උස් බිමක දුක් දිවිය-බිඳ හෙළන බර අවිය කඳුකර දශකය

0

“කුසගිනි නිවා ගන්නත් ණය වෙන්න වෙලා, පිට පිට අවුරුදු 4ක් දරිද්‍රතාව ඉහළට, රස්සා දොරවල් වැහිලා” මේ මාධ්‍ය වාර්තාවක සඳහන් වූ පුවත් ශීර්ෂයකි. එහි ප්‍රකාශකයා වූයේ ‘ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම’ ගැන කරුණු පැහැදිලි කළ ලෝක බැංකුවේ නේවාසික ප්‍රධාන ආර්ථික විද්‍යාඥ රිචර්ඩ් වෝකර්ය. ඔහු එසේ ප්‍රකාශ කර සිටියේ, බංකොලොත් වූ ශ්‍රී ලංකාවේ පැවැති ආර්ථික අර්බුදය සහ සමාජ බිඳවැටීම තවමත් අවසන් වී නොමැති බව පැවසීමටය. කෙසේ නමුත් මෙම අර්බුදකාරී තත්වය ජයගැනීම වෙනුවෙන් වත්මන් රජය ගෙනයන වැඩපිළිවෙළ හෝ ක්‍රියාමාර්ග ගැන කිසිවක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කතා කරන්නේ නැත. ඒ මාධ්‍ය සදාචාරයට වඩා ඔවුන්ට දේශපාලන ඕනෑ එපාකම් ප්‍රමුඛ වීම නිසාය. ජනපති රනිල් ප්‍රධාන ආණ්ඩුව කෙරේ ජනතාව අතර අප්‍රසාදය ඇති කිරීමේ අරමුණින් මෙකී මාධ්‍ය සිය පුවත් වාර්තා කිරීම හෝ නොකිරීම කරන බව පැහැදිලිය.
කෙසේ නමුත් උක්ත පුවත් ශීර්ෂ තුළ මතුකළ කාරණය අසත්‍යයක්ම නොවේ. මන්ද පසුගිය අවුරුදු දෙකක් පුරාවට මේ රටේ ආර්ථික සමාජ දේශපාලන සන්ධර්භය තුළ අත්දුටු සත්‍ය එය වන බැවිනි. එය එසේ වුවද ජනපති රනිල් රටේ වගකීම භාරගත් දා සිට මේ දක්වා ගෙවුණු කාලය පුරාවට රටේ සමස්ත ජනතාව මුහුණ දී සිටි බරපතල පීඩාකාරී තත්වය ක්‍රමයෙන් පහව යන තැනට වැඩකටයුතු, සැලසුම් ක්‍රියාත්මක කළ බව මෙරට සියලු‍ පුරවැසියාම දන්නා ඇත්තකි. ඒ සැලසුම් වැඩපිළිවෙල අතරේ, ප්‍රමුඛත්වය වූයේ රට බංකොලොත්භාවයෙන් මුදාගැනීම වූ අතර ඒ වෙනුවෙන් ෂඵත්‍ සමග ගිවිසුම්ගත වීම, මනා ආර්ථික කළමනාකරණය, ණය ප්‍රතිව්‍යුහගතකරණය, බදු ප්‍රතිසංස්කරණ, සමාජ සුබසාධනය වැඩි කිරීම ආදී සෑම කේෂත්‍රයකම වැඩකටයුතු ක්‍රියාත්මක කළේය.
විශේෂයෙන් සමාජ සුබසාධනය වැඩිදියුණු කිරීමේ අරමුණින් 2024 අයවැය ප්‍රකාශනය හරහා “අස්වැසුම, උරුමය, කඳුකර දශකය, කෘෂි නවීකරණ වැඩසටහන” හඳුන්වා දුන් අතර ඒ සඳහා රුපියල් බිලියන 197.5ක මුදලක් වෙන්කරන ලදී. ඒ “අස්වැසුම” සඳහා රුපියල් බිලියන 183ක්ද “උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම වෙනුවෙන් රුපියල් බිලියන 02ක්ද “කඳුකර දශකය” වෙනුවෙන් රුපියල් බිලියන 10ක් ද කෘෂි නවීකරණ වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 2,500ක් ද වශයෙනි.
කඳුකර දශකය 2024-2033
2048 ඉලක්කගතව රට තිරසරව සංවර්ධනය කිරීමට අරමුණු කරගත් රනිල් වික්‍රමසිංහ ජනපති ප්‍රමුඛ රජය ඒ වෙනුවෙන් විධිමත් පූර්ව සැලසුම් සකස් කොට ක්‍රියාත්මක කරන අතරේ සවිමත් සක්‍රීය ග්‍රාමීය ආර්ථිකයක් නිර්මාණය කළ යුතු බවට තීරණය කොට තිබේ. ඒ තුළින් සාර්ව ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට ද අපේක්ෂා කරයි. ඒ සඳහා මුලික පියවර වශයෙන් වඩාත් නිවැරදි ග්‍රාමීය සංවර්ධන ප්‍රවේශයක් ඔස්සේ ප්‍රාදේශීය විෂමතා අවම කිරීමට සැලසුම් සකස් කොට ඇත.
ග්‍රාමීය ප්‍රදේශවල පවතින පොදු යටිතල පහසුකම් හා සේවාවන්ගේ අඩුකම විසින් ජනතාවගේ ජීවන මට්ටමේ සාපේක්ෂ පසුබෑම සාමාන්‍ය තත්වයක්ව ඇති නමුත් කඳුකර ප්‍රදේශ ආශ්‍රිත කලාපයන්හි තත්වයන් ඊටත් පහළ තලයක පවතී. ඒ අනුව එම ප්‍රදේශ සංවර්ධන කටයුතු කඩිනමින් සිදුකිරීමට රජය තීරණය කොට තිබේ. ඒ, එකී ප්‍රදේශවල ජනතාව ප්‍රවේශ මාර්ගවල දුෂ්කරතාවට වගේම සමාජ හා වෙනත් විවිධ හේතූන් නිසා සම්පත් බෙදීයාමේ විෂමතාවයන්ට ද දීර්ඝ කාලීනව මුහුණ පා ඇති තත්වය අදාළ ග්‍රාමීය සංවර්ධනයට දැඩි බාධාවක්ව ඇති බැවිනි.
ආර්ථිකමය වශයෙන් එම ප්‍රදේශයන්හි කෘෂි, වැවිලි හා කුළුබඩු ආදී අපනයන භෝග වගේම මැණික් කැණීම්, හස්ත කර්මාන්ත, අත්කම් පේෂ කර්මාන්ත, පිත්තල, ලාක්ෂා සහ කැටයම් වැනි දේශීය කර්මාන්ත සමුදායකින් යුක්තය. එසේම පාරිසරික වගේම සංචාරක කර්මාන්ත අංශයෙන් සලකා බැලීමේ දී සිංහරාජ හා නකල්ස් සංරක්ෂිත වැසි වනාන්තර අඩවි, සමනළ අඩවි රක්ෂිත ප්‍රදේශ, හෝර්ටන් තැන්න ආශ්‍රිත ප්‍රදේශ ඇතුළු අධි සංවේදී පාරිසරික කලාපයන්ගෙන් පොහොසත්ය. කෙසේ නමුත් මෙම ප්‍රදේශයන් නිරන්තරයෙන් ඇදහැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් ගංවතුර, නාය යාම් ආදී ස්වාභාවික අපදාවන්ට හා අනතුරුවලට ලක්වන කලාපයන්ය. එම නිසාම පොදුවේ අඩු වැඩි වශයෙන් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති රට පුරා ක්‍රියාත්මක වුවද මෙම කලාපයන් තුළ සැලකිය යුතු ලෙස මගහැරී හෝ අතපසු වීම් සිදුව ඇති බව හඳුනා ගැනීමට තිබේ.
එම නිසාම මධ්‍යම, සබරගමු, වයඹ, ඌව, නැගෙනහිර සහ බස්නාහිර පළාත්වලට අයත් මුහුදු මට්ටමින් මීටර් 200ට වැඩා උස් කඳුකර ප්‍රදේශ සහ ඒ අවට උස්බිම් ප්‍රදේශ ආශ්‍රිතව, “ලොව පුරා දිළිඳුකම තුරන් කිරීම සඳහා නව ප්‍රවේශයක් ලෙස ක්‍රියාත්මක වන දරිද්‍රතාව පිටු දැකීමේ බහුමානික දරිද්‍රතා දර්ශකය”‍ (ඵමකඑසාසපැබිසදබ්ක ඡදඩැරඑහ ෂබාැං – ඵඡෂ) පෙරදැරි කරගත් ඉදිරි වසර දහයක් පුරා දිවෙන “කඳුකර දශකය 2024-2033” දශවිධ විශේෂ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව විසින් තීරණය කොට තිබේ. මෙම සුවිශේෂී වැඩසටහන මඟින් අදාළ ප්‍රදේශවල සමාජ – ආර්ථික යටිතල පහසුකම් හා ජීවනෝපාය සංවර්ධනය තුළින් ප්‍රදේශයේ ජනතාවට උසස් ජීවන තත්ත්වයක් ළඟා කරලීමට අපේක්ෂා කරයි. මෙම යෝජිත දස අවුරුදු, දශවිධ විශේෂ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහනේ ප්‍රථම අදියර ක්‍රියාත්මක කිරීම සඳහා මුළු ප්‍රතිපාදනය වශයෙන් රුපියල් බිලියන 10ක මුදලක් මෙවර අයවැය මගින් වෙන් කොට තිබේ. ඒ අනුව දිස්ත්‍රික්ක 11ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 93ක, ග්‍රාම නිලධාරී වසම් 4,401ක හඳුනාගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණ වෙයි.
දශ විධ සංවර්ධන අංශ
මෙහිදී, හඳුනාගත් දශවිධ සංවර්ධන ප්‍රවේශයන් වනුයේ, 1.ජීවනෝපාය, ආහාර සුරක්ෂිතතාව, වෙළඳ පොළ සංවර්ධනය සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම, 2. අධ්‍යාපන, 3.පානීය ජල පහසුකම්, 4.ප්‍රවේශ මාර්ග පහසුකම්, 5.කෘෂි සහ සුළු වාරිමාර්ග, 6.විදුලිය සහ පුනර්ජනනීය බල ශක්ති, 7.දුරකථන හා අන්තර්ජාල පහසුකම්, 8.සෞඛ්‍ය සහ සනීපාරක්ෂක පහසුකම්, 9.පරිසර සංරක්ෂණ සහ ආපදා කළමනාකරණ, 10. නිවාස පහසුකම් වැඩිදියුණු කිරීම ය.
මේ අනුව පළමු සංවර්ධන ප්‍රවේශයට එනම්, ජීවනෝපාය, ආහාර සුරක්ෂිතතාව, වෙළඳ පොළ සංවර්ධනය සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට යටත්ව අදාළ ප්‍රදේශයන්හි, අපනයන කෘෂිකර්ම ක්ෂේත්‍රය සංවර්ධනය සඳහා අවශ්‍ය කෙටිකාලීන පුහුණුව සහ සුහුරු තාක්ෂණය ලබා දීම, ග්‍රාමීයව පිහිටුවා ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සමිති සවිබල ගැන්වීම, කෘෂිකාර්මික කටයුතු, ධීවර හා පශු සම්පත් ක්ෂේත්‍ර කෘෂි සමිති හරහා නවීකරණය කිරීම, ගෘහාශ්‍රිත කර්මාන්ත සමිති සහ කර්මාන්ත ගම්මාන සවිබල ගැන්වීම, සති පොළ භූමි සහ වෙළදපොළ වැඩි දියුණු කිරිම, සංචාරක කටයුතු ප්‍රවර්ධනයට අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම වගේම දේශීය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පාදක කර ගත් සුවතා සංචාරක ව්‍යාපාරය (Wellness Tourism) සඳහා පහසුකම් සැලසීම යන අංශ කිහිපයක් හරහා කඳුකර සංවර්ධන කටයුතු ක්‍රියාත්මක වනු ඇත.
එසේම අධ්‍යාපන ප්‍රවේශය යටතේ, ප්‍රාථමික සහ ද්වීතීක පාසල් වලට ප්‍රමුඛත්වය ලබා දෙමින් පාසල් වල අමතර පංතිකාමර, සුහුරු පන්ති කාමර, විද්‍යාගාර, පරිගණක විද්‍යාගාර, පුස්තකාල පහසුකම් ඇති කිරීම හා ඒවා වැඩිදියුණු කිරීම, ක්‍රිඩා පහසුකම් ඇතිකිරීම, නවීකරණය කිරිම සහ අවශ්‍ය ක්‍රීඩා උපකරණ ලබා දීම, සෞන්දර්ය විෂයයන්ට අදාළ උපකරණ ලබා දීම, පාසල්වල පානීය ජල සහ සනීපාරක්ෂක පහසුකම් ඇති කිරීම/වැඩිදියුණු කිරීම සහ ගුරුවරුන්ගේ නවාතැන් පහසුකම් වැඩිදියුණු කිරීම ද සිදු කෙරෙනු ඇත.
තෙවන සංවර්ධන ප්‍රවේශය වන පානීය ජල පහසුකම් යටතේ, පොදු පානීය ජල ළිං ඉදිකිරීම හා නල ළිං ඉදිකිරිම, ප්‍රතිආශ්‍රැතිකරණ ජලය පෙරණ පද්ධති පිහිටුවීම, පානීය ජල මාර්ග පද්ධති දීර්ඝ කිරීම, කුඩා සහ මධ්‍ය පරිමාණයේ ප්‍රජා පානීය ජල ව්‍යාපෘති ඇති කිරීම සහ වැඩි ප්‍රතිලාභීන් පිරිසක් ඉලක්ක කරගත් වැසි ජල සංරක්ෂණ නව ව්‍යාපෘති හඳුන්වාදීම ද මීට අයත්ය. එසේම ප්‍රවේශ මාර්ග පහසුකම් යටතේ, ග්‍රාමීය මාර්ග සංවර්ධනය, කුඩා පාලම් ඉදි කිරීම, දෙපා වේලි, පැති බැමි සහ කාණු පද්ධති ඉදි කිරීම, ආබාධිත පුද්ගලයින්ටද භාවිතා කල හැකි වන පරිදි ප්‍රවේශ මාර්ග සංවර්ධනය, ප්‍රධාන බස් නැවතුම්පල සංවර්ධනය ද සිදු කෙරේ.
තවද කෘෂි සහ සුළු වාරිමාර්ග යටතේ, කෘෂි මාර්ග සංවර්ධනය, ඇළ වේලි, අමුණු සහ ආශ්‍රිත පහසුකම් සංවර්ධනය ද විදුලිය සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රවේශය යටතේ, වහල මත සුර්ය පැනල හෝ වෙනත් පුනර්ජනනීය විදුලිබල ව්‍යාපෘති ඇති කිරීම, විදුලි සැපයුම් දීර්ඝ කිරීම, රජයේ ආයතන සහ ආගමික මධ්‍යස්ථාන ආශ්‍රිතව සූර්ය පැනල පද්ධති ස්ථාපනය කිරීම ද දුරකථන, අන්තර්ජාල පහසුකම් යටතේ, දුෂ්කර පාසල් සඳහා අන්තර්ජාල පහසුකම් ලබා දීම, අන්තර්ජාල සම්බන්ධතා සහ ආවරණය වැඩි කිරීම ද සෞඛ්‍ය සහ සනීපාරක්ෂක පහසුකම් හරහා ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ ග්‍රාමීය සහ ප්‍රාදේශීය රෝහල් සඳහා අත්‍යාවශ්‍ය පහසුකම් ඇති කිරීම සහ සංවර්ධනය කිරීම ද සනීපාරක්ෂක පහසුකම් ඇති කිරීම හෝ වැඩිදියුණු කිරීම, ආයුර්වේද රෝහල් සඳහා අත්‍යාවශ්‍ය පහසුකම් ඇති කිරීම සහ වැඩිදියුණු කිරීම ද පරිසර සංරක්ෂණය සහ ආපදා කළමනාකරණය යටතේ, නායයාම් සහ පස්කඳු කඩාවැටීම් වැලැක්වීමට අවශ්‍ය පියවර ගැනීම, අපද්‍රව්‍ය කළමනාකරණය, පාංශු ඛාදනය අවම කිරීමේ ව්‍යාපෘති, ජල මූලාශ්‍ර සහ ජල මාර්ග වලට අපද්‍රව්‍ය එක් වීම වැලැක්වීම ද නිවාස සහසුකම් වැඩිදියුණු කිරීම හරහා දිළිඳු පවුල් පදිංචිවී සිටින අඩක් නිමා කොට ඇති නිවාස ස්ථීර ආරක්ෂිත නිවාස ලෙස වැඩිදියුණු කිරීමට එක් නිවසක් සඳහා උපරිමය ලක්ෂ පහක මුදලක් ලබාදීම වගේම උපරිමය එක් පවුලකට සඳහා රුපියල් පනස්දහසක මුදලක් සනීපාරක්ෂක පහසුකම් ඇති කිරීම හෝ වැඩිදියුණු කිරීමට ලබාදීමද එකී කටයුතු පහසුකරගැනීම සඳහා අවශ්‍ය ප්‍රජා දායකත්වය සැපයීම ද මේ හරහා සිදු කරනු ඇත.
ඒ ඒ සංවර්ධන ප්‍රවේශයන්ට යටත්ව අදාළ ප්‍රදේශයන් තුළ ප්‍රමුඛතා පදනමින් අවශ්‍ය ව්‍යාපෘති යෝජනා කිරීම ක්‍රියාත්මක කිරීම අදාළ ක්ෂේත්‍ර නියෝජනය කරනු ලබන සියලු‍ම පාර්ශවකරුවන්ගේ දායකත්වයෙන් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් පිහිටුවනු ලබන “ග්‍රාමීය කමිටු” මගින් සිදුකරනු ඇත. ඒ අනුව මෙම “කඳුකර දශකය 2024-2033” දශවිධ දස අවුරුදු විශේෂ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ 2024 වර්ෂය තුළ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති 2024 ජූලි 31 ට පෙර නිම කිරීමට ද අපේක්ෂිතය. මෙම සමස්ත වැඩසටහන මෙහෙයවීම සහ අධීක්ෂණය ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සිදු කරනු ලබන අතර අවශ්‍ය තොරතුරු ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සැපයෙනු ඇත. කෙසේ නමුත් මේ වර්ෂයේ පළමු කාර්තුව අවසන් වීමට ඇත්තේ තවත් දින කිහිපයක් වන අතර අදාළ ව්‍යාපෘති අවසන් වීමට මාස තුනහමාරක පමණ කාලයක් පමණක් ඉතිරිව ඇති බැවින් අද වන විට මෙම ව්‍යාපෘතිවල ප්‍රගතිය කවර මට්ටමේ පවතින්නේ දැයි වගේම අදාළ කාලය තුළ කටයුතු නිමා කිරීමට හැකියාව පවතින්නේ ද යන්න සැලකිය යුතුය.
කඳුකර දශකය
වැඩසටහනේ ප්‍රගතිය

අද වන විට මහනුවර, මාතලේ, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර, කුරුණෑගල සහ අම්පාර යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරි වසම් 3964ක ක්‍රියාත්මක කිරීම සඳහා යෝජිත ව්‍යාපෘති 9,382ක් අනුමත වී ඇති අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 6152.7ක් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබාදී අවසන්ය. දැන් ඇත්තේ ව්‍යාපෘති ආරම්භ කිරීම පමණය.
කෙසේ වෙතත් බදුල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් 545ක් සඳහා රුපියල් මිලියන 1500 මුදලක් වෙන් කොට ඇති නමුත් තවම ඒ සඳහා ව්‍යාපෘති යෝජනා ලබාදීමක් හෝ අනුමත වීමක් සිදුව නැත. එසේම මහනුවර දිස්ත්‍රික්කයට අදාළව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ක යෝජිත ව්‍යාපෘති 2,248ක් සඳහා රුපියල් මිලියන 1,420ක් මේ වන විට ලබාදී ඇති අතර තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5ක ව්‍යාපෘති මේ වන තෙක් අනුමැතියට යොමු කොට නැත. මෙම ව්‍යාපෘති සාර්ථක කරගැනීමේ වගකීම අදාළ රාජ්‍ය නිලධාරීන් සතු වගකීමක් බව සිහිපත් කළ යුතුය.
එසේම “කඳුකර දශකය” දස අවුරුදු බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ මෙරට කඳුකර ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ පොදු යටිතල පහසුකම් වැඩිදියුණු කොට සංවර්ධනය ගමට ගෙනයාමේ අරමුණ පෙරදැරිවය.. එහි ප්‍රතිලාභ අත්වන්නේ, උස්බිම්වල වෙසෙන දිළිඳු පවුල්වලටය. ඔවුන්ගේ දුක් පීඩා අවම කොට ජීවන තත්වය උසස් කිරීමේ අරමුණින් ජනපති රනිල් වික්‍රමසිංහයන් ප්‍රමුඛ ආණ්ඩුව “කඳුකර දශකය” දශවිධ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනුයේ, රටේ ආර්ථික සංවර්ධනයට ගමේ සංවර්ධනය අත්‍යවශ්‍ය සාධකයක් බව මනා අවබෝධයකිනි.
මේ සුබසාධන හා සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් වරෙක ජනාධිපති වරයා ප්‍රකාශ කර සිටියේ මෙසේය. “පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අප සියලු‍දෙනා දුක් වින්දා. අප නැවත එම තත්ත්වයට පත් වුවහොත් අප සිදු කළ කැපවීම්වල ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා රටේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අප සියලු‍දෙනා කැපවිය යුතුයි.”

………….නවන් පතිරත්න…………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *