවෙන් පාසල් ළමුන් යොදාගත්තේ කොහොමද? මොකටද? යන්න ගැන අමුතුවෙන් කිවයුතු නැත. වැදගත් වන්නේ ඒ පිටුපස පැවති අපේක්ෂාව ය. ඔවුන් දෙදෙනාටම රාජ්‍යය සම්බන්ධව තිබුණේ විරෝධාකල්පයක් ය. ඔවුන්ගේ මතවාදය ජය ගන්න නම් තිබෙන රාජ්‍යය කඩා කුඩු කළ යුතුව තිබිණ. සෑම අංශයකින්ම රට අර්බුදයට යැවිය යුතුව තිබිණ. එහිදී ඔවුන් පාසල් ඇතුළට පැමිණියේ, තම මතවාදය පහසුවෙන් යමක් කාවැද්දවීම වෙනුවෙන් පාසල් වයස ඉතාම සුදුසුම ලෙස සලකාය. ඒ වෙනුවෙන් හොඳම තැන පාසල බවට තක්සේරු කරලාය. සැබවින්ම ඔවුන්ගේ ඉලක්කය සහ තක්සේරුව නිවැරදිය. නමුත් ඒ වෙනුවෙන් සමාජයක් ගෙවූ වන්දිය සුළුපටු නැත. එය කිසිසේත් තක්සේරු කළ නොහැකි ඇතැම් විට පරම්පරා කිහිපයක් ගතවුවත් ගෙවා නිම කළ නොහැකි සමාජ වන්දියක් ය.

 රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ද පාසල්වල විවිධ අවස්ථා සඳහා සහභාගි වන බව ඇත්තය. එහිදී බොහෝ විට පාසල් සිසුන්, ගුරුවරුන් සහ දෙමාපියන් අමතා කතාවක් කරන බවද ඇත්තය. නමුත් ඒ කිසිම අවස්ථාවක බාල දේශපාලනයේ නිරත වන්නේ නැත. අවශ්‍ය නම් ඒ යන සෑම අවස්ථාවකම විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාසගේ පෞරුෂය අතිශය දුර්වල බව කියන්නේ නැත. මෙරට විපක්ෂ නායක කියන්නේ අරගලය සහ ආර්ථික අර්බුදය හමුවේ ඇතිවූ දේශපාලන අස්ථාවරත්වය නැති කිරීමට ආණ්ඩුවක් පිහිටුවීමට ලැබුණු ආරාධනය ප‍්‍රතිකේෂ්ප කර පළා ගිය දුර්වලයකු බව කියන්නේ නැත. එදා විපක්ෂ නායකවරයා ඒ සිදු කළේ, නියෝජිත ප‍්‍රජාතන්ත්‍රවාදය ඇති කිසිම රටක විපක්ෂ නායක වෙතින් කොහොමටත් බලාපොරොත්තු විය නොහැකි හැසිරීමක් බව කියන්නේ නැත. අරගලයට සහ අර්බුදයට මැදිවු රාජ්‍යය දරුණු ප‍්‍රචණ්ඩත්වයක් සහ දිග්ගැස්සෙන අරාජිකත්වයක් දක්වා පිරිහෙමින් තිබූ අවස්ථාවේ ආණ්ඩුවක් පිහිටුවීමට අසමත්වූ විපක්ෂ නායක ”පස්සේ දොරෙන් සිදුවූ බල හුවමාරුවක්”‍ ගැන තමන්ට අද චෝදනා කළත්, එය නිවැරදි නොවන බව ජනාධිපති රනිල් කරුණු දක්වන්න යන්නේ නැත.

 ප‍්‍රජාතන්ත්‍රවාදය යනු ඒ ගැන වන සියලූ‍ නිර්වචන ඇතුළත් ”‍භාවිතයක්”‍ මිස වෙන අටමගලක් නොවන බවත් සෑම අතින්ම ප‍්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අභියෝගයට ලක්වී, රාජ්‍යය පුපුරායාමකට ලක්වූවා නම් සිදුවිය හැකිව තිබූ හානිය ගැන විපක්ෂ නායකට සංවේදීත්වයක් නොතිබූ බව ජනාධිපති රනිල් පාසල් වෙත ගොස් කියන්නේ නැත. විපක්ෂයේ වැඩිම මන්ත‍්‍රීවරුන් සිටින පක්ෂයේ නායකයා වුවත්, දෑතේ ඇඟිලි තරමට සරිලන මන්ත‍්‍රී පිරිසක් නොසිටි, ආර්ථික අර්බුදය සහ අරගලය හමුවේ යන එන මං නොමැතිව සිටි ඩලස්ට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදී පැත්තකට වූ බය ගුල්ලෙක් ඔබේ අනාගතය සුරක්ෂිත කරනු ඇත්දැයි විශ්වාසකරනවාද කියා ජනාධිපති රනිල් පාසල් දරුවන්ගෙන් අහන්නේ නැත. අවම වශයෙන් විපක්ෂය නගන කිසිම චෝදනාවකට ප‍්‍රතිචාර දක්වන්න ජනාධිපති රනිල් කටයුතු කරන්නේ නැත.

ඒ වෙනුවට ජනාධිපති රනිල් කතා කරන්නේ අධ්‍යාපන ක‍්‍රමයේ යෝජිත ප‍්‍රතිසංස්කරණ ගැනය. අධ්‍යාපනයේ නව ප‍්‍රවණතා මෙරට අධ්‍යාපන පද්ධතියට එක්කර ගැනීමේ අවශ්‍යතාව ගැනය. නව දැනුමින් පාසල් දරුවා ශක්තිමත් වීමේ වැදගත්කමය. සමාජ ඉනිමගේ ඉහළට යාම වෙනුවෙන් අධ්‍යාපනය යතුරක් කරගන්නා ආකාරය ගැනය. නූතන ඩිජිටල් තාක්ෂණය සමඟ ඉදිරියට යන්න නම් අවශ්‍ය භාෂා දැනුමේ වැදගත්කමය. පාසල් විෂය මාලා යාවත්කාලීන කිරීමේ සූදානම ගැනය. සම්ප‍්‍රදායික විෂය දැනුම මෙන්ම වෘත්තීය අධ්‍යාපනයද වැදගත් බවය. 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය හරහා රටට ශක්තිමත්, වැඩදායි ශ‍්‍රම බලකායක් බිහිකර ගැනීම ගැනය. අලූ‍ත්වන ලෝකයත් සමග අලූ‍ත්වීමේ වැදගත්කමය. දරුවන්ට ජයගන්න ලෝකයක්ම ඇති බවය. දැනුමෙන් ශික්ෂණයෙන් පෝෂණයව රට වෙනුවෙන් ඉටුකිරීමට ඇති යුතුකම් ගැනය. දහසක් දුෂ්කරතා මධ්‍යයේ තමන්ව දැනුමින්, කුසළතාවෙන් පෝෂණය කරන මේ රට තවත් ඉහළට ඔසවා තබන ජාතික කර්තව්‍යට දායකවීමේ වැදගත්කම ගැනය. එම කටයුත්තේ වගකීම සිහිතබාගෙන සාර්ථකව අධ්‍යාපන කටයුතුවල නිරතවන ලෙසය.

ජනාධිපති රනිල් රාජ්‍ය බලය සහිතව පවා එතරම් වගකීම් සහගතව හැසිරෙන විට විපක්ෂ නායක සජිත් හැසිරෙන්නේ කොහොමද?

පසුගියදා දඹුල්ල අකුරම්බොඩ මධ්‍ය විද්‍යාලයට ගිය විපක්ෂ නායක බස් රථයක් දී කතාවක් කළේය. එහිදී ඔහුගේ මාතෘකාව වූයේ තමන්ගේ ආණ්ඩුවක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන රජයේ ගිවිසුම වෙනස් කිරිල්ලක් ගැන ය. ෂඵත්‍ට අවශ්‍ය ආකාරයට නොව ජනතාවට අවශ්‍ය ආකාරයට තමන් ගිවිසුම සංශෝධනය කරන බව එම නිලධාරීන්ගේ මුහුණටම කියූ බවය. එසේම වත්මන් ආණ්ඩුවේ ජනාධිපති ඇතුළු ප‍්‍රධානීන් ඉන්නේ සීතල කාමරවල බවත් ඔවුන් ජන දුක නොදන්නා බවය. පාලකයන් ටයි කෝට් පළදින බවය. රාජ්‍ය ආදායම් ඉහළ දැමීමට කෝටිපති ව්‍යාපාරිකයන් සතුටු කරන සාමාන්‍ය ජනතාවගේ පොකට්ටුවට තට්ටු කරන ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන බවය.

විපක්ෂ නායක මේ ගමන යන ආසන්න වකවානුවේ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ කියුබාවේ සංචාරය කරන බව නිවේදනය කර තිබූ අතර, ඒ නිසාම ඔහු කියුබාවට ද පරිභව කළේය. ඒ ”‍මේ රට වර්තමානයේ ඇති තත්ත්වයෙන් ගොඩ ගත හැක්කේ කියුබාවෙන් හෝ අනෙකුත් උග‍්‍ර සමාජවාදී රටවලින් සහාය ලබා ගෙන නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, යුරෝපා හවුල, එක්සත් රාජධානිය, ඉන්දියා, චීනය වැනි රටවල් සමඟ අපේ රටට හිතැති ජනතාවට බලපෑමක් නොවන ගිවිසුම් මඟින් බව”‍ කියමින් ය.

ජනාධිපති කියුබාවට ගියේ ”‍උග‍්‍ර සමාජවාදී රටවලින් සහාය”‍ ලබාගන්න නොවේය. ඨ77 කණ්ඩායම සහ චීනය‘ රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහාය. ඒ අනුව විපක්ෂ නායක කර ඇත්තේ දැන දැනම පාසල් සිසුන් නොමග යැවීමය. එසේම විපක්ෂ නායක තමන් බලයට පත්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, යුරෝපා හවුල, එක්සත් රාජධානිය, ඉන්දියා, චීන සහය ගෙන රට ගොඩනගන බවට පම්පෝරි ගැසුවද ඔහු ඒ කියන්නේ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ දැනටමත් සිදු කරමින් ඉන්න කටයුත්ත ගැනය. පාසල් සිසුන් බොරු කියා රවටන විපක්ෂ නායක, ජනපතිගේ වත්මන් වැඩපිළිවෙල ඔහුගේ අනාගත ආණ්ඩුවේ වැඩපිළිවෙලක් බව කියමින් සිදුකරන්නේ බරපතළ වංචාවක් ය. මුලා කිරීමක්ය.

එපමණක් නොව පසුගිය දිනක විපක්ෂ නායක බස් රථයක් ගෙන සම්මන්තුරේ මුස්ලිම් පාසලට ගියේය. ඒ ගිය ඔහු කිව්වේ, රටේ ලක්ෂ 39කට ආහාර සුරක්ෂිතභාවයක් නෑ කියාය. දරුවන් ලක්ෂ 27කට හරියාකාර ශක්තියක් නැති බවට යුනිසෙෆ් පවා කිව්වත් ආණ්ඩුව ඒ ගැන වගේ වගක් නැති බවය. රටේ දුප්පතුන් ලක්ෂ 70ක් අන්ධකාරේ සිටින බවත් සමගි ජන බලවේගය ඔවුන්ට ආලෝකය ලබාදීමට සූදානම් බවය. එසේම සම්මන්තුරේ, අම්පාර වැනි ප‍්‍රදේශ දේශපාලනඥයන් කොන්කර දමා ඇති බවත් තමන් බලයට පත්වූ පසුව ඒ ප‍්‍රදේශ දියුණු කරන බවත් විපක්ෂ නායක එහිදී කියා තිබිණ.

 වඩාත් හාස්‍ය දනවන සිදුවීම නම් ලක්ෂ 27ක් පාසල් ළමුන් බඩගින්නේ ශක්තියක් නැතුව ඉන්න බව කියන සජිත් ඔවුන්ට බස් රථයක් ලබාදීමය. කන්න බොන්න නැතුව පන නැතුව ළමයින් සිටින පාසලකට සජිත් බස් බෙදන්නේ අහවල් එකකටද? ඒ බසය ධාවනය කරන්න රියදුරෙක්, ඔහුට වැටුපක්, මේ බස් රථය නඩත්තු කරන්න ප‍්‍රතිපාදන මෙවැනි ලැයිස්තුවක් ඉදිරිපත් කළ විටම විපක්ෂ නායකගේ මේ බස් බෙදිල්ල, කබලේ ඉන්න දරුවන්ව ලිපට දැමීමට දෙවැනි නැත. එසේම ළමයි පණ නැතුව ඉන්නා අතරේ, ඒ ළමුන් සමඟ විපක්ෂ නායක බෝල සෙල්ලම් කරන්න යන්නේ, තියන පනකෙන්දත් නැති කරන්නද? මේවා සජිත්ගේ පම්පෝරියේ සහ කරන වැඩ අතර ඇති පරස්පරය නිසාම එන ප‍්‍රශ්න මිස අපි හදන ඒවා නොවේය.

නමුත් කියන්න ඇත්තේ, සජිත්ගේ වෙන්ඩ ජනාධිපති හීනය දවසින් දවස ඈතට යන්න යන්න ඔහු මෙරට පාසල් දරුවන් තුළ රාජ්‍යය ගැන අවිශ්වාසයක් ඇති කරමින් සිටින බවය. දරුවන්ට ධෛර්යය ශක්තිය ඇතිවීමට අවශ්‍ය උපස්ථම්භ වෙනුවට, ඔවුන් අධෛර්යමත් කරන, බලාපොරොත්තු අහිමි කරන, අනාගතය ගැන විශ්වාසයක් නැති පිරිසක් බවට පත්කරමින් සිටින බවය. ප‍්‍රාදේශීය පදනමින්, ජාතිකත්ව පදනමින් රාජ්‍යය ඔවුන්ට නොසළකා ඇති බවක් කාන්දු කරවමින් මේ රාජ්‍යය ගැන වෛරී හැඟීම් ඇතිකරමින් සිටින බවය. විපක්ෂ නායකගේ මේ ”‍ඉස්කෝල පච”‍ දේශපාලනය ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට ලක්ව නැවත අපහසුවෙන් හිස ඔසවමින් සිටින රටක ඊළඟ පරම්පරාවේ මොළ හුරාකන මේ තක්කඩි දේශපාලනය, ප‍්‍රභාකරන්, විජේවීර තරම්ම අහිතකර බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැත. එනිසා මේ ඉස්කෝල පචයා පාසලට වද්දා නොගත යුතුය.

කුසල් ජයම්පති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *